වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කහ නිෂ්පාදනවලින් වෙළෙඳපොළජයගත් සමන්ති කුමාරිගෙන් දියුණුවීමේ රහස් දැනගනිමු
අපි ජනතාවට දෙන්නේ වස විසෙන් තොර හොඳ දේ පමණයි
කොවිඩ් වසංගතයත් සමඟම දේශීය රසකාරකයක් වූ කහවලට වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇතිවිය. ඒ විසබීජ නාශකයක් ලෙසින් කහ අධිකව පරිභෝජනය කිරීමත්, කුළුබඩු සඳහා ආනයනික සීමා පැනවීමත් නිසාය.
මේ හේතුව නිසාම පසුගිය කාලවකවානුවේ වැඩි දෙනක් තමන්ට හැකි පමණින් කහ ගහක් දෙකක් වගා කරන්නට පෙළඹුණහ. ඊට දිරි දීමක් වශයෙන් අපි ද කහ වගා කරන ආකාරය පිළිබඳ පමණක් නොව අස්වැන්න නෙළන අයුරුත් ඔබට පහදා දුන්නෙමු. ඊට අමතරව පරිභෝජනයට සුදුසු පරිදි කහ සකසා ගන්නා හැටි සේම කහ ආශ්‍රිතව කළ හැකි නිෂ්පාදන පිළිබඳව ද තොරතුරු රැගෙන ආවෙමු.
ඒ සියල්ලටම අමතරව කහ භෝගය මනා නිෂ්පාදනයක් බවට පත්කර එමඟින් වෙළෙඳපොළ දිනූ දිරිය කාන්තාවක් පිළිබඳ අපූරු කතාවක් ද ඔබට කියන්නට අප සතුව තිබේ.
ඇය සමන්තා කුමාරි අලහකෝන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඹුල්ගල, හෙට්ටිමුල්ලේ පදිංචි මේ දිරිය කාන්තාව කහ භෝගයට අමතර තවත් කුළුබඩු කිහිපයක්ම අගය එකතු කළ නිෂ්පාදන ලෙසින් වෙළෙඳපොළට යොමු කරන්නීය. ‘කුරුප්පුමුල්ල නැචුරල් ප්‍රඩක්ට්ස්’ නම් වූ ඇයගේ මේ නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් පවතින අතර ඒ පිළිබඳ අප ඇයගෙන්ම විමසා දැනගනිමු.
“ඇත්තටම මම රැකියාවක් නැති ගෘහණියක් විදිහට තමයි කටයුතු කළේ. හැබැයි පුංචි පුංචි අත්කම් නිර්මාණ කරලා සුළු මුදලක් උපයා ගන්න පුරුදු වෙලා හිටියා. ඔය අතරතුරේ මගේ සැමියා සේවය කළ ආයතනය වසා දැමීම නිසා අපි කබලෙන් ළිපට වැටුණා. අත්කම් නිර්මාණවලින් උපයන මුදල පවුලේ එදිනෙදා වැඩවලටත් මදි. අපිට දුවලා දෙන්නෙක් සහ පුතෙක් ඉන්නවා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ඕනේ. ගෙදර දොරේ ආර්ථික ප්‍රශ්න අහස උසට. ඉතින් අපි දෙන්නා එකතු වෙලා අපේම දෙයක් පටන් ගන්න ඕනේ කියලා හිතුවා.
අපේ ගම් පළාතේ ඕනේම දෙයක් හොඳට වැවෙනවා. තේ, කෝපි, රබර් වගේම කහ, ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු වාගේ කුළුබඩුත් හොඳට වැවෙනවා. ඉතින් මේ කුළුබඩුවලින් නිෂ්පාදන කිහිපයක් වෙළෙඳපොළට එකතු කරලා අපේම ව්‍යාපාරයක් කරමු කියලා අපි දෙන්නා කතා කරගත්තා.
අපි මුලින්ම නිෂ්පාදනය කළේ ගොරකා පේස්ට් එක. මොකද අපේ ගමේ ඕනේතරම් ගොරකා හොයාගන්න පුළුවනි. ඒ වගේම අපේ ගෙදරත් ගොරකා ගෝනි කිහිපයක් තිබුණු නිසා වැඩේ වඩාත් පහසු වුණා.
මට ගෙදර දොර, දරුවන්ගේ වැඩ ආදිය වැඩි නිසා මහත්තයා තමයි ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ විදාතා ආයතනයට පළමුවෙන්ම යොමු වුණේ. එමඟින් අවශ්‍ය තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර පිළිබඳ දැනුම ලබාගත්තා. අනතුරුව එතැනින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ අංශයට අපිව යොමු කළා. කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සැකසීම පිළිබඳ වාගේම ව්‍යාපාරයක් ගොඩනඟා ගන්නා ආකාරයත් දැන කියා ගත්තෙ එහිදියි. ඒ දැනුමින් ගොරකා ක්‍රීම් එක වාගේම සියඹලා ක්‍රීම් එකත් අපි නිපදවා වෙළෙඳපොළට යොමු කළා.
මේ අතරතුරේ තමයි කහ නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් මෙරට වෙළෙඳපොළ තුළ ඇතිවුණේ. කහවලින් අගය එකතු කළ නිෂ්පාදන කරන පිරිසත් අඩුයි. ඒ නිසා හොඳ නිෂ්පාදන ටිකක් කළොත් වැඩි ආදායමක් ලබාගත හැකි බව අපට තේරුණා.ඒ අනුව අපි දෙන්නා නැවතත් මාතලේ පසු අස්වනු තාක්ෂණ අංශයට ගිහින් කහ කුඩු නිෂ්පාදනය වාගේම වියළි කහ පෙති, කහ ක්‍රීම් සකසනා ආකාරය දැනුවත් වුණා. ඇත්තටම කහ ක්‍රීම් එහෙමත් නැතිනම් කහ පල්පය සඳහා අද වනවිට වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒවාගේම වියළි කහ පෙති අලෙවියත් හරිම ලාබදායකයි. මේ පෙති අවශ්‍ය වෙලාවට කුඩුකර හෝ ක්‍රීම් ලෙස සකසා ගත හැකි නිසා තරමක් විශාල බෑග් ලෙස අසුරා කුළුබඩු සමාගම්වලට පවා අලෙවි කරන්න පුළුවනි.
වසවිසෙන් තොර හොඳ දෙයක් අපේ ජනතාවට ලබාදීලා ආදායමක් ලබාගන්නයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ. ඒ නිසා අපි මුලින්ම මේවා හදලා බලලා පාවිච්චි කරලා තමයි කල් ඉකුත්වීමේ දින යොදන්නෙ. නිෂ්පාදන වෙළෙඳපොළට දාන්න හදිස්සි වෙන්නෙ නෑ කොයිම වෙලාවකවත්. ඒ වාගේම ඉතාමත් පිරිසුදුව සෞඛ්‍යාරක්ෂිතව මේ නිෂ්පාදන සකසන්නත් අපි වෙහෙසෙනවා.”
මෙලෙස ටිකෙන් ටික තමන් පැමිණි ගමන් මඟ ගැන පැවසූ ඇය තමන්ට මුහුණ දීමට සිදුවුණු අපහසුතාවන් පිළිබඳව කියන්නටත් අමතක කළේ නැහැ.
“එක සැරයක් ලැබුණු ඇණවුමකට අපි ඩුබායිවලට මීපැණි සාම්පල් යැව්වා. ඒ මීපැණිවල 67% ක් සීනි අඩංගුයි කියලා අපේ ඇණවුම කැන්සල් වුණා. අපි ඒකෙන් ලොකු පාඩුවක් වින්දා වාගේම හොඳ පාඩමකුත් ඉගෙනගත්තා. දැන් හොඳ මීපැණි හදාගන්න අපේම මී මැසි ජනපද තියෙනවා. තවත් වතාවක් ගොරකා කිලෝ 15 ක් අපතේ යවන්න අපට සිදුවුණා. ඒ ගොරකා පැහෙන්න කලින් ගැටකපලා වියළා අපිට දීලා. මේ නිසා දැන් අපි අමුද්‍රව්‍ය මිලදී ගන්නකොට හොඳට තෝරලා හොයලා බලනවා.”
කුරුප්පුමුල්ල නැචුරල් ප්‍රඩක්ට්ස් හි ඉතා ආකර්ෂණීය නිමාවත් තම නිෂ්පාදන ජනප්‍රිය වීමට බලපෑ බව ඇය පවසන්නීය.
“මගේ මහත්තයා රංජිත් කුරුප්පුමුල්ල. එයා මුලින් මුද්‍රණ ආයතනයක වැඩ කළ නිසා මේවාගේ ලස්සන නිමාවක් සහිත නිෂ්පාදන ටිකක් සකසන්න හැකි වුණා. ඒවාගේම අපි සාම්ප්‍රදායික භාණ්ඩ අලෙවියකට කැමැති නැහැ. නව තාක්ෂණය භාවිත කරමින් දේශීය වෙළෙඳපොළ වාගේම විදේශීය වෙළෙඳපොළත් ජයගන්න තමයි හැමවිටම උත්සාහ දරන්නේ.”
අවසානයේ ඇය මේ ගමනට මඟ පෙන්වූ සැමට ස්තූති කරන්නටත් අමතක නොකළාය.
“ගලිගමුව ප්‍රාද්ශීය ලේකම් සුසන්ත හේරත්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික්ක සහකාර අධ්‍යක්ෂතුමිය, මාතලේ පසු තාක්ෂණ අංශ ප්‍රධානී තුෂාරි ලියනගේ, ඉඹුල්ගම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර අශෝක රාජපක්ෂ යන මහත්ම මහත්මීන් අපට ලබාදුන්න සහයෝගයට තුªති පුදන්නෙ හදවතින්මයි.”
ඇයගේ මේ නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර ලබාගන්නට අවශ්‍ය නම් 0112429591 දුරකථන අංකය හරහා තරුණී අමතන්න.
විශේෂ ස්තුතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
මාධ්‍ය හා සන්නිවේදන අංශයට