කාගෙ කාගෙත් ගෑස් බස්සන හරිම ක්‍රමය මෙන්න

ඔක්තෝබර් 14, 2024

කිසිදු වයස් භේදයකින් තොරව බාල - තරුණ - මහලු කාහටත් හැදෙන අම්ලපිත්ත රෝගය වත්මන් සමාජය තුළ රජ කරමින් සිටී. සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙම රෝගය ගැස්ටික් නමින් හඳුන්වනු ලබන අතර, බටහිර වෛද්‍ය විද්‍යාෙව්දී Hyper Acidity ලෙසින් මෙම රෝග තත්ත්වය හඳුන්වයි. පාරම්පරික දේශීය වෛද්‍යවරු ඔබේ ඇඹුල් පිත අධික වීමක් ලෙස අර්ථ දක්වයි.

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව රෝගයක් ඇතිවීමට මූලික හේතුව වන්නේ ශරීරය තුළ පවතින්නා වූ වා - පිත් - සෙම් යන ත්‍රිෙදා්ෂයන්ගේ - විෂමතාවය හෙවත් වෙනස් වීමයි. මෙම අම්ලපිත්ත රෝගයට හේතු වන්නේ පිත් දෝෂයේ විෂමතාවයයි. පිත විකෘති වීම හේතුවෙන් එය අම්ල රසයට පත්වේ. මෙහි අධිකතාවය අම්ලපිත්ත රෝගය බව ආයුර්වේදය පෙන්වා දෙයි.

අම්ලපිත්ත රෝග ලක්ෂණවල විවිධත්වය අනුව ප්‍රධාන වශයෙන් ඌර්ධවබවගත අම්ලපිත්තය හා අධෝගත අම්ලපිත්තය යනුවෙන් දෙවැදෑරුම්ය. ඌර්ධවගත අම්ල පිත්තයේදී කහ - කොළ - නිල් - කළු පැහැයට හුරු වමනය දැකිය හැකි වන අතර බඩ - පපුව - දැවිල්ල - හිසරදය ආදී ලක්ෂණ ද ප්‍රකට වේ.

අධෝගත අම්ල පිත්තයේදී අරුචිය, දහඩිය ගැලීම, කරකැවිල්ල, රෝම හර්ෂය, මුර්ජාව, ශරීරය කහ පැහැයට හුරු වීම යනාදී ලක්ෂණ පිළිබිඹු වේ.

මෙම අම්ලපිත්ත රෝගය හෙවත් Gastritis ඇතිවීමට බලපාන හේතු රාශියක් ඇත. එකිනෙකට පටහැනි ආහාර සේවනය කිරීම, නරක් වූ ආහාර ගැනීම, අඹ - අන්නාසි ආදී ඇඹුල් ආහාර වැඩිපුර ගැනීම, මිරිස් අධික ලෙස යෙදූ ආහාර නිතර නිතර ගැනීම, අධික මද්‍යපානය හා දුම්පානය, තෙල් සහිත ආහාර අධිකව ගැනීම, අඹ - අච්චාරු, මෑ - උඳු ආදී ආහාර වර්ග නිතර නිතර ගැනීම, කෘත්‍රිම රසකාරක හා වර්ණක යෙදූ ආහාර පාන නිතර ගැනීම, බොහෝ වේලාවක් නිරාහාරව සිටීම මෙයට හේතු වේ.

මෙම අම්ලපිත්ත රෝගයේදී බඩ පුරවා දැමීම, බඩ දැවිල්ල සහ පපුව දැවිල්ල, බඩේ තද බව හා බර ගතිය, ඇඹුල් රස උගුරට ඒම, ආහාර අරුචිය, ඔක්කාරය, හෘදයේ වේදනාව, නිතර පවතින හිසරදය, සමහරකුට අධික කුසගින්න හා තවත් අයකුට බඩගිනි නොදැනීම, අත් - පා දැවිල්ල, වෙහෙසීමකින් තොරව ඇතිවේ. වෙහෙස යන මූලික ලක්ෂණ වේ.

තවද අම්ලපිත්ත රෝගී තත්ත්වය නිසා ග්‍රහණී ප්‍රදේශයේ තුවාල ඇතිවීම හේතුකොට ගෙන මිරිකන්නාක් වැනි කැක්කුමක් දැනේ. අන්නස්‍රෝතයේ විශේෂයෙන් ආමාශය තුවාලවලදී ආහාර ගත් පසු ටික වේලාවකින් වේදනාවක් දැනේ. මෙකී කරුණු අවබෝධ කර ගැනීම තුළින් අම්ලපිත්ත රෝගය නිවැරදිව හඳුනා ගැනීමට පහසු වනු ඇත.

ආමාශයේ තුවාල ඇති වී රුධිරය වහනය වීම මෙම රෝගයේදී දැකිය හැකි දරුණුම අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. එපමණක් නොව පිළිකා රෝගයක් හෝ හෘද රෝගයක් විය හැකි යැයි වැරදි ලෙස වටහා ගන්නා අවස්ථා ද එමටය. එබැවින් වෛද්‍යවරු වන අප මෙම ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්ය.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අම්ලපිත්ත රෝගය හඳුනා ගැනීම සඳහා එන්ඩොස්කොපි පරීක්ෂණය, බේරියම් පරීක්ෂණය, අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය යනාදී ක්‍රමවේදයන් උපයෝගී කර ගනී. එහිදී ආමාශයේ ආම්ලික සාන්ද්‍රණය අඩු කිරීමට හා ආම්ලිකභාවය හේතු කොට ගෙන ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට ඔවුන් ප්‍රතිකාර යොදති.

මෙම රෝගයට නිවැරදි ප්‍රතිකාර නොයෙදීමෙන් භයානක අතුරු උපද්‍රවවලට රෝගියා ගොදුරු වන බැවින් ඉතා සැලකිලිමත් විය යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මෙම රෝගය සඳහා නිවැරදි හා පැහැදිලි ප්‍රතිකාර පද්ධතියක් ඇත. විශේෂයෙන් මෙහිදී ආහාර හා ඇවතුම් පැවතුම් නිවැරැදි පිළිවෙළට අනුගමනය කරනවා නම් මෙම අම්ලපිත්ත උවදුරට අප කිසිවෙකුත් බිය විය යුතු නොවේ.

මෙම රෝගය ඇති වීමට ප්‍රධානම දෝෂය වන පිත සමනය කිරීම මූලිකම චිකිත්සාව වේ. මේ සඳහා වමනය, විරේචන, රක්ත මෝක්ෂණය, වස්ති ආදී ක්‍රම උපයෝගී කිරීමෙන් අනතුරුව ඖෂධ ලබා දීම කළ යුතු වේ. අම්ල පිත්ත රෝගයේදී අරිෂ්ට, ආසව යෙදීම එතරම් සුදුසු නොවූවත් ඒ සඳහා ඉතා ප්‍රත්‍යක්ෂ යෝග යෙදිය හැකියි.

* පාවට්ටා, රසකිඳ, පත්පාඩගම් ආදී කෂාය

* දුම්මැල්ල, වියළි ඉඟුරු, කොත්තමල්ලි ආදී කෂාය

* අරළු, තිප්පිලි, මුද්දරප්පලම් ආදී කෂාය

* පුහුල් මද, කුඹුක් පොතු, ඉගිනි ඇට ආදී කෂාය

* රසකිඳ, රත්නෙමුල්, කොහොඹ පොතු ආදී කෂාය.

මෙම රෝගී තත්ත්වයට දිය බත ඉතාමත් ගුණදායකය. බඩේ අම්ල ගතිය දුරුකොට බඩ පිපුම පලවා හැරීමට දිය බත් සමත් වේ. මේ ආකාරයට දිය බත සකසා ගත හැකියි.

රාත්‍රී ආහාරයට සැකසූ බතෙහි ඉතිරි වූ දංකුඩය සහිත කොටස භාජනයේ තිබියදීම එයට වතුර ස්වල්පයක් දමා, පසුදා උදෑසන දිය බේරා දංකුඩය සහිත කොටස වෙනත් භාජනයකට දමා පොඩිකර එයට ගම්මිරිස් ස්වල්පයක්, ලියාගත් රතුලූනු, පොල් හා ලුණු ස්වල්පයක් දමා මඳක් රත්කොට ආහාරයට ගන්න. පොල් බෑයේ උඩින්ම ඇති දිය සහිත පොල් කොටස පමණක් දිය බතට එක්කර ගත යුතුය. මෙම ආහාරය අම්ල පිත්තයට පමණක් නොවේ. උෂ්ණාධික බව නිසා ඇතිවන මුඛ පැළීම, මුඛ බිබිළි ආදියට ද ගුණදායක වේ.

මෙම රෝගයට සුදුසු ආහාර වශයෙන් පතෝල, ගොටුකොළ, නිවිති, වැටකොළු, අළුකෙසෙල්, දියලබු, සාරණ, පුහුල්, තම්පලා, කොහිල, එරබදු දළු, වැල්පෙනෙල, එළබටු, ළපටි වම්බටු, කැරට්, මුං ඇට, කුඩා මාළු වර්ග, කිතුල් පිටි, නිවුඩ්ඩ සහිත හාලේ බත්, කිරිබත්, දියබත් යනාදිය දැක්විය හැකියි.

පලතුරු වර්ග අතුරින් පැණි කොමඩු, පිට්ටු කැකිරි, පැණි දොඩම්, කෝලිකුට්ටු, ආනමාළු, දෙළුම් යන මේවා ගුණදායක වන අතර රටඉඳි, මී පැණි උක් පැණි ද හිතකර වේ.

නුසුදුසු ආහාර වශයෙන් ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, රට දෙල්, මිරිස්, අච්චාරු, අන්නාසි, විනාකිරි, තෙල් බැදුම් වර්ග, පැණි බීම වර්ග, ක්ෂණික ආහාර පාන, ටින් මාළු, හරක් මස්, ලුණු දෙහි, ජාඩි, කරවල, චොකලට්, තේ කහට, කෝපි, බුලත්විට, මත්පැන් යනාදිය දැක්විය හැකියි.

මීට අමතරව දුම්පානය, නිදි මැරීම, අධික තද අව්වේ සිටිම, මානසික වියවුල් බව යනාදිය පාලනය කර ගැනීමට පුරුදු පුහුණු විය යුතුය. නිෂ්පාදිත ඖෂධ වශයෙන් ක්වාත වර්ග, ගුළි වර්ග, චූර්ණ වර්ග, අවලේහ වර්ග වෙළෙඳපොළෙන් ලබාගත හැකිය. නමුත් වෛද්‍ය උපදෙස් මත මේවා කෙරෙහි අවධානය යොමු කිරීමට වග බලාගත යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

වර්තමාන සමාජයේ පාසල් දරුවන් මෙන්ම රැකියාවල යෙදී සිටින වැඩිහිටියන් පවා මෙම රෝග තත්ත්ව‍යන් පීඩා විඳිති. මෙයට ප්‍රධානම හේතුව වනුයේ උදෑසන ආහාර වේල ප්‍රතික්ෂේප කිරීම හෝ තෙල් හා ලුණු අධික ක්ෂණික ආහාරවල රස බැලීමට පුරුදු වී සිටීමයි. විශේෂයෙන් දහවල් ආහාරය වෙනුවට ක්ෂණික ආහාරයක් හෝ කෝලා පාන වර්ගවලට වහල් වී අම්ලපිත්ත රෝගය තුරුලු කරගෙන දුක් පීඬා විඳින්නෝ අපමණය. විශේෂයෙන් මානසික ඒකාග්‍රතාවය බිඳීම හේතු කොට ගෙන ආමාශය හා ඒ ආශ්‍රිත අවයවවලින් ගලන්නා වූ ස්‍රාවයක් විකෘති වී මන්දාග්නි තත්ත්වයට අැතිවීම අම්ලපිත්ත රෝගයට ප්‍රබල හේතුවක් වන්නේය.

එබැවින් අම්ලපිත්ත රෝගයට නිසි ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් නොපිළිපැදීමෙන් තදබල පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බැවින් නිවැරැදි ආහාර පාන ජීවන රටාවකට යොමුවීම අම්ලපිත්ත රෝගයෙන් ජය ගැනීමට උපකාරී වන්නේය.

 

උපදෙස් -

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

කාන්ති මදුරප්පෙරුම