ලංකාවේ ගැබිනි මව්වරුන්ට සයිනොෆාම් එන්නත පමණක් ලබා දෙන්නේ ඇයි?

ජුනි 16, 2021

 

කෝවිඩ් මාරයා මිනිස් සංහතියේ ම ජීවිත නොපිට පෙරළද්දී එයට යම් බලපෑමක් එල්ල කරමින් ලොව ප්‍රමුඛ පෙළේ රටවල් කිහිපයක් ම යම් යම් අත්හදා බැලීම් කරමින් ඒ සඳහා එන්නත් කිහිපයක් ම නිපදවමින් සිටියි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සොයාගත් ඇස්ට්‍රසෙනිකා එන්නත, අමෙරිකාව ෆයිසර් බයෝටෙක්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා යන එන්නත් නිපදවද්දී රුසියාව ස්පුට්නික් v එන්නත නිපදවීය.

කෝවිඩ් සඳහා වූ අලුත්ම එන්නත් දෙක වන්නේ චීනය නිපදවූ සයිනොෆාම් සහ සයිනොවැක්ස් එන්නත් ය. රුසියාවේ ස්පුට්නික් එන්නතට හැරුණු කොට අනෙක් සියලුම එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද ලැබී තිබේ. මෙම එන්නත් නිපවීම සඳහා භාවිත කර ඇති තාක්ෂණවේදය එකිනෙකට වෙනස් ය. තුන්වැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟ කොරෝනා වෛරසයට ගැබිනි මව්වරුන් ගොදුරු වීම වැඩිවුණු අතර මේ වන විට ගැබිනි මව්වරුන් කිහිප දෙනෙකුට මරණයට පත්වී ඇත. රටක් ලෙස ගැබිනි මව්වරුන්ගේ ආරක්ෂාව ගැන බොහෝ සිතන නිසා වෛද්‍යවරුන්ගේ අවධානය එම කරුණ වෙත යොමුවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස දැන් අපේ රටේ ගැබිනි මව්වරුන් ද කෝවිඩ් එන්නත ලබාදීම සඳහා වූ ප්‍රජාවගෙන් කොටසක් බවට පත්ව තිබේ. මේ වනවිටත් එන්නත් ලබා දීම ආරම්භ කර ඇති අතර ගැබිනි මව්වරුන් සඳහා ලබා දීමට නිර්දේශ වී ඇත්තේ සයිනොෆාම් එන්නතයි.

ගැබිනි මව්වරුන්ට සයිනොෆාම් එන්නත පමණක් ලබා දෙන්නේ ඇයි ?

කෙනකුට සිතේවි ඇයි අපට ෆයිසර්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්... වගේ එන්නතක් නුදුන්නේ කියා. මේ නිසාම ඇතැම් ගැබිනි මවුවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට එන්නත් විද ගැනීම පිළිබඳ සැකසංකාවක්, මානසික ආතතියක් ඇතිව තිබේ. සයිනොෆාම් එන්නත ගැබිනි මව්වරුන්ට ලබාදීම සම්බන්ධයෙන් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සංගමය පූර්ණ අනුමැතිය පළ කරයි.

ඔවුන් එලෙස අනුමැතිය මේ එන්නතට පමණක් පල කරන්නේ ඇයි ? ඔබ ගැබිනි මවක් නම් හෝ ඔබේ බිරිය ගැබිනියක් නම් හෝ ඔබේ පවුලේ කෙනකු ගැබිනියක් නම් ඒ පිළිබඳව නිවැරැදිව දැනුවත්ව වීම වැදගත් වේවි. සයිනොෆාම් සහ සයිනොවැක් යන එන්නත් දෙක ම අනෙක් එන්නත්වලට වඩා වෙනස් ය. මේ එන්නත නිපදවන සමාගම කොරෝනා වෛරසයේ ප්‍රෝටීන් කොටසක් ගෙන එය අක්‍රිය කරන ලද කාණ්ඩයේ වෛරසයක් බවට පත්කොට එයින් එන්නත නිපදවීම සිදුකොට තිබේ. මේ එන්නත් එකිනෙක සසඳා බැලීම අපහසු කරුණකි.

නමුත් ලෝකයේ ගැබිනි මව්වරුන්ට ලබා දී, පර්යේෂණ දත්ත වාර්තා වන්නේ ෆයිසර් වැනි එන්නත් එකක් හෝ දෙකක් සඳහා පමණි. අනෙකුත් එන්නත් ගර්භණී මව්වරුන්ට දී ඇතත් ඒ සඳහා පර්යේෂණ කිරීමට අවසර ලබාදී නැත.

 

පළමු සති 12 දී එන්නත ලබාගැනීම

 

ගර්භණී අවධියේ පළමු තෙමස හෙවත් සති 12 ක් දක්වා වූ කාලය කලලයේ වර්ධනයේ අසාමාන්‍යතා / විකෘති සිදුවේ ද යන්න නිරීක්ෂණය කරන කාලයයි.

කෝවිඩ් සඳහා වූ එන්නත ගතහොත් මේ කාලයේ කලලයට යම් හානියක් සිදුවේ දැයි මව්වරුන් අනියත බියක් ඇතිකර ගනියි. එහෙත් පළමු සති 12 දී කොරෝනා වැලඳුණු ගැබිනි මව්වරුන්ගේ වැඩි ප්‍රතිශතයකගේ අසාමාන්‍යතා ඇති දරුවන් නොමැත.

සයිනොෆාම් යනු වෛරසය අක්‍රිය කරමින් නිපදවූවක් නිසා එහි බලපෑමක් සිදුවේදැයි සිතීමේ සම්භාවිතාවක් ද නොමැත.

පළමු තෙමස ඇතුළුව මුළු මාස 9 පුරාවට ම මෙම එන්නත කෝවිඩ් වෛරසයෙන් ගැබිනි මවුවරුන් ආරක්ෂා කරනු ඇත.

මේ නිසා ලංකාවේ ගැබිනි මවුවරුන්ට ලබාදෙනුයේ සයිනොෆාම් එන්නත ම පමණි.

පළමු මාත්‍රාව ලබා දී සති 3 ක් හෝ 4 ක් ඇතුළත දෙවැනි මාත්‍රාව ලබාදීම වඩාත් සුදුසු වේ. ප්‍රමාද කළ යුතු නොවේ. පළමු සහ දෙවැනි වශයෙන් ලබාදෙන්නේ එකම වර්ගයයි.

කෝවිඩ් රෝගී තත්ත්වය දරුණු අතට පත්වීම සහ රෝහල්ගතවීමට ඇති අවස්ථාව මෙම එන්නත නිසා සියයට 79 කින් අඩු කරයි. පළමු මාත්‍රාව ලබා දී සති 3, 4 කින් දෙවැනි මාත්‍රාවත් ලබාගෙන එම දිනයේ පටන් දින 14 ක් පමණ යනතුරු එතරම් ආරක්ෂිත නොවිය හැකියි. දෙවැනි මාත්‍රාව ලබා ගත් සැණින් 'හරි මම දැන් ආරක්ෂිතයි' යැයි සිතිය නොහැකියි. මෙම වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමට දින 14 ක් පමණ ගතවේ.

එන්නත ලබාගත් පමණින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඈත් කිරීමට නොහැකි වේ. ඒවා පෙර පරිදිම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

මම මේ එන්නත ගත යුතුම ද?

 

මෙවැනි ප්‍රශ්නයක් ගැබිනි මවකගේ සිතෙහි ඇතිවිය හැකියි. කෝවිඩ් වැලඳුණු ගර්භණී මාතාවන් අවදානම් කාණ්ඩයේ ලා සැලකේ. ගැබිනි මව්වරුන් සියයට 10 ක් හෝ ඊට වැඩි ගණනක් දරුණු ගණයේ කෝවිඩ් රෝගීන් වීමට ඉඩකඩ තිබේ.

සියයට එකක වැනි ප්‍රමාණයක් මියයෑමේ සම්භාවිතාවක් ද තිබේ. එන්නත ලබා දීම සිදුවන්නේ ගර්භණී මව්වරුන් අතරේ මෙම තත්ත්වය වළකාලීමටයි. එන්නත ලබා ගතහොත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ සියයට 80 ක් පමණ පහළ බසී.

 

*කලින් කෝවිඩ් වැලඳී තිබීම එන්නත ලබාගැනීමට නුසුදුසු කමක් නොවේ

ලෝක සෞඛ්‍ය සංවිධානය ගර්භණී මව්වරුන් කුමන සති ගණනේ සිටියත් එන්නත ලබා ගැනීමට සුදුසු අය බවට අනුමත කරයි.

ගැබිනි මවකට මෙම එන්නත ලබා ගැනීමට තමා තුළම කැමැත්තක් ඇතිවීම වැදගත් වේ. යම් සැක සංකාවක් ඇත්නම් පළමු සති 12 අවසානයේ එන්නත ලබා ගැනීමට පුළුවන. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පුන පුනා පවසනුයේ පළමු සති 12 ඇතුළත දී ගැබිනි මවක් එන්නත ලබා ගැනීමෙන් කිසිදු ප්‍රශ්නයකට මැදි නොවන බවයි.

කෝවිඩ් තුන්වැනි රැල්ලේ දී ගර්භණි සමයේ අවසන් සති 12 ගත කරන මව්වරුන් වැඩිම වශයෙන් අයහපත් තත්ත්වයට පත්ව තිබුණි. ඇයට ප්‍රතිශක්තිකරණය වඩාත් ම අවශ්‍ය වන්නේ අවසන් මාස 3 දීය. කෝවිඩ් එන්නත අවසන් මාස තුනේදී හෝ ලබාගෙන තිබීම අතිශය වැදගත් වේවි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සම්බන්ධීකරණයෙන් MOH කාර්යාල හරහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා ගැබිනි මවුවරුන් මෙම එන්නත ලබාගත යුතු වේ. ඔවුන් සාමාන්‍ය ජනතාව එන්නත් ලබාගන්නා තැන්වලට ගොස් එන්නත ලබා ගැනීමට කොහෙත්ම සිතනු එපා.

ගැබිනියක් වූ පසු MOH කාර්යාලයේ ලියාපදිංචි වී තිබිය යුතුවේ. එසේ වී නොමැති නම් වහාම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කොට ඔවුනගේ දත්ත වාර්තාවලට ඇතුළත් විය යුතුවේ. එවිට ගැබිනි මව්වරුන්ට ඔබේ ප්‍රදේශයේ එන්නත ලබාදෙන ස්ථානය පිළිබඳව දැනුවත් කරයි.

සයිනොෆාම් එන්නත නිර්දේශ වන්නේ වයස අවුරුදු 18 ට වැඩි අයටයි. ලංකාවේ ගැබිනි මවුවරුන් සඳහා මෙම එන්නත

ලබා දෙනුයේ වයස 30 ට වැඩි අයටයි. හෘද රෝග, දියවැඩියා, කොලෙස්ටරෝල් ඇති අය අවදානම් කාණ්ඩයේ ගැබිනි මව්වරුන් ය. ඔවුන්ට මෙම එන්නත ලබාදීම එකහෙළාම නිර්දේශ කර තිබේ. ඒ මෙවැනි මව්වරුන් කෝවිඩ්

වැලඳුණහොත් බොහෝ සංකූලතා පෙන්වන අය බවට පත්වන නිසායි. මෙවන් තත්ත්ව ඔවුන්ට එන්නත ලබාදීමේ අමතර සුදුසුකම් වේ.

ගැබිනි මවක් MOH කාර්යාලයට ගිය පසු තමාට ඇති රෝගී තත්ත්වයන් සියල්ල නොසඟවා පැවසීම අතිශය වැදගත් වේ.

පාලනය නොවන අපස්මාර තත්ත්ව ඇති අය, ස්නායු රෝග සම්බන්ධ ගැටලු ඇත්නම්, කලින් යම් එන්නතකට දරුණු ලෙස අසාත්මික වී ඇත්නම්, රුධිර පට්ටිකාවල ගැටලු ඇති අය, අධික රුධිර වහනයන් සිදුවූ අයට, එච්. අයි. වී. වෛරසය ශරීරගත වූ මව්වරුන්ට, පිළිකා රෝගී මව්වරුන්, වකුගඩු බද්ධ කර ඇති මව්වරුන්ට මෙම එන්නත දෙනවා ද, නැද්ද යන්න තීරණය කරන්නේ වෛද්‍යවරුන් විසිනි.

එන්නත ගත් පසු හන්දි වේදනා, මාංස පේශිවල, අතපය වේදනා, අප්‍රාණික බව, මද උණ ගතිය, උගුර දැවිල්ල, වමනය, කැස්ස, බඩ බුරුලට යෑම වැනි දේ හට ගැනීම සම්බන්ධයෙන් කලබල විය යුතු නැත. මෙවන් අතුරු ආබාධ ඇතිවුවහොත් පැය 6 න් 6 ට පැරසිටමෝල් අදාළ මාත්‍රාවෙන් ලබාගත යුතුයි. එන්නත ලබා ගැනීමට පෙර පැරසිටමෝල් ගැනීම නොකළ යුතුයි.

එවිට එන්නතේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇති වේ දැයි සොයා ගත නොහැකි වේ. ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධ ලබාගැනීම වෛද්‍යවරුන් අනුමත නොකරයි.

දරුණු ගණයේ අතුරු ආබාධ ඇතිවන්නේ නම්, එනම් හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ වේදනාව, දරුණු ලෙස ඇඟ දැවිල්ල, අතපය රතුවීම, මීට අමතරව රුධිර කැටි ගැසීමක දී ඇතිවන අධික හිසේ වේදනාව, එක් පාදයක බත් කෙණ්ඩ ප්‍රදේශයේ මාංස පේශි ඉදිමී වේදනා ගෙනදීම, අපස්මාර තත්ත්වය (එන්නත ලබාගෙන දින 3 සිට සති 3 ක් දක්වා) ඇතිවිය හැකියි. මෙහිදි වහාම ඔබේ වෛද්‍යවරයා හෝ MOH කාර්යාලය, රෝහල සම්බන්ධ කරගත යුතු ම වේ.

 

මොවුන්ට රෝගය වැලඳුණු පමණින් ඒ සඳහා වන ප්‍රතිශක්තිය පළමු සති 6, මාස 3 අවසන් වනවිට නැති වීයයි. ඒ නිසා කෝවිඩ් වැලඳුණ ගැබිනි මව්වරුන් ද සයිනොෆාම් එන්නත ලබා ගත යුතු කාණ්ඩයේ අය බව වෛද්‍ය නිර්දේශයයි. කලින් කෝවිඩ් වැලඳී තිබීම එන්නත ලබා ගැනීමට සිටීමට නුසුදුසුකමක් නොවේ.

මේ වන විට උණ ඇත්නම්, කෝවිඩ් වැලඳී ඇත්නම් එන්නත ලබා නොදේ. කෝවිඩ් සුව වී සති 2, 3 කින් පසු (ස්වයං නිරෝධායනයෙනුත් සති 2 කට පසු) එන්නත ලබා ගැනීමට නිර්දේශ වේ.

 ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

 

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය දිලුක් සේනාධීර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.