වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වේලක් පිරි මැහෙන මෑ වැලක් වවාගනිමු
අල්ලක් වවා මල්ලක් පුරවමු යැයි කියමන තවදුරටත් හුදෙක් වචනයකට පමණක් සීමා නොකරමින් පසුගිය කාලයේ හිමි වූ විවේකයෙන් උපරිම ඵල නෙළා ගත් වැඩිදෙනකු ගෙවතු වගාවට යොමු වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.
විශේෂයෙන් ම තමන් සතුව පවතින සීමාසහිත ඉඩකඩ උපරිමයෙන් භාවිත කරමින් හැකි ආකාරයට වගාවේ නියැලෙන්නට ඔවුහු උත්සුක වූහ. එහි ප්‍රතිඵලයක් ලෙසට මේ වනවිට බොහෝ දෙනකුට තම ගෙවත්තෙන්ම නෙළාගත් එළවළු, පලතුරු, පලා පරිභෝජනය කරන්නට හැකියාව ලැබී ඇත.
ඒ අනුව ගෙවත්තේ ඉඩකඩ ඇති ආකාරය අනුව වසරේ ඕනෑම කාලයක් පහසූවෙන් වගා කළ හැකි තවත් එළවළුවක් වූ මෑ වගාව පිළිබඳ අද අපි දැන ගනිමු.
ඉඩකඩට ගැලපෙන ලෙස ප්‍රභේදය තෝරා ගැනීම
මෙහිදී ඔබේ ගෙවත්තේ ඉඩකඩ ඇති ආකාරය අනුව එනම් දිගටි ඉඩක්, පළල් සහිත ඉඩක් එහෙමත් නැතිනම් සීමිත ඉඩකඩ තුළ බඳුන්ගත වගාවක් ද කළ හැක්කේ යන්න සොයා බලා ඒ අනුව වගා කළයුතු මෑ ප්‍රභේදය තෝරාගන්න.
මෙලෙස වගා කළ හැකි ප්‍රධාන මෑ ප්‍රභේද දෙකකි.
1. වැල් වශයෙන් වැඩෙන ප්‍රභේද
2. පඳුරු වශයෙන් වැඩෙන ප්‍රභේද
මේවා අතරින් ඔබ වඩාත් ප්‍රිය සහ ඔබේ ගෙවත්තට ගැළපෙන ප්‍රභේදයක් තෝරා ගත හැකිය.
වැල් වශයෙන් වැවෙන ප්‍රභේද
* පොළොන් මෑ
තද කොළ පැහැයක් ගන්නා මෙම මෑ කරල් වල දම් පැහැ පුල්ලි දැකිය හැකි වේ. මාස දෙකකින් පසු අස්වනු නෙළිය හැකියි.
* හවරි මෑ
කොළ පැහැති දිගු කරල් හටගනී. මෙම වර්ගයේ ද දින 60 කින් පමණ අස්වනු නෙළිය හැකි අතර හවරි මෑ වල තව ප්‍රභේදයක් වන 'ගන්නොරු හවරි' මාස දෙකක් යාමට ප්‍රථම අස්වනු ලබා ගත හැකිය.
* ගන්නොරුව ඒ නවය (ඒ 9) මෑ
මෙය මුල් කුණු වීමේ රෝගයට ඔරොත්තු දෙන ප්‍රභේදයක් වන අතර වෙනත් ප්‍රභේදවලට කලින් අස්වනු ලබාදේ. දිගු කොළ පැහැති කරල් හට ගනියි.
පඳුරු වශයෙන් වැවෙන ප්‍රභේද
* දේශීය බුෂිටාවෝ
සාමාන්‍ය ප්‍රමාණයේ කොළ පැහැති කරල් සෑදෙන අතර මාස 1 1/2 න් පසුව අස්වනු නෙළා ගත හැකි වේ.
* බී. එස්. එක (ඕ.ඉ.1)
මෙම මෑ ප්‍රභේදයේ ළා කොළ පැහැති කරල් හටගනී. මෙහිද මාස එකහමාරක් පමණ ගත වනවිට අස්වනු නෙළීම ආරම්භ කළ හැකිය.
* පොළොන් මෑ
වැල් වශයෙන් සෑදෙන පොළොන් මෑ මෙන්ම පඳුරු වශයෙන් වැඩෙන පොළොන් මෑ වර්ගයක් ද වේ. සිටුවා දින 45කට පසුව මේ වර්ගයේ අස්වනු නෙළිය හැකිය.
වගා බිම සැකසීම
පොළොවේ පස පෙරළා (අඩි 1/2කට වඩා ), පස් කැට පොඩිකර පාත්ති වශයෙන් හෝ වළවල් වශයෙන් සකස් කරගන්න. එක දිගට වළවල් පේළියක් ලෙස සකසා බීජ සිටුවා ගත හැකිය.
ඔබට ඇත්තේ සීමිත ඉඩකඩක් නම් තරමක් විශාල බඳුන් වලද මෙම මෑ වැල් කිහිපයක් සිටුවා ගත හැකිය.
උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ
ශිල්පී,
විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ
රංජිත් කළුආරච්චි
2020/06/08 තරුණි බලන්න.