ඉදිකිරීමක් සංවර්ධනය විය යුත්තේ ස්වභාව ධර්මයට අනුගතවයි

අප්‍රේල් 24, 2019

ස්වභාව ධර්මයත්, වාස්තු විද්‍යාවත්, මිනිස් ජීවිතයත් කියන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන අංශ තුනකට. ස්වභාව ධර්මයාට ගැළපෙන ආකාරයට හා ඊට අනුකූලව තම වාසස්ථාන - ගොඩනැගිලි ආදිය ඉදිකිරීමේ කලාව ගැන අප සෑම දෙනාම දැනගත යුතුයි.

ස්වභාව ධර්මයත්, වාස්තු විද්‍යාවත් යන මේ අංශ දෙකේම නිවැරැදි ගැළපීම මත සාදන ඉදිකිරීමක දී එහි හිමිකරුවාටත්, පවුලේ අයටත් ලැබෙන කායික - මානසික සුවය හා නිරෝගී බව නම් අතිශයින්ම වැදගත් දෙයක්.

ලෝකයේ වාසය කරන කිසිම කෙනකු ස්වභාව ධර්මයට අභියෝගකර එය වෙනස් කරන්නට සමත් නැහැ. එසේ උත්සාහ කිරීම හැමෝගෙම විනාශය ඉක්මනින්ම ළඟා කර ගැනීමක්. මේ නිසා සෑම ඉදිකිරිමක්ම කළ යුතු වෙන්නේ පරිසර පද්ධතීන්ට හානි නොවන ලෙසට. ගහ කොළ කපා පොළොව නිරුවත් කර සීග්‍රයෙන් හදන ගොඩනැගිලි වනාන්තර තුළ කොටුවුණු මනුසතාගේ හැඟීම් ගැන ඔබත් මොහොතක් සිතා බලන්න....

මුදල පසුපස හඹා යන යාන්ත්‍රික ජිවන රටාව, ආත්මාර්ථකාමී සිතිවිලි, නිදහස හා කාල වේලාව නැති කමින් ඇති වෙන මාපිය- දූ දරු දුරස් බව, පෝයදාට පමණක් දහසකුත් ගමන් බිමන් අතරතුරට යොදාගන්නා ක්‍ෂණික ආගමික කටයුතු, ඒ විතරක් නෙමෙයි, දොස්තරලාටත් හොයාගන්න බැරි වෙන විදියට හැදෙන ලෙඩ රෝග, පරිසර පද්ධතීන් වෙනස් වීම මත සිදුවන ගංවතුර හා නාය යෑමේ උවදුරු, මේ කීපයක් පමණයි. හෙට දිනයේ මේවා තව තවත් දරුණු වෙන්නේ අද අපි ස්වභාව ධර්මයට අනුගත නොවුණු නිසා.

රටක සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් ගොඩනැගිලි හා මහා මාර්ග පමණක් නොවේ. අපට ජීවත් වීමට ගැළපෙන හා ඔරොත්තු දෙන ප්‍රමාණයට හරිත පරිසරය සහ ජල රක්‍ෂිතයන් ආරක්ෂාකර ගනිමින් මෙම සියලු ඉදිකිරීම් කළ යුතුයි. අතීතයේ ශ්‍රී ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පයත්, ඊජිප්තුව, මිසරය, ග්‍රීසිය ආදියේ පැවති නගර නිර්මාණ ශිල්ප ක්‍රමත්, ස්වභාව ධර්මය මූලික කර ගෙන වාස්තු විද්‍යාත්මකව ගොඩ නැගුනු ඒවා. අද කාලයේත් මෙම කාරණා එසේම සිදුවිය යුතුයි. මෙයින් ලැබෙන ප්‍රතිඵල ඉතා විශාලයි. පරිසර පද්ධතීන් සහ ඒවායේ තුලනාත්මක චක්‍රයන් බාධාවකින් තොරව මනාව ක්‍රියාත්මක වීම, කොන්ක්‍රීට් පරිසරය නිසා ඔරොත්තු නොදෙන අධික තාපය සංතුලනය කිරීම. එපමණක් නොවෙයි, පෘතුවිය තුළ ගැබ් වී තිබෙන ශක්තින් පිටතට එන්නට තරම් ප්‍රමාණවත් පරිසරයක් ඉතිරි වීම.

(කොන්ක්‍රීට්වලින් මුද්‍රාතැබූ බිමකින් මෙම භූ ශක්තින් පිටතට ඒමට බධා ඇති කරයි.)

අප ජීවත් වන පරිසරය ගැන කතා කරන විට මිනිසා පමණක් නොවේ, සත්ත්ව ජීවිත ගැනත් අවධානය යොමුකළ යුත්තේ පරිසර පද්ධතියේ සමතුලිත බවට එය ඍජුවම දායක වන නිසා. උදාහරණයකට නාගරිකව ජීවත් වන පක්ෂියකුගේ ජීවන රටාව සලකා බලමු. අද කාලයේ රාත්‍රිය එළිවෙනකම් දැල්වෙන විදුලි බුබුළු නිසා උන්ට විසිහතර පැයම දවල් වගේ. ලගින්නට හෝ කූඩු හදන්නට ගහක් කොළක් නොමැති තරම්. නිදන්නට කළුවරකුත් නිස්කලංක පරිසරයකුත් නැහැ. රාත්‍රිය පුරාවට ඇසෙන වාහන, යන්ත්‍ර හඬ ඉවරයකුත් නැහැ. දිවචාරයෝ මං මුළාවී නිශාචර වෙනවා. නිශාචර වවුලන් දවාලෙත් පියාඹයි. සංවර්ධන ක්‍රියාවලිය සමබර නොවී පිළිවෙළක් නැති වුණොත් පරිසරයටත්, හැමෝටමත් හිසරදයක්.පරිසරයේ කොටස්කරුවන් වන පක්ෂීන්ටත් ගැළපෙන පරිසර කොටසක් (රක්ෂිතයක්) තිබීම ඉතා වැදගත් දෙයක් වෙන්නේ මේ නිසයි.

2019/04/24 තරුණි බලන්න.

 

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද, ආචාර්ය

ගයාන් එරමුදුගොඩ

Web :www.vastuhomebuilders.com
Email :[email protected].