නව වසරේ අභියෝග හමුවේ ඉලක්ක ජයග්‍රහණය කරගනිමු

ජනවාරි 3, 2022

නව වසරක් උදා වන්නේ හැම දෙනාගේම සිතුවිලි, බලාපොරොත්තු ඉහළ නංවා කරන වැඩ කටයුතු වලට නැවුම් බවක් ලබා දෙමින්. එහෙත් පසුගිය වසර දෙකම ගෙවීගියේ කෝවිඩ් වසංගතය හමුවේ කුමක් කරන්නදෝයි සිතා ගත නොහැකි ලෙසිනි.

ලෝකය මුහුණ පා සිටින වසංගත තත්ත්වය හමුවේ නව වසර වුවද කුමනාකාරයේ එකක් වේදැයි මුළු ලොවම බලා සිටින්නේ වික්ෂිප්තව ය. නමුත් මෙය අට ලෝ දහමයි. ලෝකස්වභාවය යි.

ඒ නිසා හොඳට හිතන්න. කෝවිඩ් වලින් ජීවිත යම් ප්‍රමාණයක් අහිමි වූ බව සත්‍යයක් වුවද අප බොහෝ දෙනෙක් තව දුරටත් ජීවත් වීමට තරම් වාසනාවන්තය. ලෝකය කෙසේ වෙනස් වුවද අපගේ ජීවන ගමන අප යා යුතුය. ජීවිතය සාර්ථක කරගත යුතුය. කොතරම් බාධක පැමිණිය ද හැකි තරම් ඒවා ජය ගැනීමට උනන්දු විය යුත්තේ පරාජිතයකු ලෙස නොව, සාර්ථක පුද්ගලයකු ලෙස කෙදිනක හෝ මෙලොවට සමු දිය යුතු නිසයි.

පසුගිය වසරේ තිබූ අභියෝග තවත් තීව්‍ර කරමින් නව වසර උදා වුවද නව වසර පිළිබඳ ඇති බලාපොරොත්තු අත්හළ යුතු නැත. අපට ඉතාමත් සැලසුම් සහගතව ජීවත් වන්නට, ජීවන රටාවක් පවත්වා ගැනීමට සිදු වීම විටෙක අපහසුතාවක් යැයි අපට දැනුණ ද පවතින තත්ත්වයට මුහුණ දීමට එය සුදුසුම ක්‍රමයයි.

නව වසරේ නව අභියෝග හා අපේ ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කරගැනීමට අප කුමක් කළ යුතු දැයි යන්න අද අපි මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

නිසල මුහුදේ නැව් පැදවීම සඳහා එතරම් දක්ෂතාවක් අවශ්‍ය නොවූවද චණ්ඩ මුහුදක නැව් පැදවීම සඳහා දක්ෂ නැවියකු අවශ්‍ය වේ. මෙය, චණ්ඩ මුහුදක් දක්ෂ නැවියකු බිහි කරයි යන කියමනෙන් පැවසෙන සත්‍යයි. එම නිසා දැනට පවතින සෞඛ්‍ය හා ආර්ථික අභියෝගය සාර්ථක හා අසාර්ථක මිනිසුන් මනින රේඛාවක් ලෙසින් අපට හැඳින්විය හැකිය. මේ තත්ත්වයට අනුවර්තනය වී එයට අනුගත විය හැකි අය එනම්, මේ තත්ත්වය දරාගෙන එයට සාර්ථකව මුහුණ දී සිටින පිරිස සාර්ථකත්වය කරා පිය නගන අය ලෙස හැඳින්විය හැකියි.

මේ නිසා පවතින තත්ත්වයන්ට අනුව තම සිතුවිලි හා ක්‍රියා කලාපයන් වෙනස් කරගැනීමට අසීරු පුද්ගලයන් අසාර්ථක වූවන් බවට පත් වේ. මෙය පරීක්ෂණයක්, විභාගයක් ලෙස සැලකීම වඩාත් සුදුසු ය. මෙහිදී අප ගැඹුරින් තේරුම් ගත යුතු දේ වන්නේ 2022 වසර ඔබේ ජීවිතයේ හොඳ ම, ජයග්‍රාහී ම, සාර්ථක ම, වාසනාවන්ත ම, සුබ ම වසර වේවා යැයි ප්‍රාර්ථනා කළ පමණින් ම මේ වසර ඔබට සුබ එකක් නොවන බවයි. ජීවිතය සාර්ථක නොවන බවයි.

ගේ දොර අලුත්කර, හුණු පිරියම්කර අලුත් ඇඳුම් පැලඳුම් ගත් පමණින් අපේ ජීවිත වෙනස් නොවේ. සැබෑ වෙනසක් සඳහා බාහිර පෙනුම නොව, වෙනස් විය යුත්තේ අපගේ සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් හා අපේ හුරු පුරුදුකම්ය.

අප ජීවත් වන කාල වකවානුව දෙස බැලීමේ දී එය මිනිසුන්ට දැඩිව වෙනස් වීමට බලපෑම් කරන, අභියෝග කරන කාලයකි. මේ නිසා නව වසර අපගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්කර ගෙන අපගේ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමට නම්, අප විසින් ඇතිකර ගත් වෙනස්කම් මොනවාද?

ඉන් පළමුවැන්න වන්නේ අත්නොහැරීම යන ගුණාංගය යි. මින් අදහස් වන්නේ ජීවිතයේ අප යම් ඉලක්කයක් වෙත යන ගමනේ දී එයට විවිධ අභියෝග, බාධක පැමිණිය ද එය අත්නොහැරීමයි. මෙවැනි විටෙක දී බොහෝ දෙනා කරන්නේ තමාගේ ඉලක්කය වෙනස් කිරීම හෝ එය අතහැරීමයි. මේ දිනවල එසේ පැමිණෙන බාධක වෙනදාට වඩා වැඩි ය.

උදාහරණයක් ලෙස ඔබ යම් ව්‍යාපාරයක් කරමින් සිටි අයෙක් නම් මේ දිනවල එම ව්‍යාපාරය කරගෙන යාමේ විවිධ අපහසුතා පැනනැඟිය හැකිය. ඇතැම් විට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුතා, ආනයන ද්‍රව්‍ය අවශ්‍ය වී තිබුණා නම් ආනයන සීමා කිරීම මත ව්‍යාපාරයට බාධා පැමිණිය හැකියි. එසේත් නැතිනම් මේ අවස්ථාවේ දී ඔබේ නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි නිසා ව්‍යාපාරය කරගෙන යාමට අපහසු විය හැකියි.

ඔබ ආපන ශාලාවක් හෝ ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා නම් ගෑස් ප්‍රශ්නය හා පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔබට ව්‍යාපාරය පවත්වාගෙන යාමට අපහසු විය හැකියි. බොහෝ විට මෙවැනි විටෙක අප කරන්නේ ව්‍යාපාරය අතහැර පැත්තකට වීමයි. පවතින තත්ත්වය හමුවේ මෙය අල්ලාගෙන ම සිටීමට යැයි කිව නොහැකි ය.

නමුත් ඔබ මතක තබා ගත යුත්තේ යම් ගමනාන්තයක් සඳහා මාර්ග කිහිපයක් ම භාවිත කළ හැකි බවයි. ඔබගේ ගමන් මාර්ගයේ ගංවතුර තිබේ නම් ගමන නොගිහින් සිටිනවාට හෝ යන තැන වෙනස් කරනවාට වඩා ඔබ කළ යුත්තේ ඒ සඳහා වෙනත් විකල්ප මාර්ගයක් භාවිත කිරීමයි. එසේත් නැතිනම් වෙනත් ක්‍රමයක් එතැනින් යාම සඳහා භාවිත කිරීමයි. ඔරුවක් හෝ පාරුවක් සොයාගෙන ඔබට පහසුවෙන් එම බාධාව ජය ගෙන ගමනාන්තයට ළඟා විය හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ බාධා පැමිණි විට උකටලී නොවී, නව අදහස් හා ක්‍රියාවන් මඟින් තමාගේ ඉලක්කය ජය ගැනීමයි.

බලාපොරොත්තු සිඳ බිඳ නොගෙන හෙට දිනය පිළිබඳ බලාපොරොන්තු තබා ගන්න. බලාපොරොත්තු අපව ජීවත් කරවන බව ඔබ ද අසා ඇති. එම නිසා වඩා වැදගත් වන්නේ සාර්ථකත්වය පිළිබඳ ඔබ තුළ ඇති බලාපොරොත්තුවයි. දැඩි බලාපොරොත්තුවක් ඇති විටෙක කුමනාකාරයේ අසීරුතාවක දී වුවත් එය දරාගෙන සිටීමට ශක්තියක් ඇති වේ. කෙසේ හෝ එය ඉටුකර ගැනීමට ද මේ නිසා හැකියාව ලැබේ.

දැනට පවතින අසීරු තත්ත්වය හමුවේ වුවද තමාගේ ඉලක්ක අත්නොහැර සිටීමටත් ඒවා ජය ගැනීමටත් කළ යුතු දේ පිළිබඳ පැවසීමට ලබන සතියේ දීත් අපි ඔබ සොයා එන්නෙමු.

 

උපදෙස් - ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු