ඔන්ලයින් නිසා පවුල් ජීවිතය ඕෆ් ලයින් වෙලාද ?

ඔක්තෝබර් 20, 2021

ඇසට නො පෙනෙන සියුම් වයිරසයක් විසින් මිනිස් ජීවිතවලට කළ බලපෑම මෙපමණැයි කීමට නො හැකිය. වසංගත සමයේ සංචරණ සීමා පැනවීම, ලොක් ඩවුන් කිරීම් හේතුවෙන් ඇතිවූ විවිධ සුබ / අසුබ ප්‍රතිඵල අපි භුක්ති විඳිමින් සිටිමු.

එහි හොඳ ප්‍රතිඵල සේ ම නරක ප්‍රතිඵලත් කාට කාටත් පොදු ය. ජීවිතයට අලුත් අභියෝග එල්ලවූ කාලයක පවුලක් වශයෙන් ලද අපූරු අභියෝගයක්, අත්දැකීමක් තිබෙයි. ඒ නිවෙසේ සිට ම රාජකාරි කිරීමය. සේවක සේවිකාවන් සේම සැමියා හා බිරිය, මාපියන් ලෙස ද බහු කාර්ය දිවියක් ගත කිරීමට බොහෝ දෙනකුට සිදුවී තිබෙයි. කෑම පිසිමින් සිටින අතර තුරේ කාර්යාල ප්‍රධානීන් වීඩියෝ කැඳවීම්, දරුවන් සමඟ එක්වී විනෝද වෙන අවස්ථාවක රාජකාරියක් පැනවීම, රාජකාරිය නිසා කඩෙන් කෑම ගැනීමට සිදුවීම වැනි අත්දැකීම් මේ කාලයේ දුලබ නැත.

ඒවාගේම දෙන්නා දෙමහල්ලන් අතර දේවකාරියට වඩා වටිනා රාජකාරිය නිසා යුග දිවිට ද්වන්ධ සටනක් වූ අවස්ථාවන් ද නො තිබුණා නො වෙයි. මීට හොඳම උදාහරණයක් වන්නේ සැමියාටත් බිරියටත් එකම පරිගණකය භාවිත කිරීමට සිදුවීමය. දෙදෙනොට ම එකම වේලාවේ රාජකාරි කිරීමට සිදුවුවහොත් එය සැබැවින් ම උහතෝකෝටික ගැටලුවක් නො වන්නේද ? තාක්ෂණික ගැටලු ද අඬදබරවලින් කෙළවර වූ අවස්ථා නැතුවාම නො වෙයි. මවට රාජකාරිය නිම කිරීමට ඇති නිසා පවුලටම කඩේ කෑම කෑමට සිදුවූ වාර ගණන ද සුළු නැත. මේ ඇතිවූ ගැටලු අතරින් කිහිපයක් පමණි.

දේවකාරිය ලෙස රාජකාරිය කිරීමටත් යුග දිවිය රන්රස සේ පවත්වා ගැනීමත් සිතන තරම් දුෂ්කරද? එවැනි දුෂ්කරතා මඟ හරින්නේ කෙසේද? කෝවිඩ් - 19 යනු අප මුහුණ දෙන ප්‍රථම සහ එකම වසංගත අත්දැකීම නො වෙයි. විද්‍යාඥයන් ගේ අනාවැකිවලට අනුව ඉදිරියේදී මීට වඩා දරුණු අත්දැකීම්වලට අපට මුහුණ දීමට සිදුවනු ඇත. එනිසා නිවෙසේ කාරියත් රාජකාරියත් අප සමතුලිතව පවත්වා ගෙන යන්නේ කෙසේද ?

රාජකාරි ස්ථානයේ පූර්ණ කාලීන සේවකයකු / සේවිකාවක වීම අසීරු නො වෙයි. රාජකාරිය නිමවා නිවෙසට පැමිණි පසු නිවෙස තමන් ගේ එකම ලෝකය බවට පත් වෙයි. එහෙත් නිවෙසේ සිට රාජකාරි කිරීමේදී සිදුවන්නේ වෙනස්ම දෙයකි. එය ලෝක දෙකක් එකම තැනක පිහිටීම හා සමාන ය. රාජකාරිත් නිවෙසේ කාරිත් සමතුලිතව තබා ගැනීම අසීරු වුවත් ඒ අභියෝගය ජය ගැනීම මේ කාලයේදී ඉතා වැදගත් වෙයි. මෙහිදී මුල් තැන දියයුතු කාරණයත් මුල් තැන දිය යුතු වෙලාවත් ගැන අවබෝධයක් ලබාගත යුතුය. රැකියාවට මූලික තැන දියයුතු වේලාවට රැකියාවටත් නිවෙසේ කටයුතුවලට මුල් තැන දිය යුතු වේලාවට නිවෙසේ කටයුතු කිරීමටත් අප පුරුදු විය යුතුය. ඇතැම් විට මෙතෙක් නො කළ කැපකිරීමක් ඒ සඳහා දෙදෙනාට ම කිරීමට සිදුවනු ඇත. යුවළක ගේ ජීවන සමබරතාවය සුවසම්පන්න වන්නේ එවිටය.

නිවෙසේ සිට රාජකාරි කිරීම දෙස සුබ වාදීව බැලීමට පුරුදු විය යුතුය. අඹුසැමියන්ට රාජකාරි ස්ථානයේ සිටින විවිධාකාරවූ පුද්ගලයන් සමඟ සේවය කිරීමේදී විවිධාකාරවූ ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙයි.

බොහෝවිට සැමියාට බිරිය තරම් බිරියට සැමියා තරම් තමන් සමඟ එකට සේවය කරන්නන් හිතවතුන් වන්නේ නැත. තමන්ට හදවතින්ම ළෙන්ගතු අය සමඟ සේවය කිරීම සිතට සහනයක් ගෙන දෙන්නකි.

වෙනදාට වඩා වගකීම් බදා ගැනීම යුග දිවි සබඳතාව සුව සම්පන්නව පවත්වා ගැනීමේදී ඉතා වැදගත් වෙයි. දූදරුවන් දක්වා වගකීම් බෙදී යාම සිදුවිය යුතුය. ආහාර පිසීම, නිවෙස පිරිසුදු කිරීම ඇතුළු කුදුමහත් රාජකාරි සියල්ල කාර්යාල රාජකාරිත් සමඟ එක් අයකුට කරගෙන යා නො හැකි බව පවුලේ සියල්ලන් ම අවබෝධ කරගත යුතුය. එක් අයකු වෙත වගකීම් සියල්ල පැවරීමෙන් අඬදබර ඇතිවීම වළක්වාලිය නො හැකිය. දෙන්නා කතා කතාබස් කර වගකීම් බෙදාගත යුතුය. දූදරුවන්ට වගකීම් පැවරිය යුතුය.

රාජකාරි කිරීම සඳහා තමන්ට කියා වෙනම ස්ථානයක් තිබීම වැදගත්ය. එකම තැනක රාජකාරි කිරීමේදී ආතතිය, ආරවුල් ඇති වීමට පුළුවන.

රාජකාරිය දේවකාරිය වුවත් රාජකාරිය නිසා යුග දිවිය අවශ්‍යතා මඟ නො හැරිය යුතුය.