වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පියයුරක ගැටිත්තක් ආ පමණින් පිළිකාවක් වන්නේ නැහැ
ඕනෑම කෙනකුට තම ජීවිතයේ එක් එක් සන්ධිස්ථාන පසුකරමින් යන විට විවිධාකාර වූ ගැටලුවලට මුහුණපෑමට සිදු වෙනවා. විශේෂයෙන් කාන්තාවකට ඇතිවන ගැටලුවලට නිසියාකාර විසඳුමක් සොයා ගැනීමට නොහැකි වන්නේ විශ්වාසය රකිමින් විසඳුම් ලබා ගැනීමට මඟපෙන්වන්නකු නොමැති නිසායි.
දැරියක, තරුණියක සහ මවක ලෙස ජීවිතයේ කඩඉම් පසුකර යන මේ ගමනේදී ඔබට ඇතිවන ගැටලුවලට පිළිතුරු ලබාදෙන්න තරුණී සූදානම්. තවමත් හිතේ තෙරපෙන වේදනාබර ඔබේ ගැටලු අපට ලියන්න.
අපේ ලිපිනය,
'පුද්ගලිකයි රහසිගතයි'
තරුණී,
ලේක්හවුස්,
කොළඹ - 10.
ප්රශ්නය
38 හැවිරිදි මා දෙදරු මවක්. සැමියා විදෙස්ගත රැකියාවක නියැළෙයි. දරුවන් දෙදෙනා වයස අවුරුදු 15 සහ 10 වයස්වල පසුවෙයි.
මාස පහක කාලයක පටන් මාගේ පියයුරුවල වේදනාවක් පවතී. මුල් මාස දෙකෙහි එම වේදනාව සියුම් ලෙස තිබූ අතර දිනෙන් දින එය වැඩි වෙයි. පසුගිය මාසයේ සිට තනපුඩුවලින් කිරි නොවන දියර වර්ගයක් ද පිටවේ. පියයුරු වෙනදාට වඩා තරමක් රතු පැහැතිය. මෙය සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා මා එය එතරම් ගණන් නොගත්තෙමි. නමුත් මාගේ මිතුරියක පැවසුවේ එය පියයුරු පිළිකාවක් වීමට ද පුළුවන් බවයි. මෙය සාමාන්‍ය තත්ත්වයක් ද? එසේ නැතිනම් ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ද?
දර්ශනි - අනුරාධපුරය
පිළිතුරු
බොහෝ කාන්තාවන් තමන්ගේ පියුයරු ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒත් සමහරු නම් එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. සිරුරට සුන්දර පෙනුමක් ලබාදීම, මව්කිරි ලබාදීම වැනි විශාල කාර්යභාරයක් පියයුරු මඟින් ඉටු වෙනවා.
ඇතැම් කාන්තාවන්ට ඇති ගැටලුවක් වන්නේ පියයුරුවල වේදනාවක් ඇතිවීමයි. සමහරුන්ට එම වේදනාව විවිධ මට්ටමෙන් දැනෙන්න පුළුවන්. මේ විදිහට පියයුරුවල වේදනාව ඇති වෙන්න විවිධ හේතූන් බලපෑ හැකියි. පියයුරුවලින් විවිධ ශ්‍රාව වර්ග පිටවීම, පියයුරු කැසීම, පියයුරුවල ගැටිති ආදී රෝග ලක්ෂණ ගණනක්ම පියයුරු රෝග අතර පවතිනවා. වර්තමානය වන විට පියයුරු පිළිකා තත්ත්වය වැඩිවශයෙන් පවතින නිසා පියයුරු ආශ්රිත කිසියම් රෝග ලක්ෂණයක් ඇති වු වහාම ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්.
මාසික ඔසප්වීම බොහොම ළඟයි
බොහෝ වෙලාවට කාන්තාවන්ට බහුලවම පියයුරු වේදනාව ඇතිවෙන්නේ මාසික ඔසප්වීම ළංවීමත් සමඟයි. එය සිදුවන්නේ මාසික ඔසප්වීම ආසන්නයේ ඇතිවෙන හෝර්මෝන වෙනස්වීම් හේතුවෙන්. Estrogen, Progesterone සහ Prolactin යන හෝර්මෝන නිකුත්වීම එක්ක මේ වේදනාවන් ඇතිවෙනවා. පියයුරු දෙකේම මේ වේදනාව ඇතිවෙන්න පුළුවන්. බොහෝ විට මේ තත්ත්වය පවතින්නේ යොවුන් වියේ පසුවන තරුණියන්ටයි. එය සාමාන්‍ය තත්ත්වයක් නිසා ඒ ගැන බිය විය යුතු නැහැ. නමුත් මෙය ඔබේ ඔසප්වීමට සම්බන්ධයක් නොමැති වේදනාවක් නම් ඒ ගැන සලකාබැලිය යුතු වෙනවා.
පපුව අභ්‍යන්තර තුවාල
ඇතැම්විට පපුව හෝ ඉළ ඇට අතරේ තුවාල තත්ත්වයක් හෝ ගෙඩියක් වැනි දෙයක් ඇතිවීම නිසා පියයුරු වේදනා ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ වේදනාව අධික ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඇති විය හැකියි. එලෙස දිනෙන් දින ඇතිවෙන පියයුරු වේදනාවට හේතුව එවැනි තුවාලයක් නම් වෛද්‍යවරයකු හමු වී අභ්‍යන්තර තුවාල ඇත්දැයි පරීක්ෂා කර බැලීම වැදගත්.
විස ගෙඩියක්
පියයුරු මත ඉදිමුමක් හෝ විස ගෙඩියක් එහෙමත් නැතිනම් විසප්පුවක් වගේ තත්ත්වයක් නිසාත් දින කිහිපයක් තිස්සේ පියයුරක් හෝ පියයුරු දෙකම මත වේදනාවක් දැනෙන්න පුළුවන්. නමුත් මේ වේදනාව අභ්‍යන්තරයෙන් දැනෙන වේදනාවක් ලෙස නොව බාහිර වේදනාවක් විදිහට දැනෙන්නත් පුළුවන්.
පියයුරු අධික ලෙස විශාලවීම
ඔබගේ පියයුරු බෙහෙවින්ම විශාල නම් නිතරම ඔබගේ පියයුරු වේදනා දෙන්න පුළුවන්. මොකද ඇවිදිද්දී සහ වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීමේ දී මෙම විශාල පියයුරු එල්ලා වැටීම සහ පැද්දීම නිසා පියයුරු අභ්‍යන්තර තන්තු වෙහෙසෙනවා. ඒ වගේ අවස්ථාවලදී වේදනාවන් ඇතිවිය හැකියි.
පියයුරු තුඩුවලින් ස්‍රාව නිකුත්වීම
මේ තත්ත්වය තරමක් අවදානම් තත්ත්වයකි. පියයුරුවල වේදනාවත් සමඟ ම එවැනි ස්‍රාව නිකුත්වීම මඳක් සලකාබැලිය යුතු තත්ත්වයක් වනවා. තනපුඩුවලින් සුදු පැහැ හෝ අවර්ණ ස්‍රාවයක් නිකුත් වෙනවා නම් වෛද්‍යවරයකු ළඟට යන්න අදිමදි කරන්න එපා. මෙය පියයුරු පිළිකාවක මුල් අවස්ථාවේ සිද්ධවෙන සංසිද්ධියක් නිසා නොසලකා ඉන්න බැහැ.
පියයුරු පිළිකාවක්දැයි සැකයි
පිළිකාවක් කියන්නේ බය හිතෙන දෙයක් තමයි. එහෙත් දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක පිළිකා රෝගවලට අලුත් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඊට රෝගයේ පූර්ව ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි.
පියයුරු ගැටිති හට ගැනීම එහි එක් රෝග ලක්ෂණයකි. නමුත් පියයුරක ගැටිත්තක් ආ පමණින් ඒක පියයුරු පිළිකාවක රෝග ලක්ෂණයක් බවට පත් වන්නේ නැහැ. ඒ සඳහා වෛද්‍යවරයා මුණගැසීම අත්‍යවශ්‍යයි. ඔබ ලබා ගන්නා යම් ඖෂධයක් නිසාත් තනපුඩුවලින් ස්‍රාව පිටවෙන්න පුළුවන්. ඇතැම් අයට මෙය තාවකාලික වන නමුත් මෙය පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණයකි.
ඒ වගේම පියයුර ආශ්‍රය කරගෙන ඇති සම දොඩම් ලෙල්ලක් වගේ ඝනකමක් දක්වනවා නම් එයත් පියයුරු පිළිකාවකට අත වැනීමකි. ඒ වගේම ඒ ප්‍රදේශය කවරදාකවත් නොවූ ආකාරයට රතු පැහැයක් ගන්නවා නම් එයත් නොසලකා ඉන්න බැරි දෙයක්. මෙහිදී සම ආශ්‍රය කරගෙන වේදනාවක් සහ කැසිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ හැම විටම මේ පිළිකාවක ලක්ෂණ කියා නිශ්චිතවම කිව නොහැකියි. මෙන්න මේ නිසයි ස්වයං පරීක්ෂණයක වැදගත්කම ඉස්මතු වෙන්නේ.
සාමාන්‍යයෙන් ඕනෑම පිළිකා තත්ත්වයක දී කෑම අරුචියක්, බර අඩුවීමක් සහ දුර්වල ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉහත ශාරීරිකව දක්වපු ලක්ෂණ පෙන්නුම් කරනවා නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.
උපදෙස්
ප්‍රසව හා නාරි ආයුර්වේද විශේෂඥ වෛද්‍ය
දයානි සිරිවර්ධන