සංගීතවේදී ග්‍රේෂන් ආනන්දගේ දියණිය

දුලංජලී ආනන්දගෙන් ගීතයක්
අප්‍රේල් 28, 2021

ප්‍රවීණ ගායනවේදී, සංගීතවේදී ග්‍රේෂන් ආනන්දයන්ගේ සහ දක්ෂ චිත්‍ර ශිල්පිනියක සහ පද රචිකාවියක වන ශ්‍රීමා චන්ද්‍රානී මහත්මියගේ ආදරණීය, එමෙන්ම සිය පියානන් ලෙසම සංගීත ක්ෂේත්‍රය තුළ දස්කම් දක්වන යොවුන් සංගීත අධ්‍යක්ෂවරයකු සහ ගායන ශිල්පියකු වන මාරියෝ ආනන්ද සොයුරාගේ බාල සොයුරිය වන දුලාංජලී ආනන්ද ඇගේ ප්‍රථම ගීත රූප රචනය 'නිදහසේ' ගීතය පසු ගිය දා එළිදැක් වූවා.

 

ඒ වගේම මාරියෝ ආනන්දගේ 'රැදී නොසැලී' නමිත් තවත් ගීතයක් එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඇගේ නවතම නිර්මාණ ගැන ඇය තරුණී සමඟින් මෙසේ අදහස් දැක් වූවා.

 

අලුත් කලා නිර්මාණයකට දායක වුණා කියලා ආරංචියි..

 

ඔව්. අලුත් ගීතයක් නිර්මාණය කළා. ගීතයේ තේමාව 'නිදහසේ'. එහි පද රචනය සහ තනු නිර්මාණය කළේ සංගීත අධ්‍යක්ෂක අචල සොලමන් විසින්. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මගේ මල්ලි මාරියෝ ආනන්ද. ඒ වගේම රූප රචන අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිර්මාණාත්මක සංස්කරණය කළේ ද අචල සොලමන්. මේ ගීතය මාරියෝ ආනන්ද ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදයක්. කැමරාකරණයෙන් නෙවින්ද ජයසේන සහ අංගරචනය යෝගිතා රත්නායක ඊට සම්බන්ධ වුණා. පටිගත කිරීම සිදු වුණේ ගයාන් බෙන්තරගේ සී. එච්. ශබ්දාගාරයේදී. පසු ගියදා මේ ගීතය යූ ටියුබ් හරහා එළිදැක් වූවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රූපවාහිනි නාළිකා කිහිපයකත් මේ ගීතය විකාශය වුණා..

මගේ මල්ලි මාරියෝගෙත් ගීතයක් ළඟදීම එළිදක්වනවා රැදී නොසැලී කියලා. ගීතයේ විශේෂත්වය සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම නිර්මාණය කර තිබීමයි. මා එයට රූප රචනා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. සිංහල ගීතය ලිව්වේ මරියෝ ඉංග්‍රීසි සහ දෙමළ ගීතය ලිව්වේ භගවන් සින්. කැමරාකරණය කළේ නෙවීද ජයසේන.

 

ඔබ උපතින්ම කලා පවුලක කෙනෙක්..

ඔව් මගේ තාත්තා ග්‍රේෂන් ආන්නද. ඔහු ගායකයෙක්. සංගීත අධ්‍යක්ෂකවරයෙක්. අම්මා ශ්‍රීමා චන්ද්‍රානි. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වගේම ගී පද රචිකාවියක්. මල්ලී මාරියෝ ආනන්ද. ඔහුත් පියාගේ අඩිපාරේ යමින් ගායකයකු වගේම සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරනවා. පියා අප අතර නැති වුණත් ඔහුගේ ගීත තවම ජීවමානයි. පියාගේ වියෝවෙන් පසු මල්ලි තමයි ඔහුගේ ගීත වලට නැවත ජීවය ලබා දුන්නේ.

ඉතිං මං ඉපදුන දා සිටම කලා පසුබිමක් අපේ ගෙදර තිබුණේ. මමත් කලාවට පිවිසෙන්න එය හේතුවක් වෙන්න ඇති.

 

තාත්තා ගැන මතකය අවධි කළොත්..

 

අවුරුදු කිහිපයකට කලින් ඔහු අප අතරින් සමු ගත්තා. ඔහුගෙන් කලාවට වූ සේවය අති මහත්. ඔහු කලාව තුළම ජීවත් වූ කෙනෙක්. තාත්තා දැන් නැති වුණත් තාත්තා ගැන තියෙන මතකය ඈත් වෙන්නේ නැහැ. තාත්තා හිටියනම් සංගීතය වෙනුවෙන් තවත් බොහෝ දේ කරයි.

 

ඔබ ගායනයට යොමු වුණේ කොහොම ද?

 

මම පාසල් ගියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. මා පාසලේ කාන්තාරු කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ද එම කණ්ඩායමේ නායිකාව ලෙස ද කටයුතු කළා. වයස අවුරුදු 16 දී වගේ තාත්තා මට ගිටාරය පුහුණු කළා. පාසලේ ගායන තරඟවලට සහභාගී වී ජයග්‍රණ ද ලබාගෙන තිබෙනවා. තාත්තාගේ ඇසුරේ හැදී වැඩුනු නිසා කුඩා කාලයේ සිටම සංගීතය එක්කයි ජීවත් වුණේ.

ඒ වගේම ඔබ ප්‍රවෘත්ති නිවේදිකාවක්...

 

ඔව්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. ඒ වගේම මා වැඩසටහන් නිවේදිකාවක ලෙසත් නිවේදනයෙන් දායක වෙනවා.

මගේ මල්ලි පවත්වාගෙන යන මාරියෝ ආනන්ද ප්‍රඩක්ෂන් ආයතනය සමඟ එකතු වී මල්ලිත් එක්ක වැඩ කලා. එහිදී මා හට ගීත නිර්මාණය, රුප රචනා, වාර්තා වැඩසටහන්, ධනාත්මක චින්තනය අන්තර්ගත නිර්මාණ, ආයතන සඳහා තේමා ගීත නිර්මාණය සහ සජීවි සංගීත රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සඳහා ඇති හැකියාව හඳුනාගත් සුනන්දා හෙට්ටිආරච්චි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ චැනල් අයි නාළිකාවේ නිෂ්පාදන කණ්ඩායමට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. එහිදී ජ්‍යෂ්ඨ නිෂ්පාදන නිලධාරි අචල සොලමන් යටතේ වැඩසටහන් නිෂ්පාදන කටයුතුවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. මේ මිතුදම තමයි 'නිදහසේ' ගීතයට පාදක වුණේ.