ගෙවත්තට කුරුලු යහළුවන් කැඳවන්න කදිම උපක්‍රම

නොවැම්බර් 4, 2020

කුරුලු ලෝකය හරිම චමත්කාරජනකයි. රංචු ගැසී කිචි බිචි ගාමින් තොරතෝංචියක් නොමැතිව කෑගසන මේ පුංචි යහළුවන් ගෙවත්තට අපූරු ජීවයක් රැගෙන එන අන්දම ඔබ මොහොතකට හෝ අත්විඳ තිබේද ?

පුංචි තටු විහිදා පියාසලන, ඒ පියාපත් එහාට මෙහාට හරවමින් අව්ව තපින, වටපිට බලමින් කුරුලු තුඩින් ආහාර බුදින, තවත් විටෙක ගහක අත්තක වසා කම්මැලි කමට නිදි කිරන මේ පුංචි යහළුවන්ගේ දඟකාරකම් මොහොතකට ඔබේ ජීවිතයේ වෙහෙස අමතක කරවාවි.

ඒ සඳහා ඔබ කළ යුත්තේ මේ සතුන්ට පැමිණෙන්නට සුදුසු පරිසරයක් ගෙවත්තේ නිර්මාණය කිරීමයි.

කුරුලු පැටවුන්ට පමණක් නොව ලේන් පැටවුන්ටත් සිත් සේ ආහාර බුදින්නට, පැන් පවස නිවාගන්නට, හිතූ හැටියට ජල ක්‍රීඩා කරන්නට හැකි අන්දමට මෙවැනි නිර්මාණ කිහිපයක් ඔබේ ගෙමිදුලටත් එකතු කරගත හැකි නම් එය කොයිතරම් නම් වටිනවද?

ගස්වල කඳන් කොටස් හාරා ඒවායින් තනාගත් පුංචි නිවාස, ලීයෙන් තැනූ හැඩකාර පුංචි ගෙවල්, පොල් කටු, වීදුරු බඳුන්, ප්ලාස්ටික් බඳුන් ආදිය මේ ආකාරයට ඔබේ ගෙඋයනේ ශාකවල හෝ වෙනත් ස්ථානවල රැඳවිය හැකිය.

ඊට අමතරව වී, කවුපි, මුං, කඩල කුරක්කන්, සහල්, තල වැනි ධාන්‍ය වර්ග ද මේවා තුළ පුරවා තැබීම මගින් කුරුල්ලන්ට හෝ ලේනුන්ට පහසුවෙන් ළඟාවී ඒවා ආහාරයට ගැනීමට පුළුවනි. එමෙන්ම විවිධ ආකාරයට දිය බඳුන් මෙලෙස ගෙමිදුලේ තැන් තැන්වල තැබීම මගින් ද ඔවුන්ගේ ජල අවශ්‍යතාව සංසිඳුවා ගත හැකිය.

සාමාන්‍යයෙන් මෙවැනි නිර්මාණයක් සකස් කිරීමේ දී කුරුල්ලන්ට හෝ වෙනත් සතෙකුට පහසුවෙන් එහි රැඳී සිටීමට හැකි ආකාරයේ රඳවනයක් සවි කිරීමටත් අමතක කරන්න එපා . ඒ වාගේම මෙවැන්නක් සවි කිරිමේ දී එහි ආහාර ගැනීමට හෝ දියබීමට පැමිණෙන සතුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අප සිතිය යුතු වෙනවා. විශේෂයෙන්ම පුංචි කුරුලු පැටවුන්, ලේන් පැටවුන් දඩයම් කිරීමට මාන බලනා ඔබේ නිවෙසේ සුරතලයට ඇති කරන පූසන්, බල්ලන් ආදී සතුන්ට පහසුවෙන් ළඟා වීමට බැරි ආකාරයට සවි කිරීමටත් වගබලා ගන්න.

එසේම ආහාර බඳුන්, විශේෂයෙන් ජල බඳුන්වල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි බැවින් ඒවා නිරතුරුවම නිරීක්ෂණයකර ජලය අලුත් කරන්නටත් අමතක කරන්න එපා.

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි