ජනප්‍රියත්වයෙන් ඉහළ දුඹුරු පැහැති ඇන්තූරියම්

මැයි 23, 2022

 

පැහැයෙන් කළු වුවත් සුන්දරත්වයෙන් අඩුවක් නැති කළු පාට ඇන්තූරියම් පිළිබඳ දැන් ඔබ දන්නවා. තායිලන්තයෙන් ආනයනය කරන ලද ඇන්තූරියම් අපේ රටේ දී හඳුන්වන්නේ තායිලන්තයේ අගනුවර වූ බැංකොක්වල නමිනි.

නෙදර්ලන්තයෙන් ආනයනය කරන ඇන්තූරියම්වලටත් වඩා වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගෙන හිඳින්නේ මේ බැංකොක් ඇන්තූරියම්ය.

කළු වර්ණයට අමතරව බ්‍රවුන් කලර් එනම් දුඹුරු පැහැති මල් සහිත බැංකොක් ඇන්තූරියම් ද ඇත. ලංකාවේ වගාකරුවන් අතර සුවිශේෂී මිලකට අලෙවි වන දුඹුරු වර්ණ ඇන්තූරියම් ද වර්ග රැසකි. නම් වශයෙන් කැනඩා බ්‍රවුන්, ඇන්තදීසියා බ්‍රවුන්, කින්ග් බ්‍රවුන්, සෙම්ප්‍රි, ඔටාසු, ඇරමන් ආදිය දැක්විය හැකියි. මේ වර්ගවල මව් ශාක මිල ගණන් ද රුපියල් 2500 සිට ඉහළට යන අතර කුඩා පැළ රුපියල් 500 සිට (විශාලත්වය අනුව මිල ගණන් වෙනස් වේ.) දැකගත හැකියි. සෙම්ප්‍රි යනු ප්‍රමාණයෙන් විශාල මලකි. මේ ශාකයේ පත්‍ර ද ප්‍රමාණයෙන් විශාලය. අලංකාරයෙන් අනූන ලොකු මල් නිසාම දුඹුරු පැහැති සෙම්ප්‍රි වටිනාකමින් ඉහළය. කැනඩා බ්‍රවුන් මල ප්‍රමාණයෙන් තරමක් කුඩාය. එය කින්ග් බ්‍රවුන් මලට සමානය. එහෙත් මේ මල් දෙකේ වර්ණ එකිනෙකට වෙනස්ය.

කැනඩා බ්‍රවුන් මල තැඹිලි පැහැය මිශ්‍ර ළා දුඹුරු පැහැයක් ගන්නා අතර දීප්තිමත්ය. කින්ග් බ්‍රවුන් මල රෝස පැහැය මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී. මේ දෙවර්ගයේම ශාක පත්‍ර තරමක් විශාලය. ඇන්තදීසියා ඇන්තූරියම් අතර දුඹුරු, රෝස, කොළ යන වර්ණ තුන ප්‍රධානය. දුඹුරු වර්ණ පවුලට නෑකම් කියන ඇන්තදීසියා බ්‍රවුන් මලේ වර්ණය කැනඩා බ්‍රවුන් මලේ වර්ණයට සමානත්වයක් දක්වයි. එහෙත් මේ මල් දෙකේ හැඩය වෙනස්ය. එමෙන්ම ඇන්තදීසියා බ්‍රවුන් ශාකයේ පත්‍ර කළු පැහැයට හුරු කොළ පැහැයක් ගනී. එම ශාක පත්‍ර ප්‍රමාණයෙන් කුඩාය.

ඇරමන් හා ඔටාසු රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නා මල් වර්ග දෙකකි. මේ දෙවර්ගයේ ම මල් ප්‍රමාණයෙන් මධ්‍යස්ථය. එනම් විශාලත් නැත. කුඩාත් නැත. එහෙත් ඔටාසු පැළයේ පත්‍ර ඇරමන් ශාකයේ පත්‍රවලට වඩා විශාලය. ලාංකික වගාකරුවන් දුඹුරු වර්ණ මල් පරාගනයෙන් තවත් වර්ග රැසක් බිහිකරගෙන ඇත. මේ මල් හඳුන්වන්නේ දුඹුරු සීඩ් ප්ලාන්ට් ලෙසය. දුඹුරු වර්ණයේ ශිබෝරි වර්ග ද බිහිකරගෙන ඇත. මේ ශිබෝරි පැළ මිලෙන් අධිකය.

උපදෙස් - මාතලේ යෝ ෆල්වර්ස් හි

යොහාන් මීගහගේ