වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ගෑස් ළිප මතම යැපෙන ක්‍රමයෙන් බැහැර වෙමු
වාස්තු විද්‍යාවයි ගෘහ නිර්මාණ තාක්ෂණයයි දෙක සමාන්තරව ගමන් කරන විෂයයන් දෙකකි. වාස්තු විද්‍යාවෙන් අප සලකා බලන්නේ ජ්‍යොතිෂ්‍ය විද්‍යානුකූලව නිවෙසක පිහිටීම සුබ අසුබ ඵල, ගෘහමූලිකයා හා පවුලේ සාමාජිකයන්ට බලපාන ආකාරයයි.
ඈත අතීතයේ රජ දවසේ පටන්ම වාස්තු විද්‍යාත්මක පිහිටීම හා ගෘහ නිර්මාණ තාක්ෂණය දෙක අප ඉතාම හොඳින් සංකලනය කර ගනිමින් තමයි සෑම කටයුත්තක්ම සිදු කළේ.
එලෙසින් සංකලනය වූ තාක්ෂණය වර්තමානය වන විට බොහෝ වෙනස් වෙලා. අපට පාරම්පරිකව උරුම වෙලා තිබුණු නිවෙසේ සැලසුම වෙනස් වෙලා අලුත් අංග එකතු වුණේ බටහිර ආභාෂයෙන්. බටහිර පන්නට හුරුවුණු අපේ ගෘහණියෝ මුළුතැන්ගෙය වෙනුවට පැන්ට්‍රියක් හදා ගන්න යොමු වුණේ තමුන්ගේ අවශ්‍යතාවය නිසාම නොවෙයි. තවත් නිර්මාණ සැලසුමක තිබුණු නිසා එය අනුකරණය කිරීමෙන්. මෙලෙසින් නවීකරණය වුණු මුළුතැන්ගෙයින් ළිප කියන සංකල්පය නැතිව ගියේ කාටත් හොරාමයි. හැබැයි මේ ළිප කියන සංකල්පය වාස්තු විද්‍යත්මක සාධක සමඟ සමීප සම්බන්ධතාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ නාගරික නිවෙසක මුළුතැන්ගෙයක් නොමැති වුණත් අනිවාර්යෙන් ගෑස් ළිපක් භාවිත කරනවා. ඔබ ගෑස් ළිපයක් හෝ දර ළිපක් භාවිතා කළත් එය ස්ථානගත කිරීමේදී වායු සංසරණය වෙන ආකාරය ගැන මුලින්ම සලකා බැලිය යුතුයි.
අතීතයේදී අපගේ නිවෙසක ළිප ස්ථානගත කරන්නේ නිවෙසේ පිහිටීම අනුව හොඳින්ම වාතය ලබෙන ස්ථානයකය. ළිපකට වැඩිපුර අලුත් වාතය පැමිණීම සිද්ධ වෙනවා කියන්නේ අප යොදා ගන්නා දහන පෝෂකයට අලුත් වාතය පැමිණීම නිසා කාබන් දහනය හොඳින්ම සිදුවී සාර්ථක දහනයක් සිදුවීමයි. එසේම දහනයෙන් අතුරුඵලයක් ලෙස ලැබෙන කාබන්ඩයොක්සයිඩ් එතැනින් ඉවත්කිරීමටත් පිටතින් පැමිණෙන අලුත් වාතයට හැකියාව ලැබෙනවා. මේ නිසා ළිපකින් මතුවන කාබන් අංශු ප්‍රමාණය අඩුවීමෙන් ළිපේ දැලි ගතිය අඩුවීම ඉබේම සිද්ධ වෙනවා. මෙයින් වාසි කිහිපයක්ම අපට ලැබෙන බව දන්නේ බොහොම අඩු ගෘහණියන් පිරිසක්. ඇත්තටම පූර්ණ දහනයක් තුළින් අපට වැයවෙන දර ප්‍රමාණය හෝ ගෑස් ප්‍රමාණය අඩුවෙනවා වගේම දැලි කුණු බැඳීමත් අඩුයි.
මේ සියලු වාස්තු විද්‍යාත්මක පදනමක් හෝ භෞතික විද්‍යාත්මක හේතුවක් නොදන්න ගෘහණියෝ නාගරීකරණය හමුවේ දර ළිප කියන සංකල්පයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා ගෑස් ළිපට පමණක් හුරු වුණේ නිරායාසයෙන්. සමහරවිට දර ටිකක් සොයා ගැනීම අපහසු වෙන්නේ බස්නාහිර පළාතේ අගනුවර ආසන්නයේ පිහිටි නගරවල පදිංචිකරුවන්ට විතරයි. කොළඹ නගරයෙන් පිටත ඕනෑම ප්‍රදේශක දර ටිකක් සොයා ගන්න අපට බැරිකමක් නැහැ. අඩුම වශයෙන් මුදලට හෝ දර මිටියක් මිලදී ගන්න හැකියාව තිබෙනවා. එසේම ගෙදරින් ඉවත්කරන පොල්කටු ටිකක් හරි මේ සඳහා යොදා ගන්න පුළුවන්.
නමුත් තමුන්ගේ පහසුවයි, කම්මැලිකමයි, පුහු මාන්නයයි කරපින්නා ගත්තු අපේ ගෘහණියෝ දර ළිපක් මුළුතැන්ගෙයක තිබීම මදිපුංචිකමක් ලෙස හිතනවා. අඩුම වශයෙන් තමුන්ගේ ගේ අවට වැටෙන පොල් අත්තක් ඇහිදගන්නත් කම්මැලි වෙලා. මේ කම්මැලිකමේ පරිමාව කොයිතරම් ද කියනවා නම් 2018 වසර වෙනවිට අපේ රටේ ගෑස් භාවිතය මෙට්ට්‍රික් ටොන් 441 ඉක්මවා ගිහින්. මේ ප්‍රමාණය වාර්ෂිකව වැඩිවෙනවා. මේ කම්මැලිකමයි සොබාදහමට එරෙහිවීමයි අප නොසිතූ ලෙසින් පුපුරා යන්න දැන් පටන් ගෙන තිබෙන්නේ මුළුතැන්ගෙයිමයි. සමහර රූපවාහිනී දර්ශන දකිනවිට අපට පුදුම සිතෙන තරමට ඉතා දුෂ්කර ඈත ගම්වල පවා ගෑස් ළිප් පුපුරා යන්නේ තරමක ප්රහේළිකාවක් ලෙසයි. ගෑස් සංයුතියේ ඇති වෙනස්වීම නිසා ගෑස් ළිප පුපුරා යෑම පිළිබද සමාජ මතය කුමක් වුණත් මේ ගැටලුවට අපට පහසුවෙන්ම විසඳුමක් තිබුණා. ඒ විසඳුමට නොගිය නිසා තමයි අද අප ගැටලු රැසකට මුහුණදීලා පිටරටින් ගෑස් ලැබෙනකම් බලාගෙන ඉන්නේ. පෝලිම්වල පැය ගණන් ගත කරන්න සිද්ධ වුණේ ඒ නිසයි.
Hybrid කුස්සිය
අපට මේ ගෑස් භාවිතය අඩු කිරීමට විකල්ප කිහිපයක් තිබෙනවා. ඒ විකල්ප හැමදාම පාවිච්චි කළොත් අපේ රටේ ගෑස් භාවිතයෙන් 50% අඩු කරන්න පුළුවන්. ඒ වගේම හදිසියකදි ගෑස් ටැංකිය හිස් වුණත් කලබලෙන් රට වටේ දුවන්න වෙන්නෙත් නැහැ. මේ සඳහා හොඳම විසඳුම තමයි අපට උරුම හෙළ විද්‍යාත්මක දායාදය. මේ සඳහා අපට හොඳින් දහනය වෙන කුඩා දර ළිපක් භාවිතා කළ හැකි ක්‍රමයක් අප නිවෙසක් තැනීමේ මුල් අධියරේදීම භාවිත කළ යුතුයි.
ඔබ නිවෙසක් ගම්බදව හෝ නාගරිකව නිර්මාණ්ණය කළත් පැන්ට්‍රියක් එක් කිරීම අනිවාර්ය අංගයකි. එසේ සකස් කරන පැන්ට්‍රියට කුඩා දර ළිපක් ද යොදා ගැනීමටත් එහි ලස්සනට කිසිම හානියක් නොවෙයි. නැතිනම් එසේ සකස් කරන දර ළිප සහිත සීමාව වෙන්කර දුම්වාතය හොඳින් පිටවන ක්‍රමයක් තමුන් විසින්ම නිර්මාණය කර ගැනීමෙන් මෙයට විසදුමක් ලැබෙයි.
වරලත් ගොඩනැගිලි තාක්ෂණ ඉංජිනේරු හා වාස්තු ශාස්ත්‍රඥ
නෙවිල් සෙනරවිරත්න