වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආදරණීය බිරිය වෙනුවෙන් බුදුරුවක් ඉදිකළ සූපවේදියා
ලොව අරුම පුදුම අතරට එකතුවන ඉන්දියාවේ ටජ්මහල ෂාජහන් රජු ඉදිකරවන්නේ සිය බිරිය මුම්ටාස් දේවිය වෙනුවෙනි. ඒ සිය ආදරය සංකේතවත් කරවමිනි.
එවැනි අපූරු ශ්‍රී ලාංකිකයකු ද පසුගිය දා සිත්පිත් නැති ශෛලමය පර්වතයක සියුමැළි සැතපෙන පිළිම වහන්සේ නමක් නිමවා රටටම දායාද කළේ සිය බිරිය වෙනුවෙනි. ඒ තම වෘත්තීය ජීවිතයට පිටිවහලක් වෙමින්, ලොව පුරා තම නාමය ප්‍රචලිත කරන්නට නිහඬ මෙහෙයක් ඉටුකළ ආදරණීය බිරියක නිසාවෙනි.
රන් රස සේ පෑහී, දුක- සැප ඉදිරියේ නොවෙනස් සදාකාලික බැඳීමක් ගැන අපට කියනා මේ අපූරු යුවළ තරුණී පාඨක ඔබ හොඳින් දන්නා හඳුනන අයවලුන්ය. ඒ හෙළයේ මහා සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා සහ ඔහුගේ ආදරණීය බිරිය විමලා රාජකරුණාය.
සිතක් තුළ සැඟවුණු අපරිමිත සෙනෙහසක් මහා කරුණා ගුණැති ශෛලමය බුදු පිළිමයක් බවට පත් වූ ඒ අපූරු කතාව ගැන අසන්නට සුදුසුම පුද්ගලයා ඔහුයි. ඉතින් ගල්කිස්ස මහ හෝටලයේ මහා සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්ම අපි මේ කතාවේ සුලමුල විමසා සිටියෙමු.
“මම අපේ හාමිනේ ඒ කියන්නේ ඩී. විමලා රාජකරුණා සරණ පාවා ගත්තේ 1955 වර්ෂයේ දීයි. එදා ඉඳන්ම අද දක්වා වසර 65 ක් ඇය මා පැමිණි ජීවිත ගමනේ දී පසුපස සෙවණැල්ලක්ව සිටියා. ඇය මහා සහයෝගයක්, නිදහසක් මා වෙත ලබාදුන්නා මගේ වෘත්තිය කරගෙන යන්න.
ඒවගේම තමයි මම ගල්කිස්ස මහ හෝටලයට එද්දි මා සතුව තිබුණේ එක සරමයි, එක කමිසයයි, එක මේස් බැනියමයි. එදා ඉඳන් අද දක්වා මේ ලබාගත් දේවල් සඳහා ප්‍රධාන චරිත දෙකක් මා පිටුපස හිටියා. ඒ ගල්කිස්ස මහ හෝටලය සහ මගේ බිරිය. ඇයගේ ආදර පරිත්‍යාගය නැතිව මේතාක් මගේ කටයුතු සාර්ථක කරගන්න බැහැ. මේ නම ලෝකය පුරා ප්‍රචලිත වුණේ ඔවුන් ලබාදුන් ආලෝකය නිසා. ඉතින් ඊට ගෞරව කිරීමක් වශයෙන් තමයි මම මේ විදිහට ශෛලමය පිළිම වහන්සේ නමක් නිර්මාණය කරවා ශාසනයට පූජා කළේ.”
මේ පිළිබඳව ඇය දැනුවත්ව හිටියා ද?
“මෙහෙමයි. මම ටික කාලෙක ඉඳන් තමයි මේ කටයුත්ත ගැන හිත හිතා හිටියේ. චෛත්‍යයක් හදවන්න තමයි හිතේ තිබුණේ. ඉතින් මම පුතාල එක්කත් වරින්වර මේ ගැන කතා කළා. චෛත්‍යයක් හදන්න පන්සලුත් බැලුවා.
ඒ නිසා හාමිනේ දැනගෙනයි හිටියේ ඇය වෙනුවෙන් මම මෙවැනි කටයුත්තක් කරන බව.
මේ කටයුත්තට මුල පිරූ ආකාරයත් දැනගන්න කැමැතියි?
“මගේ වෘත්තියේ හැටියට මම බෝ නොවන රෝග සඳහා ආහාර සොයාගෙන ගියා. එහිදී එක ගමක වෙද මහත්තුරු ටිකක් සමඟ සාකච්ඡාවක් පැවැති වෙලාවක ඒ ගමේ හාමුදුරුවොත් එතැනට වැඩියා. උන්වහන්සේගේ ආරාධනාවෙන් පන්සලට ගියපු මම දැක්කෙ විශාල ගල් පර්වතයක් සමඟ තිබූ බුදු කුටියක්. එතැනදී මම මේ බුදු කුටියට පිළිමයක් නැත්තෙ ඇයි කියලා විමසුවාම ලැබුණු පිළිතුර තමයි ඊට වත්කමක් නැති බව. ඉතින් මම තීරණය කළා චෛත්‍යය වෙනුවට මෙහි බුදු පිළිමයක් තනන්නට.”
විශේෂ ස්තූතිය - පද්මා ජයසිංහ මහත්මියට
ඡායාරූප - හර්ෂ මංජුල
2020/03/04 තරුණි බලන්න