කුස්සියේ යුද්ධය ඉවරයි

ඔක්තෝබර් 7, 2024

 

අමු මිරිස් මාස 03 - 06ක කාලයක් කල් තබා ගැනීමට ,

 

01 . නැටි කඩාගත් අමුමිරිස්, කහ, විනාකිරි දැමූ වතුර එකකට දමා විනාඩි 10ක් තබා අයින්කර තෙත මාත්තුකර වේළුණු පසු ටිෂූ කඩදාසියක් දැමූ බොක්ස් එකක දමා ශීතකරණයේ තබන්න.

 

02 .ඉහත පරිදිම පිරිසුදුකර අමුමිරිස් බ්ලෙන්ඩර් එකට දමා ලුණු කුඩු ටිකක්, දෙහි බිංදු ටිකක් දමා බ්ලෙන්ඩර් කර අයිස් කියුබි ට්‍රේ එකක දමා මුදවන්න. මිදුණු පසු භාජනයකට දමන්න.

 

කැපූ පොලොස් කැබලි සතියක් පමණ කල් තබා ගැනීමට වතුරට ලුණු මිශ්‍රකර දෙහි කැබලි හා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කර භාජනයකට දමා ශීතකරණයේ තබන්න.

 

කරවල , හාල්මැස්සන් කල් තබා ගැනීමට හොඳින් සෝදා අව්වේ වියළා භාජනයකට දමා අධිශීත කොටසේ තබන්න. මාස 02ක් 03ක් පමණ කල්තබා ගන්න පුළුවන්.

 

ඉඟුරු කල්තබා ගැනීමට ඉඟුරු කැබලි බ්ලෙන්ඩර්කර පේස්ටි එකක් සාදා ශීතකරණයේ තබන්න.

 

සුදුලූනු බොල්නොවි කල්තබා ගැනීමට ඇසුරුමට ගොරකා කැබලි කිහිපයක් දමන්න.

 

හාල් ගුල්ලෝ නොගහා තබා ගැනීමට කොහොඹ කොළයක් , රම්පෙ, වියළි මිරිස් කරල් දමන්න.

 

ධාන්‍ය වර්ග කල්තබා ගැනීමට ලුණු කැට, රම්පෙ, කරපිංචා කොළ කිහිපයක් දමා තබන්න.

 

පාන්පිටි කල්තබා ගැනීමට කොහොඹ කොළයක්, රම්පෙ කොළයක් දමන්න.

 

සියඹලා කල් තබා ගැනීමට ලුණු ටිකක් අතගා භාජනයක දමා ශීතකරණයේ තබන්න.

 

මී පැණි කිසිදු වෙනසක් නැතිව කල්තබා ගැනීමට එයට මිරිස් ඇටයක් දමන්න.

 

පොල් අඩලය නරක් නොවී කල් තබා ගැනීමට ලුණු කුඩු ටිකක් ජලයේ දියකර පොල් අඩලයේ ගා ගන්න.

 

බත් එක නරක් නොවී වැඩි වේලාවක් තබා ගැනීමට හාල් එකට විනාකිරි බිංදු කිහිපයක් හෝ දෙහි බිංදු කිහිපයක් දමන්න. මෙමගින් බත් ඇට ඇලීම වළකිනවා සේම බත් එකට හොඳ පැහැයක් ලැබේ.

 

බත් එක රොස් වුණොත් රොස් වු බත් බඳුන ඇල් වතුර බඳුනක් මත තබන්න. දුම් පිට වු පසු රොස් ගතිය, දුගඳ ඉවත් වේ.

 

බත් එක ඇටකුණා වුණොත් උණු වතුර ටිකක් ඉස කෙසෙල් කොළයකින් ආවරණය කර තබන්න.

 

තේ කොළ නැවුම්ව තබා ගැනීමට කරාබු නැටි , එනසාල් ස්වල්පයක් දමන්න. මෙයින් තේ එකට හොඳ රසයක් වගේම සුවඳක් ලැබේ.

 

සීනි බෝතලයට කූඹි එන එක වළක්වා ගැනීමට කරාබු නැටි කිහිපයක් දමන්න.

 

තුනපහ කුඩු , මිරිස් කුඩු , කහ කුඩු ඒවා නරක් නොවී තබා ගැනීමට බෝතල්වලට රම්පෙ කැබැල්ලක් දමන්න.

 

තුනපහ කුඩු, මිරිස් කුඩු නැවුම්ව දිගු කාලයක් තබා ගැනීමට ලුණු කුඩු ස්වල්පයක් එකතුකර හොඳින් කළවම් කරන්න.

 

දෙහි, අමුමිරිස් එකට තබන්න එපා අමුමිරිස් නරක් වෙනවා.

 

පලතුරු ඉක්මනින් ඉඳව ගැනීමට හාල් බහාලුමේ තබන්න.