වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දුම් වැටියේ අමිහිරි ගන්ධය ලබා දෙන්නේ අමිහිරි ප්රතිඵලයි
නව කොරෝනා වෛරසය සමඟ මානව ප්‍රජාවට ලෝක යුද්ධය පරයන යුද්ධයක් කිරීමට සිදුවී තිබේ. ගෝලීය වසංගතයක් සමඟ කෙරෙන මේ යුද්ධයේ අවසානය ගැන ඇත්තේ අනාවැකි පමණි. කෙළවරක් ගැන කිසිවකුටත් සිතාගත නොහැකිය.
එහෙත් අවදානම අවම කිරීමට අපට ගත හැකි පියවර තුනක් ගැන නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබෙයි. මුව ආවරණ පැලඳීම, සබන් ගා අත් සේදීම, දුරස්ථභාවය පවත්වාගැනීම ගණිත සූත්‍රයක් මෙන් අපට අසන්නට ලැබුණත් අවධානයට ලක් නොකරන ප්‍රධාන කරුණක් තිබේ. ඒ දුම්පානයයි.
කෝවිඩ් - 19 තත්ත්වයෙන් අතිශය පීඩාවට පත්වූ චීනයේ එක් සමීක්ෂණයකදී හෙලිවූයේ කෝවිඩ් - 19 නිසා වන මාරාන්තික අවදානම දුම් පානය කරන්නන්ට 30% කින් වැඩි වන බවය. දුම් පානය කරන්නන්ට පමණක් නොව ඔවුන් අසල සිටින අයට (අක්‍රීය දුම්පානයට ලක්වන්නන්ට) කෝවිඩ් -19 නිසා ඇතිවන හානිය ඉතා ප්‍රබලයි.
නව කොරෝනා වෛරස් වසංගතයට පෙර දුම් පානයෙන් ලොව මිලියන හතක් වසරකට මියයති. අක්‍රීය දුම් පානයට ගොදුරුවී අකාලයේ මියයන්නන්ගේ ගණන මිලියන 1.2 කි. දුම්පානය කරන්නන් දුම්පානය නොකරන්නන්ට වඩා දස වසරක් කලින් මරණයට පත්වෙයි. මේ සියල්ලම අකල් මරණයන්ය. කෝවිඩ් -19 සමඟ දුම්පානයෙන් ජීවිතයට ඇති අවදානම දැනගත් දුම්පානයකරන්නන් වාර්තාගත ලෙස දුම්පානයට සමුදී තිබේ. ඒ සංඛ්‍යාව මිලියනයකට අධිකය.
අපේ රටේ යළිත් කොවිඩ් -19 හිස ඔසවමින් පවතියි.
පියා, සැමියා, සොයුරා, පුතු වැනි පවුලේ සමීපතමයකු දුම්පානය කරනවා නම් සුව ආරක්ෂාව ගැන සිතා දුම්පානය නතර කරන ලෙස ඉල්ලීමට සුදුසුම කාලයඋදාවී ඇත. එසේ ඉල්ලීමට මවකට, බිරියකට, සොයුරියකට, දියණියකට අයිතියක් තිබේ. දැන් අක්‍රීය දුම්පානය පමණක් නොව දුම් වැටියේ දුම, අවට ඇති පරිසරයේ රැඳී ඒවා ආශ්වාස වීමෙන් ද දුම් පානය නොකරන්නන් රෝගීවන බව සොයාගෙන ඇත. දුම්පානය කරන්නා යනෙන තැන උරුලෑවා ගිය මාවත හා සමානය. දුම් වැටියේ අමිහිරි ගන්ධය ලබා දෙන්නේත් අමිහිරි ප්‍රතිඵලය. ලෝකයේ සෑම උග්‍ර විසක්ම දුම්වැටියේ අඩංගුය.
දුම්වැටිය දැවී අළු වන්නේ දුම් උරන්නාත් අසල සිටින අයත් දවා අළු කරමිනි. දුම්වැටියක විස වර්ග 4000 ක් පමණ අඩංගුය. ඒ විස වර්ග අතරින් 43 ක් පිළිකාකාරකය. සමහර විස ක්ෂණිකවම ක්‍රියා කරන්නට පටන් ගනියි.
කොකේන්, හෙරොයින් වැනි නිකොටින්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සිය දිවි නසා ගැනීමක් වාගෙයි. කොකේන්, හෙරොයින් ගැන කතා කළත් නිකොටින් අඩංගු දුම්වැටියත් මත් දුව්‍යයක් හා සමාන බව බොහෝදෙනෙක් වටහා ගෙන නැත. දුම්කොළවල ඉතා විශාල ප්‍රමාණයෙන් නිකොටින් අඩංගුය. සේදුම්කාරකයක් වන ඇමෝනියා ද මෙහි තිබේ.
ඇසිටෝන්
සායම්, නිය ඔප දැමීමට යොදා ගන්නා දුව්‍ය ඉවත් කිරීමට ගන්නා ඇසිටෝන් දුම්වැටියේ අන්තර්ගතය.
කෘමිනාශකයක්
කෘමිනාශක භාවිතයේ භයානකකම ගැන නිතරම අසන්නට ලැබේ. ආසනික් අඩංගු දුම්වැටියේත් කෘමිනාශකත් අතර වෙනසක් නැත.
කාබන්මොනොක්සයිඩ්
වාහනවලින් පිටවන දුම බොහෝ රෝගවලට හේතුවකි. දුම්වැටි උරන්නා පිට කරන්නේ ඒ හා සමාන දුමකි. වාහනවලින් පිටවන කාබන්මොනොක්සයිඩ්, දුම්වැටියේ ද අඩංගුය.
හයිඩ්රජන් සයකයිඩ්
සමහර රටවල මරණ දණ්ඩනයට නියමවූවන් ජීවිතක්ෂයට පත්කිරීමට යොදාගත් හයිඩ්රජන් සයකයිඩ් දුම්වැටියේ අඩංගු ප්‍රධාන රසායනයකි.
ෆීනෝල්
සායම්වල අඩංගු ෆීනෝල් දුම්වැටියේ ද ඇත.
කැඩ්මියම්
පිළිකාකාරක උග්‍ර විසක් වන කැඩ්මියම් ලෝහය මෝටර් රථවල වගේම දුම්වැටියේ ද අඩංගුය.
නැප්තලින්
ඇඳුම් අල්මාරි සුවඳ ගැන්වීමට කෘමීන් පලවා හැරීමට කපුරු බෝල යොදා ගත්තත් කපුරු සුවඳ ආස්වාස වීම, අත්වැරැදීමකින් ගිලීම, සමට ස්පර්ශ වීම හානිකරය. ඉන් අක්මාවට ස්නායු පද්ධතියට හානිකර බලපෑම් ඇතිවෙයි. දුම්වැටියේ කපුරු බෝලවලටත් වඩා නැප්තලින් අඩංගුය.
තාර
ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කරන්නේ තාර අඩංගු නැති බව පවසමිනි. එහෙත් දුම්වැටියේ කෙතරම් තාර අඩංගුද?
විකිරණශීලී සංයෝග
ගැබිනි වියේදී විකිරණශීලී සංයෝගවලට නිරාවරණය වීම වළක්වන්නේ කුසෙහි වැඩෙන නූපන් දරුවාටත් එය අහිතකරව බලපාන බැවිනි. සියල්ලන්ටම විකිරණශීලී සංයෝග හානිකරය. න්‍යෂ්ටික අවි සෑදීමට ගන්නා විකිරණශීලී සංයෝග දුම්වැටියේත් අඩුවක් නැතිව ඇත.
මේ දුම්වැටියේ අඩංගු උග්‍ර විස රසායනවලින් ස්වල්පයක් පමණි.ලැවි ගින්නක් පළාතම ගිනි අවුළන්නාක් මෙන් දුම් වැටිය ද දුම් උරන්නාත් අවට සිටින්නනුත් දවා අළු කරයි. දුම්වැටිය පුද්ගලයා මරණයට පත් කරන්නේ එහි අඩංගු විස මඟින් සිරුරේ සියලුම අවයව ක්‍රමක්‍රමයෙන් විනාශ කරමිනි.
උපදෙස් - ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
2020/10/20 තරුණි බලන්න.