සිත නිවා පහන් කරවන බුදු කුටියකට නිර්මාණාත්මක අදහසක්

පෙබරවාරි 3, 2021

බෞද්ධාගමික සෑම නිවෙසකම පාහේ බුදුන් වහන්සේ වන්දනාමාන කරන ස්ථානයක් හෝ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ. විශේෂයෙන්ම වැඩිහිටියන් සහ කුඩා දරුවන් සිටින නිවෙසක නම් උදේ, සවස නොකඩවාම මල්, පහන්, හඳුන්කූරු පූජා කොට තෙරුවන් නැමදීම සිදු කෙරේ. එලෙස මල්, පහන් පුජා නොකළද විදුලි පහනක් හෝ දැල්වූ බුද්ධ ප්‍රතිමාවක් නොමැති බෞද්ධ නිවෙසක් නැතිතරම්.

අතීතයේ දී නම් මෙලෙස වන්දනාමාන සඳහා ගෙතුළ හෝ නිවෙසින් පිටත අනිවාර්යයෙන්ම බුදු කුටියක් නිමවූ අතර පසු කලෙක එය නිවෙස තුළ එක් පුංචි ස්ථානයකට පමණක් සීමා විය. නමුත් වර්තමානයේ නව නිවෙස් ගොඩනැඟීමේ දී තරමක් විශාල බුද්ධ ප්‍රතිමාවක් මෙන්ම ඒ සඳහා සුවිශේෂී ස්ථානයක් වෙන් කිරීමටත් අමතක නොකරති. විශේෂයෙන් නිදහසේ වන්දනාවේ යෙදෙන්නට, භාවනාවකට සමවැදෙන්නට ඉඩකඩ සහිතව එය නිර්මාණය කරන අතර එමඟින් නිවැසියන්ගේ සිත්වලට මහත් සහන් සුවයක්, සැහැල්ලුවක් එක්කරනු ඇත. එමෙන්ම නිවෙසට ගොඩ වැදෙන අමුත්තකු වුවද පළමුව මෙවැනි පින්බර දසුනක නෙත ගැටෙන්නේ නම් ඔවුන්ගේ සිත් නිවී සැනසී යනු නොඅනුමානයි.

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි