ඉන්හේලර් පිළිබඳ ඔබ දැන සිටිය යුතු ම දෑ...

ජනවාරි 6, 2021

 

ඇදුම රෝගය පිළිබඳ මාපියන් දැනුවත් කරමින් ඇරැඹි ලිපි පෙළෙහි තවත් පියවරකි මේ. ඇදුම රෝගයෙන් පීඩා විඳීන දරුවකු ඔබටත් සිටින්නේ නම් ඉන්හේලර් වර්ග පිළිබඳ දැනුවත්ව සිටීම අතිශය වැදගත් වේ.

සහනක (Relievers) හා නිවාරක (preventers) ලෙස ඉන්හේලර් වර්ග දෙකකි. ඇදුම උත්සන්නවන අවස්ථාවලදී සහනක භාවිත කෙරේ. ඒවා මඟින් හැකිළුණු ස්වසන නාළිකා විස්තාරණය කිරීමත් ඒවායේ ඉදිමුම අඩු කිරීමත් සිදු කෙරේ.

නිවාරක ඖෂධ දීර්ඝකාලීන පාවිච්චිය සඳහා ය. මේවා කලක් පාවිච්චි කිරීමේ දී ස්වාස නාළිකාවල ඇති අධිසංවේදීතාව අඩු කරයි. මේ නිසා රෝගියා අසාත්මිකකාරකවලට නිවාරණය වුවත් ඇදුම උත්සන්න වීම් ඇති නොවේ. සහනක ඖෂධවල පිටත නිල් පාටිනුත් නිවාරක ඖෂධ දුඹුරු, දම්, කහ හෝ සුදු පාටිනුත් නිෂ්පාදනය කර ඇත.

මෙම ඉන්හේලර් ඖෂධ නැවතත් ක්‍රම කිහිපයකට නිෂ්පාදනය කෙරේ.

* ඖෂධ බෝතලයක් තුළට පීඩනයක් යටතේ තැන්පත් කිරීම Pressurized Metered Dose Inhelar -PMDI)

මෙහිදී ඉන්හේලරය සක්‍රීය (atuate) කළ විට නියමිත මාත්‍රාව වායුවක් ලෙස පිටතට නිදහස් කෙරේ.

* ඖෂධ කරලක් කුඩු ලෙස තැන්පත් කිරීම (Dry Powder Inhelar -DPI)

මෙම ඖෂධ කරල අදාළ උපකරණය තුළ රඳවා එය සිදුරු කර ආශ්වාස කළ විට එය පෙණහලුගත වේ.මේ සඳහා රෝගියා වැඩි ආයාසයක් ගත යුතුයි.

දරුවන්ට වඩාත් සුදුසු ඉන්හේලර් වර්ග

ඔබේ දරුවාට අවශ්‍ය ඉන්හේලර් ඖෂධය කුමක්ද යන්න ඔබේ ළමා රෝග වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇති. පාවිච්චි කරන මෙවලම බොහෝවිට සම්පීඩීත ඉන්හේලරයක් වීමට ඉඩකඩ වැඩිය. ඊට හේතුව අවුරුදු පහට අඩු දරුවන්ට තම ආයාසයෙන් ඉරීමට සිදුවන වියළි පවුඩර් ඉන්හේලර් පාවිච්චි කිරීම දුෂ්කර වීමයි.

වඩාත් සුදුසු ඉන්හේලර්

සම්පීඩීත ඉන්හේලර් දරුවන් භාවිත කිරීමේදී ස්පේසරයක් ඈඳා ගත යුතුයි. ස්පේසරයේ ප්‍රමාණය විශාලයි. මෙය අපහසුවට කරුණකි. වියළි පවුඩර් ඖෂධ කරලක් තුළ තැන්පත් කර ඇත. මෙම කරල ඉන්හේලර් මෙවලමට ඇතුළු කර, කරල වෙන් කිරීමෙන්/සිදුරු කිරීමෙන් පසුව රෝගියා විසින් ආයාසයෙන් ආඝ්‍රාහණය කරගත යුතුය. මෙම මෙවලම කුඩා නිසා සාක්කුවේ වුවත් රඳවා තබා ගත හැකියි.

වියළි පවුඩර් ඉන්හේලර්වල කුඩු ප්‍රමාණයෙන් විශාල නිසා උගුරේ රැඳීමට ඉඩකඩ මැඩියි. එමඟින් සමහර රෝගීන්ට කැස්සක් ඇතිවීමට ඉඩකඩ තිබේ. ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඉන්හේලර් වියළි පවුඩර් ලෙස ඉරීමෙන් උගුරේ තැන්පත් වී දිලීර ආසාදන ඇතිවිය හැකියි. එකම ඖෂධය මෙම දෙයාකාරයකින් ම වෙළෙඳපොළේ ඇත. මෙහි ඇති වාසි අවාසි ඔබේ ළමා රෝග වෛද්‍යවරයා හා සාකච්ඡා කොට වඩාත් සුදුසු දේ දරුවාට ලබා දිය හැකියි. දීර්ඝකාලයක් පාවිච්චි කරන්නේ නම් සහ මිල අතර වෙනස පිළිබඳ ද දැනුවත් වන්න.

සම්පීඩීත ඉන්හේලර් උපකරණ භාවිතය

මේ සඳහා ස්පේසරය (spacer) හා මුහුණු වැස්ම(mask) එක අවශ්‍ය වේවි.සියලුම දරුවන්ට ඉන්හේලර් භාවිත කරද්දී ස්පේසරයක් අත්‍යවශ්‍ය බව සාමාන්‍ය පිළිගැනීමයි. ඉන්හේලරය සක්‍රීය කළවිට (Actuation) නිකුත්වන ඖෂධය ස්පේසරය තුළ තබා ගනියි. සම්පීඩීත ඉන්හේලරය කෙළින් ම මුඛය තුළ තබා සක්‍රීය කළ විට නියමිත මාත්‍රාව ඉතා වේගයෙන් ඉන්හේලරයෙන් නිකුත් වේ. එය නිකුත්වන විගසම ආශ්වාස නො කළොත් ඖෂධ වැඩි ප්‍රමාණයක් පෙණහලු තුළට නොගොස් උගුරේ තැන්පත් වේ. මෙහිදී බලාපොරොත්තුවන ප්‍රතිපල නොලැබේවී. ස්ටීරොයිඩ් ඖෂධ අඩංගු ඉන්හේලර් නම් මෙම ඖෂධ උගුරේ තැන්පත් වීමෙන් ආසාදන ඇතිවීමේ අවදානමක් ද පවතී.

වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ විවිධ ස්පේසර් වර්ග භාවිතයේ ඇතත් ප්‍රධාන වශයෙන් ස්පේසර් වර්ග කාණ්ඩ දෙකක් තිබේ.

* වැඩි ධාරිතා ස්පේසර් (Large Volume Spacers)

* අඩු ධාරිතා ස්පේසර් (Small Volume Spacers)

ස්පේසරයේ මුඛ කොටස (mouth piece),  වෑල්වය/කපාටය (valve), වායු කුටීරය ( air chamber), ඉන්හේලරය සවිවන කොටස වශයෙන් කොටස් 4කි.

ස්පේසරය විශේෂිත වූ ප්ලාස්ටික් වර්ගයකින් සාදා ඇත. මෙහි විශේෂත්වය නම් ඉන්හේලරයෙන් නිකුත්වන ඖෂධ වායු කුටීරය තුළ කෙටි කාලයකට රඳවා පවත්වා ගැනීමේ හැකියාවයි. උසස් තත්ත්වයේ ස්පේසරයක් අලුතින් භාවිතයට ගැනීමේ දී එහි වායු කුටීරය ඇතුළත බිත්තිවල ඉන්හේලර් ඖෂධ තැන්පත් වීම සිදු නොවේ. නමුත් කල්යත්ම බිත්තිවල ඖෂධ තැන්පත් වීමට පටන් ගැනීමෙන් ස්පේසරයේ කාර්‍යක්ෂමතාව අඩුවේ.

සාමාන්‍යයෙන් ස්පේසරයක ආයු කාලය මාස හයත් දොළහත් අතර වේ. ඒ නිසා ඔබේ දරුවාට අවුරුද්දට වැඩි කාලයක් ඉන්හේලර් ඖෂධ ලබා දීමට සිදුවේ නම් ඔබගේ ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයා අලුත් ස්පේසරයක් නියම කරනු ඇත.

ස්පේසරය රැක ගැනීම

මින් අදහස් වන්නේ ස්පේසරය මාස හයත් දොළහත් අතර කාලයක් පාවිච්චි කළ හැකි පරිදි ආරක්ෂා කර ගැනීමයි. මෙය දරුවාට සෙල්ලම් කිරීමට සුදුසු සෙල්ලම් බඩුවක් නොවේ. මිලදී ගත් පසු අවශ්‍ය නම් මුලින් ම සෝදා ගත හැකියි. ඉන්පසුව සතියකට වරක් සේදීම ප්‍රමාණවත් ය. කෙසේ නමුත් සෝදන වාර ගණන අදාළ නිෂ්පාදිත සමාගම විසින් සඳහන් කර ඇත. ඒ උපදෙස් පිළිපැදිය යුතුවේ. සේදීම සඳහා උපකරණය ගලවන අයුරු ඔබගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් අසා දැන ගන්න. නැවත සවි කරන අන්දම ද අසා දැන ගන්න. සේදීම සඳහා දියර සබන් වර්ගයක් භාවිත කරන්න. මඳ උණුසුම් වතුර වඩාත් සුදුසු ය. කිවුල් ජලයෙන් සේදීම එතරම් සුදුසු නොවන්නේ ජලයේ ලවණ කොටස් ඇතුළත බිත්තිවල තැන්පත් විය හැකි බැවිනි. ඔබ ප්‍රදේශයේ ඇත්තේ කිවුල් වතුර නම් බෝතල් වතුරෙන් හෝ ෆිල්ටර් වතුරෙන් සේදීම සුදුසු ය. සේදීමෙන් පසු ස්පේසරයේ කොටස් පවනේ වියළීමට හරින්න. ඉක්මනින් වියළා ගැනීම සඳහා අව්වේ තැබීමෙන් උපකරණයේ ඇති ප්ලාස්ටික් කොටස්වලට හානි සිදුවිය හැකි බැව් මතක තබා ගත යුතුවේ. එමෙන් ම ඒ මත තැන්පත් වූ ජලය රෙදි කැබලිවලින් පිස දමා වේළා ගැනීම සුදුසු නොවේ. එසේ කිරීමෙන් ස්පේසරයේ ප්ලාස්ටික්වලට ආකර්ෂණ බල ඇතිවේ. එසේ වූවිට ඉන්හේලර් ඖෂධ මෙම ස්පේසරයේ ඇතුළත බිත්තිවලට ඇලීම සිදුවේ. ස්පේසරයේ ඖෂධ තදින් ඇලී ඇත්නම් පමණක් බුරුසුවක් ආධාරයෙන් පිරිසුදු කර ගන්න. ස්පේසරය හොඳීන් වියැළුණු පසුව පාවිච්චි කිරීමට වග බලා ගන්න. එහි ඇතුළත ජලය රැඳී ඇති විට ද ඉන්හේලර් ඖෂධ බිත්ති මත තැන්පත් වී ස්පෙසරයේ කාර්‍යක්ෂමතාව අඩුවේ.

ඉන්හේලර් භාවිතය පිළිබඳ තවත් කොටසක් ලබන සතියේ

 

 

උපදෙස්

කෑගල්ල මහ රෝහලේ

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

අරුණ පීරිස්

 

 

----------------------------------

ස්පේසරය නිවැරැදිව භාවිත කිරීම

 

මේ පිළිබඳ මාර්ගෝපදේශකත්වය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙතින් ලැබේ.

* ඉන්හේලරය සොලවා ස්පේසරයට සවි කරගන්න.

* ස්පේසරයේ මුඛ කොටස නිවැරැදි ලෙස දරුවාගේ මුඛයේ රඳවන්න.

* ඉන්හේලරය ක්‍රියාත්මක කරන්න.වරකට ඇතුළු කළ යුතුවන්නේ පෆ් එකක් පමණි.

* දරුවාට ආශ්වාස කිරීමට උනන්දු කරවන්න.

* ඉහළට ගත් හුස්ම හැකිනම්, තත්ත්පර කිහිපයක් පෙණහලුවල රඳවා තබා ගැනීම වඩා සුදුසු වේ. නාසයෙන් සෙමින් හුස්ම පිට කිරීමට උනන්දු කරවන්න.

* මෙසේ පස්වරක් හුස්ම ගැනීම් කරවන්න.

* තවත් මාත්‍රාවක් ලබා දිය යුතු නම්, එසේ කර මෙම ක්‍රියාවලියම නැවත කරවන්න.

* දරුවාගේ කට සහ උගුර සෝදවන්න. අවුරුදු හතරට අඩු දරුවන් නම් මේ සඳහා යොමු කිරීම දුෂ්කර බැවින් කට සේදීම අවශ්‍ය නොවේ.

* ඉන්හේලර් උපකරණය ස්පේසරයෙන් වෙන් කරන්න.ඉන්හේලරයේ පියන වසන්න. ඉන්හේලරය සහ ස්පේසරය ආරක්ෂිත ස්ථානයක තබන්න.