ගිනස් වාර්තාවක් තබන්නට ලොව වටා ගු වනින් යන සාරා රදර්ෆඩ්

ජනවාරි 3, 2022

කොරෝනා වසංගතයත් සමඟම ආරම්භ වූ 2021 වසර ගෙවී ගියේ විවිධාකාරයේ අභියෝග සහ දුෂ්කරතා රැසක් මැදිනි. නමුදු ඒ සියලු දුෂ්කරතා අභියෝග හමුවේ වුව අපේ කාන්තා පාර්ශ්වය දිනාගත් ජයග්‍රහණ රැසකි. විශේෂයෙන්ම වර්ෂය අවසානවන දින කිහිපය තුළද තවත් අභියෝගයකට මුහුණ දීමට සූදානම් සුවිශේෂී යුවතියක පිළිබඳ අපට අසන්නට ලැබුණි.

ඇය සාරා රදර්ෆර්ඩ්. වයස අවුරුදු 19ක් වන සාරා සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරය කළ පළමු ළාබාලතම ගුවන් නියමුවරිය වීමේ ගිනස් වාර්තාවක් තබන්නට සැරසෙන්නීය. ඒ 2017 වර්ෂයේ අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වූ තිස් හැවිරිදි ශෙෂ්ටා වයිස් විසින් පිහිට වූ වාර්තාව බිඳ හෙළමිනි.

බෙල්ජියම් ජාතික ගුවන් නියමු පවුලක දියණියක වූ සාරාගේ මව මෙන්ම පියා ද ගුවන් නියමුවරුන් වේ. එබැවින් ළමාවියේ සිටම උඩු ගුවනේ සැරිසරන්නට, ගුවන් යානා හසුරවන්නට ඇය හරි අපූරුවට ඉගෙන ගත්තීය. මේ ගමන පුරාවටම මවගේ සහ පියාගෙන් ඇයට අවශ්‍ය උපදෙස් නිරතුරුවම ලැබෙන අතර මේ ගමන් මඟට අවශ්‍ය සියලු කටයුතු මෙහෙයවන්නේ ද මව, පියා ඇතුළු කණ්ඩායමකි.

වයස අවුරුදු 14 දී පළමු ගුවන් නියමු අත්දැකීම ලබාගත් සාරා සිය ගුවන් නියමු බලපත්‍රය හිමිකර ගත්තේ වයස අවුරුදු 17 දීය.

ඉන් අනතුරුව පාසල් අධ්‍යාපනය අවසන් වී විශ්ව විද්‍යාල කටයුතු ආරම්භ කිරීමට සූදානම්වන කාලය තුළ ලැබුණු විවේකය මේ ගමනට යොදා ගත් බව ඈ පවසන්නීය.

පසුගිය අගෝස්තු මස 18 වැනි දින බෙල්ජියමේ රසල්ස් නුවරින් ආරම්භ කෙරුණු සාරාගේ මේ ලොව වටා චාරිකාව මාස තුනකින් අවසන් කිරීමට බලාපොරොත්තුව සිටියාය. නමුත් අයහපත් කාලගුණය සහ යානයේ තාක්ෂණික ගැටලු නිසා රුසියාවේ මෙන්ම අමෙරිකාවේ ඇලක්සා ප්‍රාන්තයේ වැඩි කාලවකවානුවක් රැඳී සිටින්නට සිදු වී තිබේ. එබැවින් ජනවාරි මස මැද දක්වා මේ ගමන දීර්ඝ වනු ඇතැයි ද පැවසේ. මහාද්වීප 05ක් ආවරණය කරමින් කිලෝමීටර් 51000ක දුරක් තනිවම ගමන් කරනා සාරා රටවල් 52ක නැවතුම් ස්ථානවලින් ගොඩ බසින්නට බලාපොරොත්තු වන්නීය. එහිදී ශ්‍රී ලංකාව 40 වැනි නැවතුම්පොළ බවට පත්වන අතර පසුගිය 28 වැනි දින රත්මලාන ගුවන් තොටුපළින් මෙරටට ගොඩ බැසූ සාරා 30 වැනි දින උදෑසන එම ගුවන් තොටුපළින්ම නැවතත් ගමන් ආරම්භ කළාය. ඇයගේ 41ක් වැනි නවාතැන්පොළ වන්නේ ඉන්දියාවේ කොයිම්බතූර් ගුවන් තොටුපළයි. අනතුරුව ඩුබායි රාජ්‍යය හරහා යුරෝපය දෙසට පියාසර කරන්නට අදහස් කරගෙන සිටින්නීය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම අනෙකුත් සැපයුම්කරුවන් සමඟ එක්ව ප්‍රිමියර් එ්වියේෂන් ගුවන් සේවා සමාගම සාරාගේ මේ ශ්‍රී ලංකාවට ගොඩ බැසීමේ කටයුතු සහ අනෙකුත් පහසුකම් සංවිධානය කර තිබේ.

 

විශේෂ ස්තූතිය

ප්‍රිමියර් එ්වියේෂන් ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ

නිලීම පෙරේරාට