L බෝඩ් එකක් ගහ ගත්තු පමණින් තනියම වාහනයක් පදින්න බැහැ

සැප්තැම්බර් 12, 2022

 

ලොවක් විකසිත කරන මලක් වැනි දරුවකුගේ හදිසි වියෝව දරාගත නොහැකි වේදනාවකි. ඒ වේදනාව කම්පනයක් බවට පත් වන්නේ එම දරුවා මෙලොවට බිහි කළ මවුපියන්ට පමණක් නොවේ. සමස්ත සමාජයටම ය.

පසුගිය දිනක පානදුර, ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණ දුන් 14 හැවිරිදි සිඟිති පුතුගේ මරණය ද එවැන්නකි. සවස උපකාර පංතියකට ගොස් පා පැදියෙන් නිවෙස බලා පැමිණෙමින් සිටිය දී කාර් රථයකට යට වීමෙන් මියගිය දරු පැටියාගේ වියෝව මහත් වේදනාත්මක සිදුවීමකි. මේ දරුවා රිය පුහුණුවන බෝඩ් එකක් සහිත මෝටර් රථයකට යට වී මිය යාම ඉතාම සංවේදී සිද්ධියකි.

මේ සිදුවීම අප විසින් මෙහි සටහන් තබන්නේ එම දරුවාගේ මරණයේ වේදනාවට වඩා ගැඹුරු වූ සමාජ කතිකාවක් ඔබ හමුවේ තබන්නටය. එනම් මෙවැනි අනතුරක් නැවත සිදු නො වීමේ වගකීම සමස්ත සමාජයටම දන්වන්නටය. මේ අහිංසක දරු පැටියා අනතුරට ලක් කළ චූදිතයා වන්නේ කාන්තාවකි. තම රථයේ රිය පුහුණුවන L බෝඩ් එකක් ද සහිතව රිය පැදවූ ඇයගේ රියට යටවී මේ ජීවිතය අහිමි විය. මෙලෙස රථයක් L බෝඩ් එකක් සහිතව මාර්ගයේ පැදවීමේ දී අනුගමනය කළ යුතු පියවරයන් පිළිබඳ අපට මුලින්ම ගැටලුවක් ඇති වෙයි. එසේම මෙලෙස L බෝඩ් එකක් රථයේ සවි කර ගත් පමණින් අපට මාර්ගයේ වාහනයක් ධාවනය සඳහා අවසර හිමි වෙයි ද? මේ අපට පැන නඟින දෙවැනි ගැටලුවයි. මේ ප්‍රශ්න දෙකටම වඩා බරපතළ වූ ගැටලුව වන්නේ පුහුණුවන ආධුනිකයකු අතින් රිය අනතුරක් සිදු වූ විට ඒ සඳහා ගත යුතු නීතිමය පියවරයි. මේ කරුණු සියල්ල ගැන සලකා බලා අප මෙය වඩාත් හොඳින් විග්‍රහ කර ගැනීමේ අපේක්ෂාවෙන් නීතිවේදී නදීජා ඩයස් මහත්මියගෙන් විමසීමක් කළේ මෙවැනි රිය අනතුරක් ගැන අත්දැකීමක් සෑම කෙනකුටම වඩාත් වැදගත් බැවිනි.

 

අනෙක් අසුනේ සිටිය යුත්තා

"විශේෂයෙන් මේ දරුවාෙග් මරණය පිළිබඳ සිද්ධිය විග්‍රහ කරන්න මම උත්සාහ කරන්නෙ නැහැ. එයට හේතුව මේ රිය අනතුර පිළිබඳ උසාවියේ නඩුවක් තවමත් විභාග වෙමින් පවතිනවා. ඒ නිසා එහි නීතිමය හැකියාව ගැන විග්‍රහයක් කිරීමේ අයිතියක් මට නැහැ. නමුත් පොදුවේ මෙවැනි අනතුරක් ගැන විමසුමට ලක් කිරීමේ දී රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම හා L බෝඩ් එකක් සහිත රථයක් පැදවීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය ගැන විග්‍රහ කරන්න පුළුවන්. අපේ රටේ නීතිය අනුව අවුරුදු 17 සම්පූර්ණ වූ පසුව සැහැල්ලු වාහන පුහුණු වී රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අයිතියක් තිබෙනවා. එහිදී සෑම පුහුණුවන්නකුට ම අනිවාර්යයෙන්ම L බෝඩ් එකක් ලැබෙනවා. එසේ පුහුණුවීමේ බලපත්‍රයක් ලැබුණු අයකුට අදාළ රථවාහන කාණ්ඩය (Auto, Manual) යටතේ රථයක් පුහුණුවන කාලය තුළ රියැදුරු බලපත්‍රයක් හිමි අයෙක් එම රථයේ පදවන්නාගේ ආසනයට ආසන්න අසුනේ සිටිය යුතුමයි. එහිදී ඒ තැනැත්තා හැර වෙනත් කිසිදු කෙනකු වාහනයේ නංවාගෙන යෑම සඳහා අවසර හිමි නොවේ. මේ පිළිවෙත තමයි පුහුණුවීමේ බලපත්‍රයක් හිමි රියැදුරෙක් අනුගමනය කළ යුතු පියවර වන්නේ.

 

පුහුණු වීමේ බලපත්‍රය

මෙලෙස පුහුණුවන්නා පුහුණු පරීක්ෂණය (trial) සමත් වූ විටයි, වලංගු රියැදුරු බලපත්‍රයක් ලැබෙන්නේ. පුහුණුවීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මුලින්ම අපේ රටේ ලිඛිත පරීක්ෂණය සමත් විය යුතුයි. එය සමත් වූ පසුව තමයි පුහුණුවීමේ බලපත්‍රයක් ලැබෙන්නෙ.

එසේම වාහනයේ රක්ෂණය, ආදායම් බලපත්‍රය, දුම් පරීක්ෂණ වාර්තාව හා පුහුණුවීම සඳහා තාවකාලිකව ලබා දෙන පුහුණු වීමේ බලපත්‍රයක් ළඟ තිබීම අනිවාර්යයි.

 

අනතුරක් වුණොත්

මෙවැනි පුහුණුවන තැනැත්තෙක් වාහනයකින් ගොස් අනතුරක් සිදු කළොත් එහිදී බලපෑමට ලක් වෙන්නේ ෙදවැනි පාර්ශ්වයක්. එනම් වින්දිතයෙක් සිටිනවා. මේ අනතුර වීමට හේතු ලෙස මාර්ග නීති උල්ලංඝනය වීම සිදුවෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අධික වේගයෙන් රථය පැදවීම හෝ රියැදුරු බලපත්‍රයක් හිමි තැනැත්තෙක් නොමැතිව ගමන් කරන අවස්ථාවක මේ අනතුර සිදු වෙන්න පුළුවන්. නො සැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවක අනතුරට ලක් වී දේපළක් හෝ පුද්ගලයෙක් අනතුරට ලක් වුණොත් රථ වාහන පොලීසියට මාර්ග නීති කඩ කිරීම යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමක් සිදු කළ හැකියි. මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ මෙවැනි අනතුරක දී වින්දිතයාට වූ හානියට වන්දි මුදලක් ලබා දෙන උසාවියක් නොවෙයි. නමුත් මෙහිදී සිදුවූ හානියට අදාළ යම් මුදල් ප්‍රමාණයක් පිරිනැමීම, පුද්ගලිකව සිදු වුවත් මෙවැනි අනතුරක දී වන්දි මුදලක් ලබා ගැනීම සඳහා වින්දිතයන් සිවිල් අධිකරණයක් වෙත යා යුතුයි.

නමුත් මෝටර් සයිකල් හා ත්‍රීරෝද රථ පැදවීමේ දී අනුගමනය සඳහා පුහුණු වීමේ බලපත්‍රයක් ලබා දීමේ පියවර සැහැල්ලු රථ වාහන සඳහා බලපත්‍ර ලබා දීමට වඩා වෙනස්. සාමාන්‍ය මෝටර් රථයක හෝ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ බලපත්‍රයක් හිමි අයකු යා යුතුමයි කියන නීතිය අනිවාර්යය නැහැ. නමුත් සාමාන්‍ය රථවාහන නීතිය වන්නේ පිටුපස අසුනේ බලපත්‍රලාභියකු යා යුතුයි. මෝටර් රථ සියල්ලම සඳහා මේ නීතිමය රාමුව ක්‍රියාත්මකයි.

 

නො සැලකිලිමත් බව

 

සාමාන්‍යයෙන් අනතුරක් සිදුවීමේ දී සමරහර විට කෙනකුගේ වරදින් තමයි අනතුර සිද්ධ වෙන්නේ. නමුත් ඒ පුද්ගලයා අතින් වරද සිදුවීමට අනෙක් පුද්ගලයාගේ දායකත්වයක් තිබෙනවා. අප ඒකට කියන්නේ නො සැලකිලිමත් බව කියලා. උදාහරණයක් ලෙස කහ ඉරක් තිබිය දී කහ ඉරෙන් නො පැන අනතුරක් සිදු වෙනවා. වැරැදි ස්ථානයකින් පැමිණීමෙන් තමයි මේ වරද වුණේ. එහිදී රිය අනතුරක් සිදු කිරීමෙන් ඉවත්වෙන්න රියැදුරාට බැහැ. නමුත් වන්දි පිරිනැමීමේ දී යම් සහනයක් ලැබෙනවා.

මෙවැනි අනතුරක දී කිසියම් අයෙක් මිය ගියොත් මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියකුට වන්දි මුදල් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. මෙහිදී වන්දි පිරිනැමීමක් පමණයි සිදු වන්නේ. නමුත් යම් අනතුරකින් කිසියම් පුද්ගලයෙක් මිය ගියොත් ඒ තැනැත්තා යටතේ රැකවරණයක් ලබන අයට අහිමිවන ආදරය හා ආරක්ෂාව ගැනත් දැන් විමසා බලනවා."

 

 

උපදෙස්

නීතිවේදී නීතිඥ

නදීජා ඩයස්