කාන්තා මන්ත්‍රී පදවිය පොදු ජනතාව වෙත ගෙන ගිය තමරා කුමාරි ඉලංගරත්න

ජූලි 3, 2023

 

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය.

කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරීම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක පස්වැන්නයි මේ.

 

ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලනයේ පුරෝගාමී කාන්තාවන් සිවුදෙනකු පිළිබඳව මීට පෙර ලිපිවලදී අප විසින් විස්තරකර තිබේ. එම කාන්තා නායිකාවන් පිළිබඳව දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ සමාජයේ ධනවත් සහ ඒ වනවිටත් දේශපාලනයේ නියැළී සිටි පවුල්වලට සම්බන්ධ සහ දේශපාලනයේ නියුතුව සිටි නායකයන්ට කිසියම් ආකාරයක වූ සම්බන්ධතාවයක් ඇති අය බවයි. එසේ වුවද කාන්තා දේශපාලනය පොදු ජනතාව අතරට ගෙනයෑමට මුල්වූ පළමු කාන්තා නායිකාවක් ලෙස හැඳින්විය හැක්කේ 1925 මාර්තු මස 15 වැනි දින කන්ද උඩරට ගම්පොළ ඉපිද මහනුවරින් දේශපාලනයට පිවිසි තමරා කුමාරි ඉලංගරත්නයි. ඇය සමාජ ස්ථරයේ පොදු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය ප්‍රථම කාන්තාව ලෙස හැඳින්විය හැකි අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ තුන්වැනි කාන්තාව ද වන්නීය.

 

මහනුවර ගලගෙදර තුම්පනේ ඉපිද රජයේ ලිපිකරුවකු වශයෙන් සේවය කළ ටී.බී. ඉලංගරත්න රජයේ ලිපිකරු සංගමයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළේය. ඒ හේතුවෙන් එවකට පැවැති රජය ඔහුගේ වැඩ තහනම් කරනු ලැබීය. ඉන්පසුව ඔහු 1947 මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඉලංගරත්න ඡන්ද 250න් පරාජයට පත්විය. ජය ලැබූ ජෝර්ජ් ඊ. ද. සිල්වාට එරෙහිව ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සමකින් ආසනය අහිමි වීමෙන් පසුව පැවැති අතුරු මැතිවරණයෙන් ඉලංගරත්න මහතා ඡන්ද 7757න් ජයග්‍රහණය කළේය. එහෙත් ඔහුට ද ඡන්ද පෙත්සමක් හේතුවෙන් තම ආසනය අහිමි වූ අතර නැවත මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිවන අයුරින් ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ද අහිමි කරනු ලැබීය. මේ නිසා ඔහු වෙනුවෙන් 1949 පැවැති ඡන්ද සටනට අවතීර්ණ වූයේ ඔහුගේ බිරිඳ තමරා කුමාරි ඉලංගරත්නයි. එම අතුරු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ප්‍රබල නායකයකු වූ ඒ.සී.එල්. රත්වත්ත වැඩි ඡන්ද 2050කින් පරාජය කරමින් ඇය පාර්ලිමේන්තුවට පිවිසියාය.

තමරා වැනි ග්‍රාමීය කාන්තාවක් දේශපාලනයට පිවිස ආසනයක් තරග කිරීමම අරුමයක් සේ සැලකූ යුගයක තමරා දේශපාලනයේ පතාක යෝධයන් පරදවා පාර්ලිමේන්තුවට පිවිසීම තුළින් පැහැදිලි කළේ ග්‍රාමීය කාන්තාවන් දේශපාලනයට පිවිසියත් අවසානය දක්වා සටන් කිරීමටත් ඒවා ජය ගැනීමටත් හැකි බවය.

තමරා තම පළමු මැතිවරණයට ඉදිරිපත් වූවේ සමාජවාදී ස්වාධීන අපේක්ෂිකාවක් වශයෙනි. ඇය හා තරග වැදුණේ එවකට රාජ්‍ය බලය හිමිකරගෙන සිටි එක්සත් ජාතික පක්ෂයයි. එවකට එ.ජා.පක්ෂයේ ප්‍රබල නායකයකු වූ එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මහනුවර ඡන්ද සටනට පැමිණ තමරාට එරෙහිව කතා කරමින් මෙසේ ප්‍රකාශ කර ඇත. “ ටී. බී. ඉලංගරත්නට දැන් ආසනයත් නෑ. සිවිල් අයිතිවාසිකමුත් නෑ. දැන් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ ඔහුගේ බිරිය තමරා. තමරා දිනුවොත් පාර්ලිමේන්තු යන්න වන්නේ හොරගොල්ල හරහා. ඉලංගරත්නට ඒ නිසා තමන්ගේ බිරියත් අහිමි වෙනවා. ” එසේ අදහස් දැක්වූ බණ්ඩාරනායක මහතා එ.ජා.පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට කටයුතු කළේය. තමරා ද එම කටයුතුවලට සහාය දුන්නාය. ඇය ශ්‍රී ල.නි.පක්ෂයේ ප්‍රථම රැස්වීම ඇමතුවාය. ඇය එම පක්ෂයේ ප්‍රථම විධායක කමිටුවේ සාමාජිකාවක් ද වූවාය.

 

තමරා ලංකාවේ දේශපාලනය තුළ අනවතර භූමිකාවක නියැළුණු කාන්තාවක් විය. ඇය 1949 සිට 1977 දක්වාම පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කළාය. 1952 දී මහනුවර කොට්ඨාසයේ පැවැති මැතිවරණයෙන් ඇය එ.ජා.පක්ෂයේ තවත් නායකයකු වූ ඊ.එල්. සේනානායකට පරාජය විය. 1970 දී ඇය මහනුවර ගලගෙදර ආසනයට තරග කළ අතර එය ජයග්‍රහණය කිරීමට ඇයට හැකිවූවාය. ඒ කාලවකවානුවේදී ඇගේ සැමියා ටී.බී.ඉලංගරත්න ද පාර්ලිමේන්තුවේ සිටියේය. පසුව 1977 මහ මැතිවරණයට ඇය ගලගෙදරින් තරග කළ නමුත් පරාජයට පත් විය. ඇයගේ නම ඉතිහාසගත වන්නේ මේ සා මැතිවරණ ප්‍රමාණයකට මුහුණ දුන් ප්‍රථම කාන්තාව ඇය වීම නිසාත් 1949න් ආරම්භකර 1977 දක්වාම දේශපාලනයේ රුඳී සිටිමින් පාර්ලිමේන්තු ආසන තරග කිරීම නිසාත්ය.

තමරා 1956 සහ 1960 මැතිවරණවලට ඉදිරිපත් නොවීය. ඊට හේතුව ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ සංවිධාන කටයුතුවල නියැළී සිටීමයි. ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන ඉතිහාසය තුළ විවිධාකාර පෙරළිවලට පරිවර්තනයන්ට ඒ ඒ අවදිවලදී බිහිවූ කාන්තා නායිකාවන් විසින් නායකත්වය ලබාදී ඇති බව මේ මඟින් පෙනී යයි.

දේශපාලනය කාන්තාවන්ට සුදුසු දෙයක් නොවන බවට පැවැති ආකල්ප වෙනස් කරමින් ඇඩ්ලින් ‍ෙමාලමුරේ, ඩොරින් වික්‍රමසිංහ, විවියන් ගුණවර්ධන වැනි නායිකාවන් මැතිවරණ සටනට මුහුණ දී පාර්ලිමේන්තුව ජයගෙන කාන්තාවන්ට ඇති නායකත්ව හැකියාව පෙන්වා දෙනු ලැබූ විශිෂ්ට චරිත විය. එසේ වුවද ග්‍රාමීය කාන්තාවන්ට විශේෂයෙන්ම සාම්ප්‍රදායික ගතිපැවතුම් සහ මතිමතාන්තරවලින් යම් යම් සීමාවන්ට ලක් වී සිටි උඩරට ග්‍රාමීය කාන්තාවන්ට දේශපාලන නායකත්වය සඳහා තවමත් අවස්ථාවක් ලැබී තිබුණේ නැත. එම ආකල්ප බිඳදමා ග්‍රාමීය කාන්තාවන්ට වුවද දේශපාලන නායකත්වයට පැමිණීමට හැකි බවත්, ජයග්‍රහණය කළ හැකි බවත් තමරා පෙන්වා දුන්නාය.

ටී.බී. ඉලංගරත්නයන් ඔහු තමරා සමඟ මුහුණ දුන් අභියෝග, ඒවා ජයගත් ආකාරය ආදිය පිළිබඳ ඔහුගේ “යුගයක ගමන ”නමැති ස්වයං ලිඛිත චරිතාපදානයේ බොහෝ කරුණු ඇතුළත් වේ. ඔහු සහ ඇය මහා ධනස්කන්දයකට උරුමකම් කීවෝ නොවූහ. එබැවින් විවිධාකාර ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් දේශපාලනයේ නිරත වීමට ඔවුන්ට සිදුවිය. වරෙක ඔවුන් පදිංචිව සිටි නිවෙස අතැර දමා ගමට ගොස් පදිංචි වූවේ කුලී ගෙවීමට තරම් වත්කමක් ඉතිරිව නොතිබූ බැවිනි. එහෙත් එවැනි අභියෝග තුළින් තම දේශපාලන අරමුණු යටපත් වීමට ඔවුහු ඉඩක් ද නොදුන්හ. ටී.බී. ඉලංගරත්න මහතා 1956 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයන් පිහිටවූ සෑම අවස්ථාවකම යම් ප්‍රබල ඇමැතිධුර දරමින් මේ රටේ ප්‍රගතිය සඳහා විශාල මෙහෙයක් ඉටු කළේය. රට තුළ මහා පරිවර්තනයක් ඇති කිරීම සඳහා ඔහු මූලිකත්වය දුන්නේය. මහජන බැංකුව පිහිටුවීම, ලංකා බැංකුව ජනසතු කිරීම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටුවීම, ස.තො.ස. පිහිටුවීම වැනි ක්‍රියාවන්ට මූලිකත්වය දෙමින් රට තුළ පොදු ජන ආර්ථිකයක් බිහි කිරීම සඳහා වෙහෙස වී කටයුතු කළේය.

එම ගමනේදි විවිධාකාරයේ බාධාවන්ට මුහුණ දෙන්නට සිදුවිය. අපහාස උපහාස, බොරු ප්‍රචාර, විරෝධතා, නම් පටබැඳීම් වැනි දේවලට මුහුණ දීමට ඔහුට සිදුවිය. එම සෑම අවස්ථාවකදීම ඔහුට ශක්තියක් වූයේත්, දිරිය ලබා දුන්නෙත් තමරා විසිනි.

ඇය සමාජ ක්‍රියාකාරිනියක් වූවා සේම දරුවන් සිවු දෙනකුගේ ආදරණීය මවක් ද වූවාය. 75 වැනි වියේ පසු වූ ඇය 2000 වසරේ ඔක්තෝබර් මස 05 වැනි දින මෙලොවින් සමුගත්තාය. සාමාන්‍ය පවුලක ඉපිද ප්‍රබල දේශපාලන චරිත අබිබවා යමින් සිය සැමියාට ද ශක්තියක් වෙමින් මෙරට පොදු ජනතාව වෙනුවෙන් ඇය කළ මෙහෙය ඉතා විශිෂ්ටය.