අඹු සැමි පෞද්ගලිකත්වය වෙබ් අඩවිවලින් සඟවා ගත යුතුයි

ජනවාරි 8, 2020

“මං කීපාරක් කිව්ව ද තේ එකක් හදලා දෙන්න කියලා”

“පොඩ්ඩක් ඉන්න මේ ලයික් එක දානකං”

“දැන් මං කොච්චර වෙලා බලාගෙන හිටිය ද? එක කාලෙක රත්තරන් දෙපැය, යකඩ පැය දෙකක් වුණා. දැන් මේ සමාජ ජාල ජංජාලය නිසා පැය ගාණ කොච්චර ද කියලා කියන්න බෑ. ඔයත් හරියට කරීනා කපූර් වගේනෙ”

“ඒ පාර ඔයා මාව කොහෙවත් ඉන්න බොලිවුඩ් නිළියකට සමාන කරනව ද?”

“මං මාතෘකාව දැකලමයි ප්‍රවෘත්තිය බලන්න ගත්තෙ. සායිෆ් අලි ඛාන් කරීනා කපූර්ගේ අකැමැති ගති ගුණවලින් එකක් දුරකථනෙ එල්ලිලා ඉන්න එක. ඉතින් ඔයත් ඒ වගේනෙ. සායිෆ්ටත් මට වගේම ඔය පුරුද්ද ඔළුව කැක්කුමක් වෙලා.”

සමාජ වෙබ් අඩවි දෙන්නා දෙමහල්ලන් අතර දැවෙන ප්‍රශ්නයක්. අද කාලෙ බොහොමයක් අඹුසැමියන්ගේ ජීවිතවලට සමාජ ජාලය විසකුරු සර්පයෙක් වගේ රිංගලා.

සාමාන්‍යයෙන් දෙන්නෙක් නීති පොතේ අත්සන් කරලා එක වහලක් යටට වුණාම දෙන්නගෙ සමාජ වෙබ් අඩවිවලත් වෙනසක් සිද්ධ වෙන්න ඕන. එහෙම වෙනසක් වුණේ නැත්නම් අනෙක් කෙනාට ඒ ගැන පොඩි සැකයක් ඉපදීමත් සාධාරණයි. “තාමත් තනිකඩයා වගේ ඉන්න නේද හදන්නෙ. තව කෙල්ලො, කොල්ලො එක්ක යාළු වෙන්න පුළුවන්නෙ” මෙහෙම ඇහුවොත් පුදුම වෙන්න දෙයක් නෑ.

දෙන්නටම සමාජ ජාලා උමතුව තියෙනවා නම් ලයික් ගාණ වැඩිවෙන කොට අනිත් කෙනාගෙ හිත රිදෙනවා. ගෙදර දොරේ මොන ප්‍රශ්න තිබ්බත් එකම මාතෘකාව වෙන්නෙ ලයික් ගාණයි.

නයාට අඳුකොළ වගේ වෙන තව කාරණාවක් හිටපු පෙම්වතිය, පෙම්වතා වෙබ් පිටුවේ සාමාජිකයෙක් වීම. විවෘතව අලුත් විදිහට හිතන කෙනෙක් වුණත් පෘථග්ජනයෙක් විදිහට මේ වගේ කාරණා සම්බන්ධව නම් පොඩ්ඩක් හරි හිත රිදෙන එක වළක්වන්න බෑ. අන්තිමට අඹු සැමියන්ට වඩා පාලකයා වෙලා තියෙන්නෙ කොහේවත් රටක හදපු වෙබ් අඩවියක්.

පති පතිනියන්ට එකිනෙකා ගැන විශ්වාසයක් නැත්නම් හොරෙන් අනෙකාගේ වෙබ් අඩවිවලට පිවිසෙනවා නම් එයත් නැති ප්‍රශ්න ඇතිකිරීමක්.

ගෙයි ගිනි ගෙටම සීමා කළ යුතු නමුත් පවුලේ ප්‍රශ්න රටේම විතරක් නෙවෙයි ලෝකෙම ප්‍රශ්නයක් කරන්න පුළුවන් බව වෙබ් අඩවිවලින් ඇඟිලි දිගුකරගන්නා අඹු සැමියන්ට දැනුමක් නැහැ. සමහර අය නෑයන්ට පහර දෙන්නත් වෙබ් අඩවි උදවු කරගන්නවා. ඒක හරියට පශ්චාද් භාගය පෙන්නමින් මොනරෙක් පිල් කලඹ විදහා දක්වනවා වගේ වැඩක්.

පවුල් ජීවිත පිළිබඳ විශේෂඥයන් පවසන අන්දමට රන් රස සේ පෑහෙන යුවළක් කිසි දවසක තම පෞද්ගලිකත්වය වෙබ් අඩවිවලින්, ඇප්වලින් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. නිතරම පමණට වඩා අන්තර්ජාලයට ඇබ්බැහි වී, සෙල්ෆි වෙබ් අඩවිවලට මුදා හරින්නත් හොඳ සහකරුවන්, සහකාරියන් නොවන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අය ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බවක් මනෝ වෛද්‍යවරු පෙන්වා දෙනවා. ඔහියෝ ජනපද සරසවියේ බ්‍රෑඩි බුෂ්මන් මහාචාර්යවරයා කියන්නේ නිතරම මුහුණු පොතට ගිහින් ‘පෝස්ට්’ එක්කරන, ‘කමෙන්ට්’ කරන, ‘ටැග්’ කරන ගැහැනු පිරිමි දෙපිරිසම යහපත් සහකරුවන්, සහකාරියන් නොවන බවයි. ඒවගේම ඔවුන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන් වීමට තියෙන ඉඩ කඩ වැඩියි.

සතුටින් ජීවත් වන යුවළක් සෙල්ෆියක් ගැනීමට, සෙල්ෆියක් වෙබ් ජාලාවකට මුදාහැරීමට ගත වන කාලය ද එකිනෙකාගේ සතුට වෙනුවෙන් යොදවයි.

අමෙරිකාවේ වයඹ දිගග සරසවිය අඹු සැමියන් විශාල ගණනක් ඇසුරින් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ තම සහකරුට, සහකාරියට වැඩිපුර ‘පෝස්ට්’ එක් කරන්නේ සිය සබඳතාව ගැන දැඩි විශ්වාසයක් නැති අයයි.

අද කාලයේ බත ඉදෙන තුරු තියෙන අරගල පවා ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ට්‍රගම්, යුටියුබ් ආදී එකී නොකී අන්තර්ජාල විජ්ජාවන් ලොවටම ප්‍රදර්ශනය කිරීමට තරම් ඉක්මන් වන්නන් සිටිනවා. අඹු සැමි ආරවුල් පෞද්ගලිකයි. එය යුවළක් විසින් අවධාරණයෙන් සිතට ගත යුත්තක්.

අන්තර්ජාලය මොනතරම් ජීවිතය කරගෙන සිටියත් අඳුරු පැත්තක් ප්‍රදර්ශනය කිරීම කිලුටු ඇඳුම් ප්‍රසිද්ධියේ සෝදා හරිනවාක් වැනි වැඩක්. ගෙදර දොරේ ප්‍රශන් පොදු ප්‍රශ්න බවට පත්කළ යුතු නැහැ.

සැමියාට, බිරියට අධික ලෙස පෝස්ට් යෙදීම ආත්ම විශ්වාසයක් ඇති බව පෙන්වීමේ අසාර්ථක ක්‍රමයක්. මෙවැනි අය සමාජ අඩවිය විවාහ දිවිය ගැන පුරසාරම් දෙඩවීමට හෝ අන් අයගේ සිත්වල ඊර්ෂ්‍යාව ජනිත කිරීමට හෝ රහස් පරීක්ෂක උපක්‍රමයක් ලෙස සමාජ වෙබ් ජාලා යොදාගන්නවා.

සත්‍ය වශයෙන්ම සතුටින් සිටින අයට එය ඔප්පු කිරීමට වෙබ් අඩවි අවශ්‍ය නැහැ. එමෙන්ම වෙබ් ජාලාවලින් දුරස් වී සිටින තරමටම යුවළකට සතුටින් සිටිය හැකියි. එය අධ්‍යයනවලින් පවා හෙළිවී තිබෙනවා. සතියක් ෆේස්බුක් ආදී සමාජජාලා වෙබ් අඩවිවලින් ඈත්වවී සිටිය තරමට දෙදෙනකුගේ යුග දිවියේ සතුට ඉහවහා යන බව අධ්‍යයන මඟින් පෙන්නුම් කරනවා.

සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවාක් මෙන් සමාජ වෙබ් අඩවි සාර්ථකව යොදාගත හැකි අවස්ථාවන් ද තිබෙනවා. දෙදෙනාට දෙදෙනාගේ දුරස්ථ මිතුරු මිතුරියන් මේ මාර්ගයෙන් පහසුවෙන්ම අඳුනාගන්න පුළුවන්. දෙදෙනා දුරස්ව සිටින අවස්ථාවල සජීවීව සම්බන්ධ වීමටත් මෙය අපූරු ක්‍රමයක්.