Doctor Door

නොවැම්බර් 4, 2024

ඔබේ ගැටලුව අපට එවන්න

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණ පාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විදින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

 

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10. එසේත් නැත්නම් ඔබගේ ගැටලුව

0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

ඉවසිය නොහැකි යටිබඩෙහි වේදනාවක්

 

ප්‍රශ්නය

 

27 හැවිරිදි මා රජයේ රැකියාවක් කරන තරුණියක්මි. නිතර නිතර මාගේ යටිබඩෙහි වේදනාවක් ඇති වේ. එමෙන්ම මාසික ඔසප්වීම නියමිත දිනට සිදු වුණත් ඔසප් වීම දින හත අටක් පමණ පවතී. ඒ දින කිහිපයේදී යටිබඩෙහි වේදනාව ඉවසිය නොහැකි තරමට වැඩි වේ. මෙය සාමාන්‍ය තත්ත්වයක්ද?

 

පිළිතුර

 

ඔසප් වීමේදී බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි වැඩිවියට පත් වූ මුල් කාලයේදී මාස කිහිපයක් යනකම් තද බඩේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. එයට හේතුව ශරීරයේ තියන හොර්මෝන වර්ගවල ක්‍රියාකාරීත්වය වැඩි වීම මඟින් ගර්භාෂයේ මස්පිඬුවල ක්‍රියාකාරීත්වය වැඩි වීමයි. මේ තත්ත්වය වයස වැඩි වෙන විට ක්‍රමයෙන් පහව යනවා. එය හැම කාන්තාවකටම පොදු තත්ත්වයක්. යටි බඩෙහි ඇතිවන වේදනාවට තවත් හේතුවක් තමයි ගර්භාෂයේ හටගන්නා ෆයිබ්‍රොයිඩ් වැනි ගෙඩි. මෙය පිළිකාමය තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වයේදී ඔසප් වන විට අධික රුධිර වහනය සහ අධික යටි බඩෙහි වේදනාවක් ඇති විය හැකිය. අනෙක් හේතුව තමයි ගර්භාෂයේ තිබෙන සිවියක් වැනි කොටස මෙය ගර්භාෂයෙන් පිටතට ගොස් වර්ධනය වන විටත් මේ තත්ත්වය ඇති විය හැකිය. එය Endometriosis යනුවෙන් හඳුන්වයි. Adenomyosis යනුවෙන් එයට සමාන තවත් රෝගී තත්ත්වයක් තියෙනවා. මේ හරහාත් බඩේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. අනෙක් කාරණය යම්කිසි විෂබීජයක් ඇතුළු වීමයි. මේ සියලු දේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ස්කෑන් පරීක්ෂණයෙන් බලාගත හැකිය. එවේලේ ඇතිවන වේදනාව තාවකාලිකව සමනය කර ගැනීමට උණුවතුර බෝතලයක් යටිබඩෙහි තබා ගැනීමෙන් කැක්කුම අඩුකර ගත හැකිය.

-----------------------

කකුල් ඉදිමෙන්නේ දියවැඩියාවටද?

ප්‍රශ්නය

 

මා දියවැඩියාව රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා කෙනෙක්. මාගේ වයස 56කි. දැන් මාගේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයේ තිබුණත්. නිතර කකුල් ඉදිමේ. මෙසේ සිදු වන්නේ ඇයි? මෙයට කුමක් කළ යුතුද?

 

පිළිතුර

 

පළමුව රුධිර සීනි මට්ටම පරීක්ෂා කර ගන්න. එය 120ට අඩුවෙන් තිබිය යුතුය. ඔබගේ දියවැඩියාව තත්වය බොහෝ කල් සිට තිබුණේ නම් ඔබගේ වකුගඩු ආශ්‍රිතව දියවැඩියාව නිසා ඇති වූ රෝගී තත්ත්වයක් තිබිය හැකිය. ඒ සඳහා microalbumin පරීක්ෂණයක් කළ යුතුය. එය 30ට වැඩි නම් දියවැඩියාව ඔබගේ වකුගඩුවලට බලපා ඇත. එසේ බලපෑමක් වී ඇත්නම් ඉක්මනින් ඒ සම්බන්ධ වෛද්‍යවරයකු හමු වන්න. ඊළඟට අක්මාවේ ආබාධ නිසාත් කකුල් ඉදිමිය හැකිය. එයට අක්මාව සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණ තිබේ. ඒවා සාමාන්‍ය තත්ත්වයේ නොවේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයකු හමු වී ස්කෑන් පරීක්ෂණ කර ඔබගේ අක්මාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබේදැයි බලන්න. ඒ වගේම ඔබගේ හිමොග්ලොබින් ඌනතාවයක් තිබේද නැතිනම් ලේවල ප්‍රෝටීන් ඌනතාවයක් තිබේද බැලිය යුතුය. එයිනුත් කකුල් ඉදිමීමක් ඇති විය හැකිය. නහර ගැට ගැසීම රෝගයෙන් පෙළෙන අයගේත් කකුල් ඉදිමීමේ ස්වභාවයක් ඇත. එමෙන්ම කලාතුරකින් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් නිසාත් කකුල් ඉදිමීමක් සිදු වේ. Echo test එක කිරීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍යද කිය බැලිය හැකිය. ඒ පරීක්ෂණ කළාට පසුව ඔබගේ කකුල් ඉදිමීමේ තත්ත්වයට හේතුව සොයාගත හැකිය. එයට හේතුව සොයා ඒ අනුව ප්‍රතිකාර අරඹන්න.

 

-----------------------

ඇඟිල්ලේ හිරියක්

 

ප්‍රශ්නය

 

32 හැවිරිදි මා රැකියාවක් කරන දෙදරු මවක්. මා කුඩා කාලයේදී දකුණු අතෙහි ඇඟිල්ලක් වෙන් වීමට ආසන්න පරිද්දෙන් පිහියකට කැපීමක් සිදු වුණා. එයට නිවෙසේදී අත් බෙහෙත් කළත් නිසි ප්‍රතිකාරයක් නොකළෙමි. මේ සිදුවීම වන විට මට වයස අවුරුදු 14ක් පමණ වේ. ඉන් අවුරුදු තුන හතරක් ගිය විට එම ඇඟිල්ලේ හිරි වැටීමක් ඇති විය. දැන් එම තත්ත්වය තරමක් වැඩි වී ඇති බව දැනෙයි. නිතරම ඇඟිල්ල හිරි වැටෙයි. මෙයට කුමක් කළ යුතුද?

 

පිළිතුර

 

එවැනි කැපුමක් වූ විට නහරවලට හානි සිදු විය හැකියි. බොහෝ විට අප එලෙස ඔබගේත් නහරයක් තුවාල වන්නට ඇති. සාමාන්‍යයෙන් කරන්නේ එහෙම තුවාල වුණු කෙනෙක් ආ විට තුවාලය මැසීමට පෙර බලන්නේ නහරවල තත්ත්වයයි. නහරයකට හානි වී තිබුණොත්,

 

ලේ ගමනය නතර වීමට තාවකාලිකව ප්‍රතිකාරයක් කර රෝගියාව ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කොට එය යථා තත්ත්වයට පත් කිරීම සිදු කරයි. අවුරුදු ගණනකට පෙර සිදු වූ මේ තත්ත්වයට දැන් කළ හැකි දේ සීමිතය. නැවත ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගොස් තුවාලය පාරා නහරයක් කැපී ඇත්දැයි බැලීම කළ හැකිය. ඇතැම් විට නැවත නහර සම්බන්ධ කිරීමට අවස්ථාව තිබිය හැකිය. එය සිදු වී දිගු කාලයක් ගත වී ඇති නිසා ඔබට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතාම අඩුයි. එසේ නැතිනම් Psychotherapist කෙනකු මාර්ගයෙන් එම ඇඟිල්ලට ව්‍යායාම සිදුකොට යම්තාක් දුරට සහනයක් ලබාගත හැකිය.

 

-----------------

මා හට ඇත්තේ අර්ශස් ‍රෝගයද?

 

 

ප්‍රශ්නය

 

39 හැවිරිදි මා එක් දරු මවක්. දරු ප්‍රසූතියෙන් පසු මාස තුනක් පමණ වූ විට මල පිට වද්දි රුධිරය පිටවීමක් සිදු විය. මල පිට කරන විට දැඩි වේදනාවක් ද ඇති විය. එම තත්ත්වය සති කිහිපයකින් සුව විය. එය සිදු වී මාස 6ක් පමණ ඇත. දැන් නැවතත් එම තත්ත්වයම පවතී. මේ ගැන මා හට දැඩි බියක් දැනෙයි. අන්තර්ජාලය ඔස්සේ සොයා ගත් කරුණු අනුව මෙය අර්ශස් රෝගයදැයි සැකයක් පවතී. එහෙත් ඒ ගැන මා හට අවබෝධයක් නොමැත. මේ තත්ත්වය සුවකර ගැනීමට මා හට පිහිට වන්න.

 

පිළිතුර

 

මෙය අර්ශස් රෝගයේ රෝග ලක්ෂණයකි. ගුද මාර්ගයේ නාල තුවාල වීම මේ රෝගය ඇති වීමට එක් හේතුවකි. මෙසේ තුවාල වන්නේ බඩ වියළා යෑම නිසයි. ඊළඟට මල පිට කරන ආසන්නය තුවාල වීම එක් හේතුවකි. බඩ වියළා තිබුණ අවස්ථාවක අපහසුවෙන් මල පිට කිරීමෙන් එම ස්ථානයෙත් මේ විදිහට තුවාල ඇති වේ. එයින් ලේ වහනය වීමක් සිදු වේ. ඊටත් වඩා එමඟින් දැඩි කැක්කුමක් ඇති වේ. ඊට අමතරව මල පිටවන මාර්ගයේ මිදි ඇට වැනි පුංචි බිබිලි ඇති විය හැකිය. මෙය ඉතාම කලාතුරකින් ඇතිවන ආසාදන තත්ත්වයකි. ඒවා පිපිරී යාමෙන් ද ලේ වහනය වීම සිදු විය හැකිය. ඊට අමතරව පිළිකාමය නොවන සහ පිළිකාමය ගැටිති හරහාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට බඩවැල්වල කලාතුරකින් කෙනකුට ඇති විය හැකි Sanitary bubble disease වැනි රෝග තත්ත්වයන්ද මෙයට බලපෑ හැකිය. දිගටම රුධිර වහනය වන්නේ නම් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කිරීම වැදගත්. එහිදී අතට ග්ලවුස් එකක් දමා එම මාර්ගය පරික්ෂා කිරීම සිදු කරයි. එම ක්‍රමය අපහසු නම් මල පරීක්ෂාගාරයකට යවා එහි රුධිරය සහිත ද කියා පරීක්ෂා කර බැලිය හැකිය. අනෙක කැමරාවක් සහිත කුඩා උපකරණයක් එම මාර්ගයට දමා පරීක්ෂාවක් සිදු කිරීම. මේ තත්ත්වයේදී මලපහ කර ටික වෙලාවකින් නැවත මල පහ කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නම් එය හොඳ නැති ලකුණකි. එය බොහෝ වෙලාවට ගුද මාර්ගයේ ගැටිති පිළිකා තත්ත්ව තිබෙන විටයි. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගන්න.

ඔබ නිතර තන්තු සහිත එළවළු වර්ග, පලතුරු වර්ග ආහාර වේලට එකතු කර ගන්න. හොඳින් ජලය පානය කරන්න.

 

 

උපදෙස් -

කායික රෝග විශේෂඥ වෛද්‍ය

එච්. ඩී. විජේසිංහ