වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නන් පැහැයෙන් ගෙමිදුල හැඩ කරන්නී එක්සෝරා
දකුණු ඉන්දියාව, බංගලිදේශය සේම ශ්‍රී ලංකාවේ ද අස්සක් මුල්ලක් නෑරම පැතිරුණු සොඳුරු මල් වර්ගයකි ‘එක්සෝරා’ (ධ්යධපච). ලාංකිකයන් බොහෝදෙනකු මේ එක්සෝරා ශාකය හොඳින් දන්නා හඳුනනවා වුවද එය වැඩි අවධානයකට යොමු වී ඇති බව නොපෙනේ.
නමුත් නව දෙමුහුම් ප්‍රභේද වෙළෙඳපොළට පැමිණීමත් සමඟම එක්සෝරා ශාකය කෙරෙහි මල් ලෝලීන්ගේ වැඩි උනන්දුවක් වාගේම දැඩි රුචිකත්වයක් ද ඇති විය. එබැවින් පිළිවෙළකට, ක්‍රමවත්ව පවත්වාගෙන යන එක්සෝරා වගාවක් හරහා ඔබේ ගෙවත්තට අමුතුම සුන්දරත්වයක් එකතු කරගත හැකිය.
ප්‍රභේද
රුබේසියේ (Rubiaceae) කුලයට අයත් මේ එක්සෝරා ප්‍රභේදයේ වර්ග ගණනාවක්ම ඇත. මේ එයින් කිහිපයකි.
එක්සෝරා කොක්සීනියා (Ixora Coocinea)
එක්සෝරා ටයිව්නෙන්සිස් Ixora Taiwnensis)
එක්සෝරා පවෙටා ((Ixora Pavetta)
එක්සෝරා ස්පෙක්ටකියුලර් (Ixora Spectacular)
හිරුඑළිය සහ උෂ්ණත්වය
එක්සෝරා යනු පූර්ණ සූර්යාලෝකයක් අපේක්ෂා කරන ශාකයකි. එමෙන්ම දීප්තිමත් අවකාශයක් තිබීම ද ශාකයේ හොඳින් මල් පිපීමට උපකාරි වේ. තෙතමනය සහිත වගා මාධ්‍යයක් ද තිබිය යුතුය. නමුත් ශීත දේශගුණික කාලවකවානු තුළදී මෙම ශාකයේ මල් පිපීම අඩුවිය හැකි අතර එක්සෝරා ශාකයට තරමක ඉහළ උෂ්ණත්වයක් ද
අවශ්‍ය වේ.
වගා මාධ්‍යය
තරමක ආම්ලිකතාව ප්‍රිය කරන ශාකයක් ලෙසින් ද මෙය හැඳින්විය හැකියි. එනම් (නඩ්) අගය 5 වැනි පරාසය තුළ දී මෙය හොඳින් වැඩේ. මේ සඳහා වගා මාධ්‍යය ලෙස පහත සඳහන් කොටස් එකට මිශ්‍රකර සකසා ගැනීම සුදුසුය.
සාරවත් මතුපිට පස් කොටස් 01 ක්
වැලි කොටස් 1/2 ක්
කොම්පෝස්ට් කොටස් 1/2 ක්
හළාගත් කොහුබත් කොටස් 1/2 ක්
පොහොර
ශාකය වැඩෙන කාලසීමාවේ දී නයිට්රජන් ප්‍රතිශතය වැඩි පොහොරක් ද මල් පිපීමට ආසන්න කාලයේ දී මෙන්ම මල් පිපෙන කාලයේදීත් පොටෑසියම් සහ පොස්පරස් වැඩි පොහොරක් ද යෙදිය යුතුයි. මෙම එක්සෝරා සඳහා පාලනයක් සහිතව ලබාදෙන පොහොර වර්ගයක් යෙදිය හැකි අතර මල් පිපෙන කාලයේ හෝ ශාකය පරිණත වී ඇති කාලයේ දියර පොහොර යෙදිය හැකියි.
ශාක ප්‍රචාරණය
බීජ මාර්ගයෙන් මෙන්ම අතු කැබැලි සිටුවා ගැනීමෙන් මෙය බෝ කරගත හැකිය. වඩාත් ජනප්‍රියම සහ සුදුසුම ක්‍රමය ලෙස වැඩිදෙනකු භාවිත කරන්නේ අතු කැබලි මඟින් සිදුකෙරෙන ප්‍රචාරණයයි. මන්ද එක්සෝරා අතු පහසුවෙන්ම පැළ වේ. එබැවින් බොහෝවිට අතු කැබලි කෙළින්ම බඳුන්ගතව සිටුවිය හැකිය.
හානි සහ නඩත්තුව
හානි අවම ශාකයක් ලෙසින් ද මෙය හැඳින්වේ. ඇතැම්විට පොස්පරස්, පොටෑසියම් වැනි මූලද්‍රව්‍ය හිඟවීමෙන් පත්‍ර සම්පූර්ණයෙන්ම හෝ යම් ප්‍රමාණයක් කහපාට වීම දුඹුරු පැහැවීම ආදිය දැකිය හැකියි.
මල් ගොමු ආකාරයට, වෙන් වෙන් වශයෙන්, විවිධ හැඩතල කපා ගැනීමෙන් මේ එක්සෝරා හැඩට පවත්වාගෙන ගිය හැකියි. දිය ඇලි, පොකුණු අසල, මංමාවත් දෙපස මේවා අලංකාරව සිටුවාගත හැකියි. අඩි 03 ක් පමණ උපරිම උසක් පවත්වාගෙන යාමෙන් මනා පෙනුමක් රැගෙන එන අතර නිතර කප්පාදු කිරීමෙන් අලුත් රිකිලි ඇතිවී පඳුරක් ලෙස සකසා ගත හැකිය.
සාමාන්‍යයෙන් ශාකය ඉහළ කොටසට හොඳින් හිරුඑළිය පතිත වීම හරහා වැඩි මල් ප්‍රමාණයක් ඉහළ අතුමත සෑදේ. එබැවින් ශාකයට හොඳින් හිරු එළිය ලැබීමට ඉඩකඩ සැලසීමත්, මැරුණු අතු කපා ඉවත් කිරීමටත් අමතරව පසෙහි නිරන්තර තෙතමනය රඳා පැවතීම එක්සෝරා මල් පොකුරු පොකුරු හටගැනීමට හේතුවක් වේවි.
විවිධ වර්ණයේ එක්සෝරා වර්ග එක පැළෑටියකට වඩා කිහිපයක්ම එකට සිටුවා ගැනීමෙන් අපූරු සෞන්දර්යාත්මක ගෙඋයනක් ඔබටම නිර්මාණය කරගත හැකියි.
උපදෙස්
ප්‍රවීණ උද්‍යාන
අලංකරණ ශිල්පී
විසිතුරු මල් වගා උපදේශක
මාබොදලේ
රංජිත් කළුආරච්ච්