කෝවිඩ් නිව්මෝනියාවෙන් බේරෙන්න පෙනහලු ශක්තිමත් කර ගනිමු

සැප්තැම්බර් 22, 2021

 

කෙනකු මේ ලොවට ඉපදෙන විටම මරණය නළලේ කොටාගෙන එන බව ප්‍රසිද්ධ කියමනකි. සැබැවින්ම එය මේ ලොවේ නොවෙනස්වන සදාතන දහමයි. ඒ අනුව මේ ලොවට ජනිත වී පළමු හුස්ම පොද ගත් පසු අප කොයි මොහොතේ කොතැනකදී මරණයට පත්වේදැය කියන්නට නොහැකිය.

මිනිසා මිය යනවා යැයි කියන්නේ හුස්ම ගැනීම නැවතීමයි. අප ජීවත් කරවන මේ හුස්ම ගැනීම සිදුවන්නේ පෙනහලු මඟිනි. ඒ නිසා පෙනහැලි දෙක නීරෝගීව තබා ගැනීම ගැන අප නිරතුරුවම සිතිය යුතුය.

මේ දිනවල ලොව පුරා මිනිසුන් ලක්ෂ ගණනින් මිය යන්නේ කෝවිඩ් වයිරසයට ගොදුරුවීමෙන් නිව්මෝනියාව හැදීමෙනි. නිව්මෝනියාව හැදෙන්නේ පෙනහලු වලට නිසා නිරෝගී පෙනහලු කෝවිඩ් මාරයාගේ සෙවණැල්ලෙන් ඔබ ඉවත්කර තැබීමට සමත් ය.

හුස්ම අප කාටත් එකසේ වැදගත් ය. එහෙත් හුස්මක ඇති වටිනාකම දැනෙන්නේ අවසන් හුස්ම සඳහා අරගල කරනා විටයි. හුස්මක ඇති වටිනාකම මෙලොව ඇති කිසිදු සම්පතකට සම කළ නොහැකි ය. සියදිවි නසා ගන්නා පුද්ගලයන්ට පවා අවසන් මොහොතේ දී හුස්මක වටිනාකම දැනෙන බව නොරහසකි. සියදිවි හානිකර ගැනීමට ගොස් රෝහල් ගත කළ ඇතැම් පුද්ගලයන් තමා බේරා ගන්නා ලෙස වෛද්‍යවරුන්ට පවසන්නේ එබැවිනි.

පෙනහලු අකර්මන්‍ය වීම

අප ගන්නා හුස්මේ ඇති ඔක්සිජන් වෙන්කර ඒවා රුධිරයට එක්කරන සංකීර්ණ ක්‍රියාවලිය සිදු කරන්නේ පෙනහලු මඟිනි. එම නිසා පෙනහලුවල නිරෝගී බව පුද්ගලයකුගේ නිරෝගී බවට වැදගත් සාධකයකි. මෙතෙක් කලක් ශ්වසන අපහසුතා හා ඇදුම, පෙනහලු සම්බන්ධ රෝග ඇති පුද්ගලයන් හා නිව්මෝනියා තත්ත්වයට පැමිණි රෝගීන් පමණක් පෙනහලු පිළිබඳ උනන්දු විය. එහෙත් අද වන විට අප හැම දෙනාට ම අපේ පෙනහලුවල තත්ත්වය, නිරෝගී බව පිළිබඳ නැවතත් සිතන්නට කාලය එළඹ ඇත. එසේ වන්නේ කොවිඩ් 19 රෝගයෙන් මරණය ළඟා වන්නේ පෙනහලු අකර්මන්‍ය වීම හේතුකොට ගෙන නිසාවෙනි.

පෙනහලුවල ධාරිතාව හා නිරෝගී බව

ක්‍රීඩකයන්, ගායකයන්, වායුමය සංගීත භාණ්ඩ වයන සංගීතඥයන් වැනි අය තම පෙනහලුවල ධාරිතාව හා නිරෝගී බව රැක ගැනීමට විවිධ වූ අභ්‍යාසවල නිරත වේ. නමුත් මේ අපට ද අපේ පෙනහලුවල ධාරිතාව හා නිරෝගී බව පිළිබඳ අවධානය යොමු කරන්නට කාලයයි.

පෙනහලු ශක්තිමත් කරන අභ්‍යාස

මෙහිදී හුස්ම ගැනීමේ අභ්‍යාස කිරීමෙන් පෙනහලු ශක්තිමත් කිරීමට හැකියාව ලැබේ.

n ඔබ වාඩි වී හෝ හාන්සි වී ඔබගේ උරහිස් ලිහිල්ව තබා ගන්න. එක් අතක් ඔබේ උදරය මත හා අනෙක් අත පපුව මත තබා ගන්න. දැන් නාසයෙන් හුස්ම ගෙන උදරය පිරී අමතර වාතය පපුවට තල්ලුවන ආකාරය තත්ත්පර දෙකක පමණ කාලයක් හුස්ම අල්ලාගෙන සිටිමින් විඳින්න. ඉන්පසුව ප්‍රාශ්වාස වාතය තොල්වලින් පිටතට තත්ත්පර දෙකක පමණ කාලයක් තුළ උදරය අකුලවමින් පිටකරන්න. මෙය නැවත නැවතත් කිහිප වතාවක් සිදු කරන්න.

n නාස්පුඬුවලින් සෙමෙන් හුස්ම ඉහළට ගන්න. හුස්ම මඳක් රඳවාගෙන සිටින්න. ඔබගේ දෙතොල් යමකට පිඹීමට මෙන් සකසා ඉන් ඇතුළත ඇති වාතය කටින් පිට කරන්න. මෙහිදී හුස්ම පිට කළ යුත්තේ ඉතා සෙමෙනි. (හුස්ම ගැනීමට ගිය කාලය මෙන් දෙගුණයක කාලයක් මේ සඳහා වැය කළ යුතුය) මෙය නැවත නැවතත් කිහිපවරක් සිදු කරන්න.

මේ හුස්ම ගැනීමේ අභ්‍යාසය නැතිනම් ව්‍යායාමය කිරීම මඟින් ඔබට ලැබෙන වාසි කිහිපයකි. ඉන් එකක් වන්නේ ඔබට ආයාසයෙන් හුස්ම ගැනීමට සිදුවීම අවම කරයි. එමෙන්ම එය පෙනහලුවල සිර වී ඇති වාතය මුදා හැරීමට උදවු වේ. ඔබට සැහැල්ලු බවක් දනවයි. ඔබගේ කෙටි ආශ්වාස ප්‍රශ්වාස රටාව අඩුකර හොඳින් වාතය පෙනහලු කරා ගමන් කරවයි. මෙය දිනකට හතර පස් වතාවක් සිදු කිරීම වඩාත් ඵලදායී වේ.

n පහසුවෙන් වාඩි වී බෙල්ල හා උරහිස් සැහැල්ලු කරගන්න. නාසයෙන් ගැඹුරට හුස්ම ගන්න. දිව උඩු ඇන්දේ දත්වලට තෙරපාගෙන හ්ම්ම් යන හඬින් දිගු කාලයක් තිස්සේ හුස්ම පිට කරන්න. මෙය නැවත නැවතත් සිදු කරන්න. දිනකට කිහිප වරක් ම මේ හුස්ම ගැනීමේ අභ්‍යාසයෙහි නිරත වන්න. මෙමඟින් ශ්වසන පේශී ශක්තිමත් වන අතර මනසට සැහැල්ලු බවක් ද ලබා දෙයි.

n අත් දෙක පපුව දෙපස තබා එම අත් දෙපසට තල්ලුවන සේ සිතා හුස්ම ගන්න. එය හැකි පමණ වේලාවක් රඳවාගෙන සිට කටින් හුස්ම පිට කරන්න. මෙසේ හුස්ම පිටකිරීමේ දී අත් දෙකෙන් පපු පෙදෙස ඇතුළට මඳක් තෙරපන්න. මෙය නැවත නැවතත් 10 වතාවක් පමණ කරන්න.

n උදරය මත දෑත තබා උදරය ඉදිරියට පිම්බෙන සේ හුස්ම ගන්න. හුස්ම පිටකරන විට දෑතින් උදරය ඇතුළට තෙරපන්න. මෙයද නැවත නැවතත් සිදු කරන්න.

මෙම ශ්වසන ව්‍යායාම සිදු කිරීමෙන් ඔබගේ සිරුරේ පෙනහලු ශක්තිමත් වන අතර ඔබට කෝවිඩ් නිව්මෝනියා තත්ත්වයට මුහුණ දීමට සිදු වුවහොත් ඉන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකිය. එමෙන්ම ඉන් පෙනහලුවලට සිදුවිය හැකි සංකූලතා අවමකර ගැනීමට ද හැකියාව ලැබෙයි.

 

අන්තර්ජාලය ඇසුරිණි