අත හෙල්ලුවොත් පමණක් කුස පුරවා ගන්නට හැකි වේවි

මැයි 23, 2022

 

අප ඉදිරියේ පවතින අවදානම බොහෝ දෙනා තවමත් හරි හැටි හඳුනාගෙන නැහැ. මහ පොළොවේ එක බිම් අඟලක්වත් මුඩු වෙන්න නොදී වගා කිරීම අත්‍යවශ්‍යයි. ඉවතලන දඬු කැබැල්ලක් දලුලන්න තරම් සාරවත් පසක් තියෙන රටේ, වසරේ තුන්සිය හැටපස් දවසේම ඉරපායන, වර්ෂාව ලොකු හිඟයක් නැති රටේ ඉඩම් මුඩු වෙන්න හැරීම, කුඹුරු පුරන් වෙන්න හැරීම තරම් අපරාධයක් තවත් නැහැ.

 

අල බතල ටිකක් වවාගෙන අපතේ යන කොස්, දෙල්වලින් උපරිම ප්‍රයෝජනයක් ගත යුතුයි. අඩුම ගණනේ ඒවායින් එක වේලක් හෝ පිරිමසා ගැනීම වැඩි දෙනකුට පහසුවෙන් කරන්න හැකියි. අවබෝධ කරගන්න... අරපිරිමැස්ම කියන්නේ කුම්මැහිකමට නොවෙයි. ඒ දෙක සපුරාම වෙනස්. නිකමට හිතලා බලන්න මීට දශක තුන හතරකට පෙර තිබුණු ආහාර සංරක්ෂණ කලාව... අටුකොස්, වැලිකොස් ඇට, අටු දෙල් මොනතරම් පිහිටක් වුණාද අවාරයට. මේ දේවල් නොකළොත් එදා වේල කන්න බැරි වෙන තත්ත්වයක් වැඩි දෙනෙකුට උදාවීම නිසැකයි.

ගෙවත්තේ වගා කිරීමේ දී හිතන්න ඕන පැති කීපයක් තියෙනවා. ඒවා ප්‍රායෝගිකව කළ හැකිද කියන කාරණය තීරණය වෙන්නේ ගෙවත්තේ ප්‍රමාණය මත. දැන් අපි බලමු ගෙවත්තක වගා කරන්න පුළුවන් මොනවාද කියලා.

01. එළවළු වර්ග

02. පලා වර්ග

03. රසකාරක භෝග

04. පලතුරු

05. අල භෝග

06. ඖෂධීය ශාක

07. දැව ශාක

ප්‍රධාන අංග හත තමයි මේ. තවත් එහාට යනවා නම් සත්ත්ව පාලනය ගන්න පුළුවන්. එතැනදී

01. කුකුළු පාලනය

02. වටු කුරුලු පාලනය

03. කිරි එළදෙනුන් ඇති කිරීම

04. එළුවන් ඇති කිරීම

05. කළුකුම් පාලනය

ආදිය මූලික වෙනවා.

සත්ත්ව පාලනයේ ඇති විශේෂම වාසිය තමයි ඉතා උසස් තත්ත්වයේ කාබනික පොහොර නොමිලයේම ලබා ගැනීමට හැකිවීම. ගව පාලනයේ යෙදෙන අයට තවත් සුවිශේෂී වාසියක් අත්වෙනවා. ඔබට යන්න පුළුවන් ජීව වායු ඒකකයකට. එමඟින් ඉවුම් පිහුම් විතරක් නෙමෙයි, ආලෝකයත් ලබා ගන්න පුළුවන්. මේ පිළිබඳ විධිමත් අවබෝධයක් ගන්නනම් ඔබ යායුතු තැන තමයි ජාඇල, ඒකල කාර්මික ජනපදයේ පිහිටා තිබෙන 'නර්ඩ් ආයතනයේ කාර්මික නව නිපැයුම් උද්‍යානය'.

ජීව වායු ඒකකයක් සඳහා මූලිකව අවශ්‍ය වෙන්නේ ගොම සහ පිදුරු. මාස 5 - 6ත් අතර කාලයක් ගෑස් ලබා ගන්න පුළුවන්. අනතුරුව ඉතිරිවන්නේ කාබනික පොහොර කන්දරාවක්. එමඟින් වෙළෙඳපොළ නිෂ්පාදනයකට යාමේ හැකියාවත් ඔබට ලැබෙනවා. ඉන් පස්සේ යළිත් අමුද්‍රව්‍ය පිරවීමෙන් පසු යළිත් ගෑස් ලබාගන්නට පුළුවන්.

මේ හැම කරුණක් ගැනම ඉදිරියේ දී වෙන් වශයෙන් විස්තරාත්මකව කතා කරමු. ආයෙමත් කියන්නම් අවධාරණයෙන්... ගත වෙමින් පවතින්නේ සහ ඉදිරියට එළැඹෙන්නේ, තමන්ගේ උත්සාහයෙන් තමන් වවාගතහොත් කුස පුරවාගත හැකි කාලයක්. ඒ කියන්නේ අත හෙල්ලුවොත් පමණක් කට හොල්ලන්න පුළුවන් කාලයක්. ඒ නිසා තමන්ට හැකි අයුරින් වවන්නට උත්සාහ ගනිමු.