Monday, June 15, 2026
Epaper
Home ගෘහ අලංකරණයවියළි කොළ, අතු සහ පොතුවලින් නිවෙසට අපූරු ජීවයක්

වියළි කොළ, අතු සහ පොතුවලින් නිවෙසට අපූරු ජීවයක්

by Shanaka Lakehouse

අප අවට පරිසරයෙන් පහසුවෙන් සොයාගත හැකි ගස්වල මුල්, වියළි අතු, ලී පොතු, කඳන් සහ පයින් ගෙඩි (Pine cones) වැනි ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කරමින් ඉතාමත් අලංකාර මෙන්ම වටිනා අත්කම් නිර්මාණ නිවෙසේදීම සකස් කරගත හැකිය. මෙවැනි ස්වාභාවික දේවලින් නිර්මාණකරණයේ නියැළීමෙන් පරිසර හිතකාමී බව මෙන්ම අපගේ නිර්මාණශීලිත්වය ද වර්ධනය වේ.

අවශ්‍ය මූලික ද්‍රව්‍ය සපයා ගැනීම සහ සූදානම් කිරීම

පළමුවෙන්ම වටපිටාවෙන් විවිධ හැඩයේ වියළි ලී කැබලි (Driftwood), ඝනකම් ගස් පොතු, කුඩා අතු සහ පයින් ගෙඩි එකතු කරගත යුතුය. මේවා භාවිත කිරීමට පෙර හොඳින් පිරිසුදු කර, වේළා ගැනීම අත්‍යවශ්‍ය වේ. ලී කොටස්වල ඇති කෘමීන් හෝ මඩ ඉවත් කර වේළා ගැනීමෙන් නිර්මාණ දිගුකාලීනව තබාගත හැකිය. මීට අමතරව නිර්මාණය අලංකාර කිරීමට ලණු, නූල්, ග්ලූගන් (Glue gun) සහ ආධාරකයක් ලෙස ප්ලයිවුඩ් හෝ ඝනකම් ලී ලෑල්ලක් අවශ්‍ය වේ.

නිර්මාණය සකස් කරන පියවර

සැලසුම් කිරීම: ඔබ සාදන්නට බලාපොරොත්තු වන සත්ත්වයාගේ හෝ දර්ශනයේ රූපය (උදා: අලියකුගේ මුහුණ, බකමූණකු හෝ යුවළක්) මුලින්ම ආධාරක ලෑල්ල මත පැන්සලකින් ඇඳගන්න.

කෑලි ගළපා බැලීම

මැලියම් දැමීමට පෙර, එකතු කරගත් ලී කැබලි හෝ පොතු ඇඳගත් හැඩයට ගැළපෙන සේ තබා බලන්න. මෙහිදී එකිනෙකට වෙනස් වයනයන් සහ වර්ණ එකතු කිරීමෙන් ස්වාභාවික පෙනුම තීව්‍ර වේ.

ඇලවීම සහ නිමාව

නිවැරදි හැඩය ලැබුණු පසු, ග්ලූගන් ආධාරයෙන් කැබලි එකින් එක තදින් අලවන්න. කුඩා සිදුරු පිරවීමට කුඩා ලී කුඩු හෝ ලී කැබලි භාවිත කළ හැකිය.

නිර්මාණය අවසන් වූ පසු එහි ස්වාභාවික පැහැය ආරක්ෂා කර ගැනීමට සහ කෘමීන්ගෙන් සිදුවන හානිය වැළැක්වීමට විනිවිද පෙනෙන වාර්නිෂ් (Clear Varnish) ස්වල්පයක් ආලේප කිරීම සුදුසුය. මේ ආකාරයට සකස් කරගන්නා බිත්ති සැරසිලි, ඔබේ නිවෙසට වෙනස්ම ආකාරයක අලංකාරයක් එක්කරනු ඇත. අපතේ යන ද්‍රව්‍යවලට නව පණක් දෙමින්, අපගේ ස්වයං නිර්මාණශීලිත්වය ඔප්නංවා ගැනීමට මෙය කදිම අවස්ථාවකි.

 

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?