වැදූ ගෙයි සන්නියට සාර්ථක කෙමක්

ඔක්තෝබර් 14, 2024

මුද්දරප්පලම්, වැල්මී කුඩු, මී පැණි, තිප්පිලි කුඩු, රටඉඳි, සුදුහඳුන් කුඩු, ඉරමුසු කුඩු, කලාඳුරු අල සම භාගව ගෙන සිහින්ව ගිතෙලෙන් අඹරා උක්පැණි සමඟ තේ හැන්දක ප්‍රමාණය උදේ සවස රාත්‍රී ස්නේහ කිරීම ඉතා වටිනා ඖෂධයකි.

පසුගිය සතියේ අප සඳහන් කළ පරිදි දරු ප්‍රසූතියෙන් පසුව ගර්භාෂයේ අපද්‍රව්‍ය කොටස් හරි ආකාරව ඉවත් නොවීමෙන් විවිධ සංකූලතා හටගනී. ගර්භාෂ විශාක්තාව නිසා රත්තගත වන විස මස්තිෂ්කය කෙරෙහි බලපෑමෙන් සූතිකා මවට අධික හිසරදය, ශාරීරික දාහය, ක්ලාන්ත ගතිය, ඇඟ රත්වීම හටගනී. තනියෙන් නන්දොඩවන ගතිය, සිහිනෙන් බිය වීම වැනි උන්මාද තත්ත්වයක් ලෙස මෙය වඩාත් ප්‍රබල වෙයි. මෙය දේශීය වෛද්‍ය විද්‍යාවේ සූතිකා උන්මාද රෝගය යනුවෙන් හඳුන්වයි. ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාවේදී වැදූ ගෙයි සන්නිය උච්චතම අවස්ථාව ලෙසද ග්‍රාමීය භාෂාවේ දී “දෝදු“ යනුවෙන්ද මෙය හඳුන්වයි.

මෙය වැඩිදුරටත් ‘මාධව නිධානය‘ නැමැති ආයුර්වේද ග්‍රන්ථයේ වඩාත් හොඳින් විස්තරාත්මකව සටහන් වන්නේ ශරීරයේ උච්ච වූ වාත ආදී දෝෂයන් යම් හෙයකින් විකෘති රූපී වුවහොත් එය මස්තිෂ්කය කෙරෙහි විපර්යාස ඇති වෙයි. එම නිසා මනෝ විභවයක් හෙවත් මානසික විකාරරූපී තත්ත්වයක් උපදවති. මෙයින් මතකය පිළිබඳ ජනිත වන රෝගය උන්මාදය යැයි කියනු ලැබේ. එමඟින් සිදුවන්නේ දරු ප්‍රසූතියේදී පෙර සඳහන් කළ පරිදි ප්‍රසවයෙන් පසු ශේෂ වන ගර්භ ද්‍රව්‍ය නිසා ගර්භාෂයේ ඇතිවෙන ආසාදනය වීමයි. එමඟින් පෙර සඳහන් කළ උණ ඇති වී වාත ආදී ධාතුන් කිපීමෙන් කුඩා මස්තිෂ්කය විකෘතියට පත්කර සිදුවන මානසික විපර්යාසය නිජ, ආගන්තුජ යන දෙවැදෑරුම් වූ උන්මාද රෝග අතුරින් ශරීර අභ්‍යන්තරයෙන් හටගන්නා වූ නිජ රෝග උන්මාදය වේ.

ගුප්ත විද්‍යාවට අනුව පුටෝම්මාද ගණයට මේ සූතිකා උන්මාදගණයට ඇතුළත් වේ. මේ සඳහා ප්‍රායෝගික චිකිත්සා දේශීය වෛද්‍ය විද්‍යාවේ බොහෝ ඇත. යම් යම් කෙම් ක්‍රම ගුප්ත විද්‍යා ක්‍රමද ඇත. මේ රෝග තත්ත්වය ඇති වුවහොත් එයට නිසි ප්‍රතිකාර නොකළහොත් උන්මාදය හා අපස්මාර තත්ත්වයන් නිදන්ගත රෝග ලෙස පවතිනවා ඇත. මේ සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් සිදු කළ යුතු බවද ඉතා අවධාරණයෙන් යුතුව සඳහන් කළ යුතු වේ. නමුත් මෙයට අදාළ අත් බෙහෙතක් ඔබට අපි ඉදිරිපත් කරන්නෙමු.

මුද්දරප්පලම්, වැල්මී කුඩු, මී පැණි, තිප්පිලි කුඩු, රටඉඳි, සුදුහඳුන් කුඩු, ඉරමුසු කුඩු, කලාඳුරු අල සම භාගව ගෙන සිහින්ව ගිතෙලෙන් අඹරා උක්පැණි සමඟ තේ හැන්දක ප්‍රමාණය උදේ සවස රාත්‍රී ස්නේහ කිරීම ඉතා වටිනා ඖෂධයකි. මෙය පළපුරුදු වෛද්‍යවරයකු යටතේ නස්න කිරීමෙන් මෙවැනි රෝග ඇතිවී තිබේ නම් නිට්ටාවට සුව කළ හැකි බව සඳහන් කරමි.

එමෙන්ම දරු ප්‍රසූතියට පසු කට්ටා කරවලවල මැද නාරටියේ කටු හොඳි සමඟ බත් කෑම ඉතාමත් ප්‍රතිශක්තිකරණ ගුණයෙන් යුක්ත වේ. වට්ටක්කා මාළුවද එසේම ගුණදායක වේ. හත් මාළුවද ඉතාම වටිනා ඖෂධමය ආහාරයකි. කොස් පොළොස් ආහාර කිරි වඩවන මෙන්ම දරුවාටත් මවටත් ගෙවී ගිය ශක්තිය ලබාදෙන ඖෂධීය ආහාරයන්ය.