බසක මිහිර කියූ පෙරිඹරනී

භාෂාවක් දැනගැනීම යනු නව මාර්ගයක් විවර වීමක්
අගෝස්තු 29, 2022

 

“පෙරිඹරනී, පෙරිඹරනී” වාට්ටුව දෙවනත් කළ ද මතුවූ පෙරිඹරනියක් නොවූ අතර කාටත් හොරා පෙරිඹරනී ගෙදරවත් ගිහින් ද? වෙන්නට බැරිය.

දැන් සිංහල දරුවන් හා සිංහල නිලධාරීන් දෙමළ භාෂාවත් දෙමළ දරුවන් හා දෙමළ නිලධාරින් සිංහල භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්යය වේ.

 

ඇත්තටම තවත් භාෂාවක් දැනගැනීම යනු නව මාර්ගයක් විවර වීමක් වැනිය. දැනුම වැඩි දියුණු කරගැනීම මෙන්ම තව කෙනකූගේ හදවත ස්පර්ශ කළහැකි හොඳම ක්‍රමය වනූයේ ද ඔවුන්ගේ මව්බසින් ඇමතීමයි. මව්බස කතාකරනුයේ හදවතටයි.

 

මෙරට බොහෝ වාර්ගික අර්බුදවලට හේතු වූයේ ද අප අතර වූ භාෂාමය පරස්පරයන් ය. හෙදියක වන මම දෙමළ බස මුලින්ම ඉගෙන ගත්තේ මට හමුවූ දෙමළ බස කථා කළ රෝගී මහත්ම මහත්මීන් ගෙනි. යාපනයෙන් එන සිංහල වදනකදු බැරි ඇතැම් රෝගීන් සමඟ අංග චලන නාටක රඟ දක්වන්නට වූ අවස්ථා ද එමටය.

 

මේ සිද්ධිය මතක් වනවිට මට තාමත් හිනා ගිය ද කෙනකුගේ නමක් නිවැරැදිව කීම කෙතරම් වටිනවා ද යන්න මා මුලින්ම අත්දුටුවේ එදිනය.

 

සිසු හෙදියකව මහ රෝහලේ 47 වාට්ටුවට මා අනුයුක්ත කෙරුණේ තුෂාණි දංකුඹුර, ප්‍රීති අමදෝරු හා ජයනි ජයකොඩි යන තුන් කට්ටුව සමඟය. අපි හතර දෙනා අවසන් වසරේ සිසුන් වූ අතර වාට්ටුව හිසේ තබා ගැනීමේ රෝගයේ උච්චතම අවස්ථාව ගතකරමින් සිටියෙමු. ප්‍රධාන වැඩවලට ලොකු මිස්ලා සිටිය ද ඔවුන්ව ඒවායින් මඳකට හෝ ගලවාගත් අප, අපටම වැඩ බෙදීමක් කරගෙන තිබුණි. එක් අයකු රෝගීන් ඇතුළත් කිරීම ද තව අයකු මුත්‍රා check කර, රුධිර සාම්පල ගැනීම ද තවකකු ඉන්ජෙක්ෂන් දීම ද කළ අතර එදින මා කළේ මුඛයෙන් ලබාදෙන ඖෂධ ලබා දීමයි. පාන්දර වාට්ටුවට ගියපසු ඇඳන් සැකසීම, රෝගීන් සේදීම හතර දෙනාටම පොදු වැඩ විය.

 

දැන් 47A, 47B ලෙස දෙකට බෙදී අලුත් ගොඩනැගිලිවලට ගිය වාට්ටුව එකල එතරම් ආකර්ෂණීය නොවුණු ඇඳන් උඩ මෙන්ම බිම දැමූ මෙට්ට පැදුරු මත ද රෝගී මහත්මීන් පිරුණු කලබලකාරී ඒකකයක් විය. සුපුරුදු පරිදි ඖෂධ ලබා දීම සඳහා පැයකට වඩා ගතවූයේ රෝගීන් සංඛ්‍යාව ශතකය පසු කොට ගොස් තිබූ බැවිනි.

 

ඇඳන් මත සිටි කාටත් බෙහෙත් දී floor file එක අතට ගෙන නම් අඬගසමින් (ඇත්තටම කිව්වොත් බෙරිහන් දෙමින්) රෝගීන් සෙවීම ඇරඹීමි. “පෙරිඹරනී, පෙරිඹරනී” වාට්ටුව දෙවනත් කළ ද මතුවූ පෙරිඹරනියක් නොවූ අතර කාටත් හොරා පෙරිඹරනී ගෙදරවත් ගිහින් ද? වෙන්නට බැරිය. උදේ දොස්තර මහතා ඇයව බලා සටහනක් දමා තිබේ.

 

මා පෙරිඹරනී සොයන අතර ඊට නොබෝ දිනකට පෙර යාපනයේ සිට කොළඹට ගොඩබට පොඩි දොස්තර මහතා කට ඇදකර විකාර රූපී මුහුණක් මවා මා වටා දෙවරක් තුන්වරක් ගියේය. අවසානයේ බකස් ගා මගේ මූහුණට ඔලොක්කු හිනාවකින් දමා ගසා පෙරිඹරනී සොයමින් අසරණව සිටි මා අත වූ ටිකට්පත උදුරා ගත්තේය. “පේරිම්බරාණී” ගතවූයේ ඇසිල්ලකි. බිම මෙට්ටයක රස ඕපාදූපයක කිමිදී සිටි කිලෝ 150 කට නො අඩු පිරිපුන් ආච්චි අම්මා කෙනකු පොෙළාව දෙදරවා දුව ආවාය.

 

දෙවියනි මා “පෙරිඹරනී" කියමින් බෙරිහන් දී සොයා තිබුණේ "පේරිම්බරාණී"ය. දෙමළ දැන සිටියා නම් මේ නම වර නගන අයුරු මා දන්නවා නොවේද?

 

එදා සිට අද මේ වන තෙක් අවුරුදු විසි ගණනක් පුරා මම නූහුරු නමක් ඇසූ පසු උච්චාරණය ද කෙසේ දැයි විමසමි.

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි

ලක්මාලි ධර්මවංශ ලියයි