සව් කොළ හෝ විවිධ වර්ණවත් කඩදාසි භාවිතයෙන් විශාල ප්‍රමාණයේ මල් නිර්මාණය කිරීම වර්තමානයේ ඉතා ජනප්‍රිය අත්කම් කලාවකි. අවම පිරිවැයකින් සහ ඉතා කෙටි කාලයකින් ඉහළ ආකර්ෂණයක් ලබාගත හැකි නිර්මාණාත්මක ක්‍රමවේදයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඉහත ඡායාරූපවල දැක්වෙන පරිදි, ඉතා සියුම්ව සහ නිර්මාණශීලීව ගොඩනඟා ගන්නා මෙම මල්, ඕනෑම පරිසරයකට ජීවමාන මෙන්ම සුන්දර පෙනුමක් එක් කරයි.
මෙවැනි ආකර්ෂණීය මලක් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය.
පෙති කපා ගැනීම
ප්‍රථමයෙන් සව් කොළ හෝ වර්ණ කඩදාසි ගෙන, අවශ්‍ය ප්‍රමාණයට අනුව මල් පෙති හැඩයට කොටස් කිහිපයක් කපා ගන්න. මෙහිදී කුඩා, මාධ්‍යම සහ විශාල වශයෙන් ප්‍රමාණ තුනකින් පෙති කපා ගැනීමෙන් මලට ස්වාභාවික පෙනුමක් ලබාගත හැකිය.
හැඩය සකස් කිරීම
කපාගත් පෙතිවල මැද කොටස තරමක් ඇදීමෙන් (stretch) හෝ නවාගැනීමෙන් මල් පෙත්තක ඇති ඉලිප්පුනු ස්වාභාවික හැඩය මතු කරගන්න. ඉන්පසු පෙත්තේ පහළ කොටස එකතු කර නවා ගන්න.
මල එකලස් කිරීම
ශක්තිමත් කාඩ්බෝඩ් කැබැල්ලක් වටකුරු හැඩයට කපා පදනම (base) ලෙස සකස් කරගන්න. එම රවුම් කාඩ්බෝඩ් කොටස මත පිටත වටයේ සිට ඇතුළට වන සේ, විශාල පෙතිවලින් ආරම්භ කර ක්‍රමයෙන් කුඩා පෙති මැලියම් (Hot glue) ආධාරයෙන් අලවා ගන්න.
මල් රේණුව (මැද කොටස) නිර්මාණය
වෙනත් කැපී පෙනෙන වර්ණයක කඩදාසි පටියක් ගෙන, එහි එක පැත්තක් සිහින්ව කූරු ආකාරයට කපා ගන්න. එය රෝල් කර මලේ මැද කොටසට අලවා ගැනීමෙන් නිර්මාණය සම්පූර්ණ කරගන්න.
මෙලෙස සකස් කරගන්නා කඩදාසි මල් විවිධ අලංකරණ කටයුතු සඳහා බහුලව යොදාගත හැකිය.
නිවෙසේ බිත්ති සරසා ගැනීම (Wall Art)
සාලයේ හෝ නිදන කාමරයේ හිස් බිත්තියක් තෝරාගෙන, මෙම මල් විවිධ ප්‍රමාණවලින් සහ රටාවලට අනුව සවි කිරීමෙන් කලාත්මක පරිසරයක් නිවෙස තුළ ගොඩනඟා ගත හැකිය. මෙය නිවෙසට එන අයකුගේ නෙත් ඇදගන්නා සුලුය.
ඡායාරූපකරණ පසුබිම් (Photo Backdrops)
විවාහ මංගල්‍ය උත්සව, උපන්දින සාද හෝ විවිධ උත්සව අවස්ථාවලදී ඡායාරූප ගැනීමට සුදුසු අලංකාර පසුබිම් (Backdrops) සකස් කර ගැනීමට මෙම මල් කදිම විසඳුමකි. ලා පැහැති රෙදි තිරයක් මතට මෙම මල් සහ කෘතිම කොළ කොටස් එකතු කිරීමෙන් ඉතා සුඛෝපභෝගී පෙනුමක් නිතැතින්ම නැඟේ.
කඩදාසි මල් කලාව යනු තාරුණ්‍යයේ මෙන්ම ඕනෑම වයස් සීමාවක අයකුට විනෝදාංශයක් හෝ ස්වයං රැකියාවක් ලෙස නියැළීමට හැකි කදිම නිර්මාණ ප්‍රභේදයකි. නිවැරදි වර්ණ සංකලනය සහ ඉවසීම උපයෝගී කරගනිමින්, ඔබේ නිවෙස මෙන්ම විශේෂ අවස්ථාවන්ද මේ තුළින් ඉතා අලංකාර ලෙස හැඩකර ගත හැකිය.
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
