ස්වයං වර්ධනයෙන් ජයමාවතට...

නොවැම්බර් 22, 2021

 

සාර්ථක පුද්ගලයකු වීමට ඇති කරගත යුතු පුරුදු දහයක් ඇති බැව් අප ඔබට පැවසුවා මතක ඇති. එම පුරුදුවලින් අද ඔබ වෙත ගෙන එන්නේ හත්වන පුරුද්දයි.

මේ පුරුදු ඔබ තුළ දැනට නැති නම් ඒවා ජීවිතයට ළංකර ගන්න. දැනටත් සුළු වශයෙන් හෝ මෙම පුරුදු ඔබ තුළ වේ නම් ඒවා තව දුරටත් වර්ධනය කරගන්න. අද ඔබට පැහැදිලි කරන්නේ ස්වයං වර්ධනය වීම පිළිබඳයි.

ස්වයං වර්ධනය ලෙස හඳුන්වන්නේ කුමක්දැයි පැහැදිලි කරන්නේ නම්, තමා විසින් ම තමාගේ දැනුම, කුසලතා වර්ධනය කරගැනීමයි. සාර්ථක පුද්ගලයන් බොහෝ විට සිතන්නේ ඉගෙනීම පාසල් අධ්‍යාපනයෙන් හෝ උසස් අධ්‍යාපනයෙන් අවසන් නොවන බවයි. යම් පුද්ගලයෙක් මැරෙන මොහොත දක්වාම ස්වයං වර්ධනය විය යුතුය.

සාමාන්‍ය පුද්ගලයන් සිතන්නේ පාසල් අධ්‍යාපනයෙන් හෝ උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව යමෙක් අධ්‍යාපනය ලබා අවසන් බවයි. තමා මේ වන විට ලබා ඇති අධ්‍යාපන මට්ටමට අනුව ආණ්ඩුවෙන් රැකියාවක් ලැබිය යුතු බව ඔවුහු සිතති. මෙය සාමාන්‍ය සාම්ප්‍රදායික පුරුද්දයි.

නමුත් පාසල් අධ්‍යාපනය හා වැඩ ලෝකයේ අධ්‍යාපනය යනු දෙකකි. පාසලේ දී අපට ලැබෙන්නේ විෂයානුබද්ධ දැනුමයි. ගණිතය, විද්‍යාව ආදී විෂයයන්හි දී විෂයානුබද්ධ දැනුම ලබන අතර ඇතැම් විට වෘත්තීය සම්බන්ධ අධ්‍යාපනය ද සුළු වශයෙන් ලබයි. නමුත් වැඩ ලෝකයේ දී පුද්ගලයකු ලබන්නේ එයට වඩා ප්‍රායෝගික වූ දැනුමකි. වැඩ කරන්න, මිනිසුන් සමඟින් එකට ජීවත් වන්න ආදී ලෙස වූ මෙය වෙනම දැනම් පද්ධතියකි.

සාර්ථකත්වය සොයා යන පුද්ගලයා මැරෙන මොහොත දක්වාම තමා සතු දැනුම අලුත්කර ගනී. ඔවුන් සිතන්නේ නිරන්තරයෙන් ම දැනුම අලුත් විය යුතු බවයි. පාසල් අධ්‍යාපනය මූලික අධ්‍යාපනයක් පමණක් බව ඔවුහු සලකති. එමනිසා නිතර තම දැනුම අලුත්කර ගැනීමට ඔවුන් උනන්දු වේ.

ඔබ ව්‍යාපාරිකයකු වීමට සිහින දකින්නේ නම් ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම ද, කළමනාකරුවකු වීමට නම් ඔබ කළමනාකරණය පිළිබඳ දැනුම ද, අළෙවිකරුවෙක් වීමට සිහින දකින්නේ නම් අළෙවිකරණය පිළිබඳ දැනුම ද ලබා ගත යුතුය. මේ දැනුම පාසලෙන් ලැබෙන දැනුම ම නොවේ. මෙය ප්‍රායෝගික දැනුමකි.

ජීවිත සාර්ථක කරගත් පුද්ගලයන්ගේ ඇති එක් විශේෂත්වයක් වන්නේ තමා විසින් තමාගේ දැනුම වර්ධනය කරගැනීම සඳහා එනම් ස්වයං වර්ධනය සඳහා සෑම දිනකම කාල වේලාවක් වෙන්කර ගැනීමයි.

මෙහිදී මූලිකව සිදු කළ යුත්තේ තමා සතු අඩුපාඩු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි. මෙලෙස ස්වයං අවබෝධයක් ලබාගෙන ඉන්පසුව තමා විසින් ම එම දුර්වලතාව වළක්වා ගැනීම සඳහා වර්ධන වැඩපිළිවෙළක් සකසා ගත යුතුය. මෙය ඉංගී‍්‍රසියෙන් Self development plan ලෙස හඳුන්වයි.

මෙන්ටර් කෝච් නැතිනම් තමා ඉන්නා මට්ටමින් ඉහළට ගෙන යාමට උදවු ලබා ගත හැකි පුද්ගලයන් ජීවිතයට සම්බන්ධ කරගත යුතුය. ඔවුන් අපට උදවු කරන්නේ දැනුම, ආකල්ප, කුසලතා හෝ අප පෙර කී සංවර්ධනය අත්කර ගැනීමට ය.

පොත පත කියවීම ද ස්වයං සංවර්ධනය ළඟාකර ගැනීමට බෙහෙවින් ඉවහල් වේ. සාර්ථකත්වය සොයා යන පුද්ගලයෙක් සඳහා ස්වයං වර්ධනය බොහෝ වැදගත් ය.

ඔබ වැඩ ලෝකයට පැමිණි පසුව ඔබ හැදෑරූ වෘත්තීය පාඨමාලාව කුමදැයි ඔබෙන් විමසුවහොත්, ඔබ ස්වයං වර්ධනය සඳහා කොතරම් පොත් පත් ප්‍රමාණයක් පසුගිය කාලයේ පරිහරණය කළාද යන්න විමසුවහොත් එයට දිය හැකි පිළිතුරු පිළිබඳ සිතා බලන්න. පසුගිය කොවිඩ් සමයේ දී ඔබේ රැකියාව, වෘත්තිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන දේශන, වීඩියෝපට කොපමණ ප්‍රමාණයකට සවන් දුන්නාද? ඔබේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට ඔබේ දුර්වලතා මඟහරවා ගැනීමට යම් ක්‍රමවේද අනුගමනය කළාද? අඩුම තරමේ ඔබගේ සේවාදායකයන්, පාරිභෝගිකයන් ඔබගේ ආයතනයෙන් ලැබෙන භාණ්ඩ හෝ සේවා පිළිබඳ සෑහීමකට පත් වන්නේද යන්න දැනගැනීම මත ඔබේ හෝ ආයතනයේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරැදි කරගත්තාද?

මේ කිසිදු ගැටලුවකට සාධනීය පිළිතුරු ඔබ ළඟ නැතිනම් එහි අර්ථය වන්නේ ඔබ ස්වයං සංවර්ධනය සඳහා කිසිදු දෙයක් මේ කාලසීමාව තුළ සිදුකර නොමැති බවයි. ඔබට වැඩියෙන් යමක් ජීවිතයට ලැබීමට නම් වැඩියෙන් යමක් කළ යුතුය. වැඩි යමක් කිරීමට නම් ඔබ වර්ධනය විය යුතුය. වර්ධනය නොවන්නේ නම් ඔබ වයසින් වර්ධනය වුණද ඔබේ හැකියාවන්වලින් ඔබට ලෝකයට දිය හැකි දායකත්වයෙන් ඔබ සිටින්නේ පරණ ස්ථානයේ ම ය. එවිට ඔබට වැඩි යමක් නොලැබේ.

බොහෝ තරුණ පිරිස් තමා සිටින තනතුරෙන්, තමා සිටින ස්ථානයෙන් ඉහළට යාමට වැඩි කැමැත්තක් දක්වති. නමුත් ස්වයං වර්ධනයක් අත්කර ගැනීමට දක්වන්නේ ඉතාම අඩු උනන්දුවකි. නමුත් මෙලෙස ස්වයං වර්ධනයක් අත්කර නොගන්නා පුද්ගලයන්ට ඉහළ ප්‍රතිලාභ ලැබිය නොහැකිය.

ඔබ නිතර කේන්ති ගන්නා අයකු නම් මේ ස්වයං සංවර්ධනය තුළ මේ කේන්තිය පාලනය කරගෙන සංයමයෙන් කටයුතු කිරීමට හුරු වීම ද ඇතුළත් විය හැකිය. ඔබ කණ්ඩායම් හැඟීමෙන් තොර හුදෙකලා පුද්ගලයෙක් නම් වැඩ ලෝකය තුළ දී කණ්ඩායමට අනුගත වීමට හුරුවන්නේ නම් එය ස්වයං සංවර්ධනයකි.

ඔබ ආර්ථික අපහසුතාවකින් යුතු අයකු නම් යම් මුදලක් ඉතිරිකොට ආයෝජනයකර ඔබ යම්කිසි සාර්ථකත්වයක් ලබා ගැනීම ද ස්වයං සංවර්ධනයකි. මේ අනුව ස්වයං සංවර්ධනය හැඟීම්, සබඳතා, ආර්ථික, දැනුම හා කුසලතා ආදී ඕනෑම ආකාරයක සංවර්ධනයක් විය හැකිය.

මට හමු වූ සෑම මිනිසෙක් ම මා නොදන්නා කුමක් හෝ දනී. එය ඔහුගෙන් ඉගෙන නොගෙන ඔහුට මා හැර යාමට ඉඩ නොදෙමි යැයි කියමනක් ඇත. මෙයින් කියැවෙන්නේ දියුණුවක් අපේක්ෂා කරන මිනිසුන් සිතන ආකාරයයි. ඔබ තුළ ස්වයං වර්ධනයක් ඇතිකර ගන්නා තරමට ඔබට ජීවිතයේ අරමුණු වෙත ළඟා විය හැකිය. ඉලක්ක පහසුවෙන් ජයගත හැකිය.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු