අරපිරිමැස්මෙන් පාවිච්චි කර විදුලි අර්බුදයෙන් ගොඩ එමු

පෙබරවාරි 14, 2022

ඉතිහාසය තුළ මුහුණ නොදුන් අන්දමේ අර්බූද රැසකට අප මුහුණ දෙමින් සිටිනවා. ඒ අතරින් ඉදිරියටම පැමිණ තිබෙන්නේ විදුලිය අර්බූදයයි. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළත්, මෙය කළමනාකරණය කර ගැනීමට සහාය දීමේ යුතුකම පක්ෂ, විපක්ෂ, රටවැසි සමස්තයටම තිබෙනවා.

ආණ්ඩුවේ අවසන් විකල්පය තමයි විදුලිය කප්පාදුව. නමුත් අපහසුවට පත්වන්නේ අපි. ඒ නිසා වගකීමෙන් කටයුතු කර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කර, පරිභෝජන කාලය දීර්ඝ කර ගැනීමට අපි සැවොම එකාවන්ව කැපවිය යුතුයි.

විදුලිය පාරිභෝගිකයන් හැටියට මේ සම්බන්ධයෙන් කළ හැකි බොහෝ දෑ අපිට තියෙනවා. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ‘ගෘහණියගේ දැනුම් පොත‘ තුළින් සිදු කරනු ලැබුවා.

යළි සිහි කැඳවීමට අදහස් කළේ මේ කාරණයේ තිබෙන වැදගත්කම නිසාමයි.

හැමෝගෙම වාගෙ ඔළුවෙ වැඩ කරන්නේ ‘ජල විදුලිය‘ ගැන.

ඉහළ යන විදුලිය පරිභෝජනයත් එක්ක එය තවදුරටත් ගැලවුම්කරුවා නොවෙයි. ඩීසල් සහ ගල් අඟුරු බලාගාරත් අර්බුදයකට ලක්වී තිබෙන්නේ ඩොලර් හිඟයේ ප්‍රතිඵලයක් ලෙසටයි. මේ තීරණාත්මක අවස්ථාවෙ ඔබට,‍ මට,‍ අපිට කළ හැකි බොහෝ දෑ තිබෙනවා.

ඒ සඳහා නිවෙස තුළින් වගේම පිටත සමාජයේදීත්,‍ රැකියා ස්ථානයේදීත් මෙය ක්‍රියාවට නැංවිය හැකියි. ‘කොහොමද පටන් ගන්නෙ...?‘ ඔබ හිතාවි. හරිම සරලයි.

“නිවෙසේ දැල්වෙන විදුලි පහන් (අනවශ්‍ය වේලාවට) නිවා දැමීමට කටයුතු කරන්න. නිවෙසින් පිටත පිරික්සුම් විදුලි පහන් (Serch Light) භාවිතය හැකි තරම් අවම කරන්න. විදුලිය බෙදා හැරීම සඳහා භාවිත කරන ප්ලග් අඩප්ටර් (විදුලි බුබුළක් සහිත) අනවශ්‍ය වේලාවලදී ප්ලග් බේස් එකේ ස්විචරයෙන්ම OFF කර තබන්න. සෑම විදුලි උපකරණයක්ම භාවිතයෙන් පසු ප්ලග් බේස් එකෙන් ගලවා ඉවත් කරන්න.

රූපවාහිනිය, පරිගණකය, ජංගම දුරකතන චාජර් මෙලෙස පැය විසිහතර පුරාම පූර්ණ විසන්ධි කිරීමකින් තොරව තබන උපකරණ බව නිසැකවම පෙන්වා දෙන්නට පුළුවන්. මෙමඟින් සිදුවන විදුලිය නාස්තිය (රට පුරා සමස්ත අගය) අති විශාලයි. මේ නිසා රූපවාහිනිය, කැසට් එක රිමෝට් එකෙන් පමණක් නිවා දමන්නේ නැතුව ප්ලග් එකෙන්ම ගලවා දමන්න. දිනපතා රෙදි මැදීම, විදුලි හීටර් භාවිතය නිසා වැයවන විදුලියත් පිරිමසා ගන්නට පුළුවන්.

විදුලි උදුන් භාවිතයෙන් නිවෙසේ සිදුකෙරෙන කටයුතු මේ දුෂ්කර අවස්ථාවේ පහසුවෙන් කපා දැමීමට පුළුවන්. මස්, මාළු, අයිස්ක්‍රීම් වැනි දෑ නොතිබේ නම් රාත්‍රී කාලයේ නින්දට පෙර ශීතකරණය විසන්ධි කර දැමීමටත් හැකියාව තිබෙනවා.

නිවෙසේදි කළහැකි විදුලිය පිරිමැසීමට අමතරව, සේවා ස්ථානයේදීත් ඔබට කළ හැකි දෑ බොහොමයි. අනවශ්‍ය පරිදි විදුලි පහන් භාවිතය, විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර පරිහරණය අවම කිරීම (මෙය නිවෙස් සඳහාත් පොදුයි) ගොඩනැගිලි අලංකාර කිරීමට නෙක වර්ණ විදුලි බුබුළු ලක්ෂ ගණනක් රාත්‍රී කාලයේ දි රට පුරා දැල්වෙනවා.

මෙය නම් උත්සව අවස්ථාවකට පමණක් දිනකට දෙකකට පමණක් සීමා කිරීමත්, විදුලි බුබුළු ප්‍රමාණය අඩු කිරීමත් පහසුවෙන් කළ හැකියි. රජයේ හා පෞද්ගලික ආයතනවල විදුලි සෝපාන බහුල වශයෙන් දක්නට ලැබෙනවා. එය අධික විදුලිය පිරිවැයක් සහිත කාරණාවක්.

වියපත් සහ ආබාධ සහිත වූවන්ට හැර අනෙකුත් සාතිශය බහුතරයක් දෙනාට විදුලි සෝපානය පිටු දකින්නට පුළුවන්. පියගැට පෙළ භාවිතය ඔබගේ ශරීර සෞඛ්‍යයටත් විශාල පිටිවහලක් වේවි. වැඩි දෙනෙකුගේ තියෙන ආකල්පය තමයි

‘අපේ නෙමෙයිනෙ... ඉතින් කාගෙවත් ලයිට් බිල් වැඩි වුණාට අපිට මොකද?‘ දෙයියන්ගේ නාමයෙන් එහෙම හිතන්නට එපා.

මේ වගේම පිටත සමාජයේත් අපිට කළ හැකි බොහෝ දේ තිබෙනවා. කිසි කෙනකුගේ අවධානයක් නොමැතිව මහ දවාලේදිත් දැල්වෙන වීදි ලාම්පු රට පුරා කොපමණ තිබෙනවාද? නිසි ලෙස වසා නොදැමුණු පොදු ජල කරාමවලින් කොතරම් ජලය අපතේ යනවාද? දැන් ඔබ ‘ජල නාස්තිය සහ විදුලිය අරපිරිමැස්ම අතර සම්බන්ධය කුමක්දැ‘යි අසාවි.

ඔබ දන්නවනෙ ජල පිරි පහදුව කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් බව. ඒ සඳහාත් විශාල විදුලිය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරනවා කියන්නේ විදුලියත් පිරිමහනවා කියන එකම තමයි.

වීදි පහනක් දැල්වෙනවානම් අනවශ්‍ය වේලාවක දී නොවරදවාම නිවා දමන්න. එවැනි ජල කරාමයක් වෙත්නම් වසා දමන්න.

මේ ආකාරයට බැලුවාම විදුලිය අරපිරිමැස්ම සම්බන්ධයෙන් අපිට කළ හැකි දෑ බොහොමයි. එය අඛණ්ඩ පුරුද්දක් ප්‍රතිපත්තියක් බවට පත්කර ගැනීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි දුෂ්කරතා අවම කර ගැනීමටත් හැකි වේවි.