ගත සිත සුවපත්කරන යෝගාසන

ජූලි 15, 2024

 

නිරෝගීබව උතුම්ම ලාභයයි. එහෙම කිව්වට පවතින කාර්යබහුලත්වයත් එක්ක තමන්ගේ නිරෝගීබව ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්. ලෙඩ වෙලා බෙහෙත් ගන්නවට වඩා ලෙඩක් ඇති වෙන්න කලින්ම එයින් බේරන්න ක්‍රමයක් තියෙනවනම් කොතරම් දෙයක්ද. මේ කියන්න යන්නෙත් එහෙම ක්‍රමයක් ගැන. ඒ කියන්නෙ අපිව නිරෝගී කරන යෝගා අභ්‍යාස කිහිපයක් ගැන.

 

යෝග යනු අහිංසක ව්‍යායාම ක්‍රමයකි. බර උසුලන්නාක් මෙන් සිරුර දරදඬුකර ගනිමින් හකුපාඩා තදකර ගනිමින් ආසනවල නියළීම සුදුසු නොවේ. එය සෙමෙන් රිද්මයානුකූලව සිරුර නැමීමේ, දිගහැරීමේ එක්තරා කලාවකි. රිද්මයකි. එහිදී සිරුර නම්‍යශීලිකර ගැනීමත් මනස සැහැල්ලු කරගෙන සිටීමත් වැදගත් වේ. අප දැන් මෙහි පළමු අසුනවන ඌර්ධව මුඛ ස්වානාසනය පුහුණු වී ඊළඟට එහි දෙවැනි පියවරවන අධෝමුඛ ස්වානාසනය පුහුණු වෙමු.

ඔබේ දෙඅත් ඉදිරියට නිකට ඉදිරියට තබන්න. එම දෙඅත්ල පොළවට තද කරමින් පාද ඇඟිලිවලට බර දෙමින් සිරුර ආරුක්කුවක් මෙන් ඉහළට ඔසවන්න.

දෙඅත් පොළවට තදකර වැලමිට සෘජුව තබාගනිමින් දෙවිළුඹ පොළවට තද කරන්න. මෙවිට දණහිස් ඍජුව තිබිය යුතුය. සෙමින් ආශ්වාසකර එය ප්‍රාශ්වාස කරන ගමන් දෙවිළුඹ, දණහිස් දැඩිකරමින් දෙඅත්ල, දෙඅත් ද ඍජුව තබාගෙන ඔබේ සිරුරේ කඳ කොටස ඇතුළට ඇද ගනිමින් හිස මුඳුන පොළව දෙසට ගෙන ගොස් පොළවේ තබන්න.

මෙවිට පපුව විහිදී තිබිය යුතුය. විනාඩියක් පමණ ගැඹුරු ශ්වසනයේ රැඳෙන්න. ඉන්පසු නැවත ආරුක්කුවක් මෙන් සිරුර ඉහළට ඔසවා දෙවැලමිට නවමින් පොළවට පැමිණ විවේක ගන්න. මෙම අසුන සිරුරේ ශක්තිය, ප්‍රබෝධය වර්ධනය කරන අසුනකි. කොඳු ඇට පෙළ නිරෝගීභාවයට පත්කරන අතර ඉන්ද්‍රියයන් ක්‍රියාකාරී කරයි. රුධිර සංසරණ පද්ධතිය, මොළයේ මස්තිෂ්ක සෛලවලට මෙමඟින් ව්‍යායාම ලැබේ. මස්තිෂ්ක සෛලවලට මෙම අසුනේදී රුධිරය සැපයේ.

දැන් මීළඟ අසුන වෙත මාරු වෙමු. දැන් ඔබේ නිකට ඉදිරියෙන් තබා ගන්න. දෙඅත් ගුජාංගාසනයේ මෙන් උරහිසට සමාන්තරව තබාගන්න. ගැඹුරු ශ්වසනයේ යෙදී එම වාතය ප්‍රාශ්වාස කරමින් දෙඅත්ලට බර දෙමින් පාද ඇඟිලි පොළොවට දෙසට බර කරමින් මුළු කඳම පොළවෙන් ඔසවා සිටින්න.

දන් සිරුරේ බර දෙඅත්වලට දෙමින් පාද දැඩිකර දණහිස් පිටුපසට විහිදුවන ගමන් කොඳු ඇට පෙළ ළඟින් කඳ නවමින් ගෙළ හිස හැකිතරම් පිටුපසට නවන්න. මෙවිට ඔබේ දණහිස පොළවට ස්පර්ශ නොවිය යුතු සේම දෙඅත්, වැලමිට ළඟින් ඍජුකර තබාගත යුතුය. රිද්ම ගැඹුරු ශ්වසනයේ විනාඩියක් පමණ රැඳෙන්න. එම කාලයෙන් අනතුරුව සිරුර සැහැල්ලුකර කයට විවේකය ලබා දෙන්න. මෙම ආසනයේ යෙදීමෙන් කොඳු ඇට ඝනභාවයෙන් ඉවත්වේ. එහෙයින් කොඳු ඇට පෙළට නම්‍යකූලත්වය ලැබී එය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ද බලපායි. පපු පෙදෙස නිරෝගීව වැඩෙයි. මෙම අසුනේ ක්‍රියාකාරීත්වය පෙණහලු විස්තාරණය වීමට බලපාන බැවින් එය පෙනණලුවල නිරෝගීභාවයට හේතු වේ. පපු පෙදෙස උදරය, දෙඅත්, දණහිස්, ගෙල, තයිරොයිඩ් ග්‍රන්ථිය හොඳින් ක්‍රියාකාරී වේ. එවිට පළමු අසුනේදී සිරුරට ඇති වූ විපරිත තත්ත්වය දෙවැනි අසුනේදී ඉවත් වේ.

මෙම අසුනෙන් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන නිසා උද්‍යෝගය, අධිෂ්ඨානශීලිභාවය ද වැඩි කරයි. එමෙන්ම කොඳු ඇට පෙළ සම්බන්ධ රෝග, උරහිස් සන්ධිවල වේදනාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ දුර්වලතා, විශේෂයෙන් වයස්ගත වීමේදී කාන්තාවන්ට ඇතිවන අත්වල හිරි වැටීම මෙමඟින් පාලනය වේ.

මෙම ආසන දෙක අවසානයේදී ෂසන්කාසනයේ විවේක ගන්න. එම ආසනයෙන් ගතත් සිතත් සැහැල්ලු කරයි.

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

 

ඡායාරූප - තිලක් පෙරේරා

නිරූපණය -චිරන්ජීවා