වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කරා
ළමා හිංසනයට තිත පදනම සහ ළමා අයිතිවාසිකම් සුරැකීමට සහ ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින සංවිධාන 13කින් සමන්විත ළමා ආරක්ෂණ සන්ධානය දරුවන් වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරමින් ළමා සුභසාධනය ඉහළ නංවන මෙන් ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 25ක් වයස අවුරුදු 18ට අඩු අයයි. 1991 වසරේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය අනුමත කළ ද ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් විටින් විට අර්බුද මතුවී තිබේ.
කාන්තා සහ ළමා කටයුතු සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කිරීම, අධ්‍යාපනය සහ ළමා සුභසාධනය සඳහා අමතර අයවැය ප්‍රතිපාදන ලබාදීම, සියලුම ස්ථාන තුළ ශාරීරික දඬුවම් අහෝසි කිරීම සඳහා නීති සම්පාදන ක්‍රියාවලියක් අවසන් කිරීම, සියලුම පාසල්වල ශාරීරික දඬුවම් තහනම් කිරීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීම මෙහි අරමුණු කිහිපයකි.
එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්වාධීන කිරීම, ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, දරුවන් සමඟ කටයුතු කරන සැමට අනිවාර්ය ආරක්ෂක පුහුණුව සහ අපරාධ වාර්තා පරීක්ෂා කිරීම, අනිවාර්යෙන් ලිංගික අධ්‍යාපනය ලබාදීම, ළමා නඩු කඩිනම් කිරීම සඳහා වෙනම අධිකරණ පිහිටුවීම, ළමා ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව අවධාරණය කෙරේ.
ළමා හිංසනයට තිත පදනම සහ ළමා ආරක්ෂක සන්ධානය විසින් 2022 දී අති සාර්ථක Noගුටි ව්‍යාපාරය දියත් කරන ලද අතර ඒ හරහා ශාරීරික දඬුවම් අහෝසි කිරීම සඳහා වූ නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා ඇත. පසුගිය වසරේ අග භාගයේ බොගෝටා හි පැවැති දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේදී 2025 මැද භාගය වන විට එම පනත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය දුන් ප්‍රතිඥාව තුළින් එය තවදුරටත් අනුමත කරන ලදි.