නිවෙසේ පිළිවෙළ රකින්න ගබඩා කාමරයක් හදන්න

මැයි 30, 2022

 

සිතට සැනසීම ගෙන දෙන නිවහනක අනිවාර්යයෙන් ම තිබිය යුතු වන්නේ පිරිසුදුකම සහ පිළිවෙළයි. නවීන පන්නයේ නිවාස සැලසුමක මෙන්ම සාමාන්‍ය නිවෙසක වුව ගබඩා කාමරයක් කියන්නෙ ම සෙසු තැන්වල පිළිවෙළ උපරිමයෙන් ම ආරක්ෂා කරන තැනකි.

 

නිවෙසක ගබඩා කාමර එකක් හෝ කිහිපයක් තිබෙන්නටත් පුළුවනි. ඇතැම් විට ගබඩා කාමරයක් ලෙසට ම වෙන් නොවුවත් නිවෙසේ සෑම කොටසකම කබඩ් ගසා වෙන්කොට ඇති තැන් ඒ ඒ දේවල් ගබඩා කර ඇති තැන් වෙන්න පුළුවනි.

 

වෘත්තිමය ජීවිතය, විවේකය ගත කරන අන්දම අනුව

ගබඩා කාමරයක අවශ්‍යතාව එම නිවෙසේ වෙසෙන සාමාජිකයන් අනුව, ඔවුන්ගේ වෘත්තිමය ජීවිතය අනුව, විවේකය ගත කරන අන්දම අනුව වෙනස් විය හැකියි. අපි හිතමු වත්තේ පිටියේ ඇති පුංචිම ඉඩකඩක හෝ ගහක්, කොළක්, මලක් වවා ගන්නට කැමැති කෙනකුගේ නිවෙසක නිසැකවම උදැල්ලක්, පොරවක්, රේක්කයක්, අලවංගුවක්, මල් බාල්දියක්, අත් මුල්ලුවක්... මේ ආදී දේ තිබෙන්නට පුළුවනි. වාහනයක් ඇති නිවෙසක වැඩිපුර ටයර් ආදිය තිබෙන්නත් පුළුවනි. ඉතිං මේ දේවල් පිටතට පෙනෙන පරිදි නොව ගබඩා කාමරයක ගබඩා කරන්නට ඇත්නම්... මෙවැනි අවශ්‍යතා සපුරාලන ගබඩා කාමරයක් නිසැකවම ස්ථානගත විය යුතු වන්නේ ගරාජයේ එහෙමත් නැත්නම් මුළුතැන්ගෙය අසලයි.

ගබඩා කාමරයක සැලසුමක්, හැම විටම ගබඩා කරන්නට අවශ්‍ය වන්නේ මොනවාද? ඒ සඳහා වැය කළ හැකි ඉඩකඩ කොපමණ වේද? වැනි කාරණා මත වෙනස් වේ.

 

මහල් දෙකක් ඇතිවිට ගබඩා කාමර දෙකක්

එසේම මහල් දෙකක් ඇති නිවෙසක මහල් දෙකේම වුව කුඩා ගබඩා කාමරය බැගින් තිබෙන්නට පුළුවන.

රෙදි සේදීමේ කාමරය හෙවත් utility room ද එක්තරා ලෙසක ගබඩා කාමරයකි. roof top එකක් ඇති නිවෙසක utility room එක එහිම ස්ථානගත කළ හැකියි.

ගබඩා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා රාක්ක, කබඩ් ගසා ගැනීම කළ හැකියි.

නිවෙසේ නිදන කාමරයක පැත්තක් ඉහළ සිට පහළටම දොර වැසිය හැකි කබඩ් ගසා ගැනීම, නාන කාමරයේ කබඩ් ගසා තිබීම, මුළුතැන්ගෙයි නිතර පාවිච්චියට නොගන්නා හා වැඩිපුර ඇති වියළි ආහාර වුව ගබඩා කිරීමට කොනකින් කබඩ් එකක් ගසා ගැනීම ආදිය කෙරෙන් දක්නට ලැබෙන්නෙත් ගබඩා කිරීමේ සංකල්පය ක්‍රියාවට නැඟීමකි.

නිවෙසේ පඩිපෙළක් යට සූක්ෂම ලෙස ගබඩා කාමරයක් නිමවිය හැකියි. මෙය ඉඩකඩින් ප්‍රයෝජන ගත හැකි හොඳම අවස්ථාවකි. මෙවැනි තැනක ස්ථානගත කරනා ගබඩා කාමරයක දොර එහා මෙහා තල්ලු කළ හැකි පරිදි Sliding Door එකක් ලෙස සැකසීම වඩාත් ප්‍රායෝගික වේවි.

ගබඩා කාමරයක ඉඩකඩින් උපරිම ඵල නෙළා ගන්නට නම් හැකි තරම් බිම අවකාශයන්ට වඩා බිත්තිවල අවකාශයන්ගෙන් ප්‍රයෝජන ගත යුතුයි.

කුඩා බිම් පෙදෙසක ඉදිවූ නිවෙසක් නම් ඔබට ඇත්තේ, ගබඩා කාමරයක් ස්ථානගත කරගන්නට නොහැකිව ළතැවන්නට එපා. ඉහත පරිදි බිත්තිවල ඇති ඉඩෙන් ප්‍රයෝජනයක් ගන්නට මුළු බිත්තියේම උසින් ප්‍රයෝජනයට ගෙන කබඩ් ගසා ගන්නේ නම් අකුළා තැබිය හැකි ඉණිමඟක් එහිම තබන්න. ඉඳහිට පාවිච්චියට ගන්නා දෑ ඉහළින්ම තැබීමටත් ඒවා ප්‍රයෝජනයට ගනිද්දී පිටතට ලබා ගැනීමට ඉණිමඟ භාවිතයට ගන්න.

බොහෝවිට මෙලෙස ගසා ගන්නා බිත්ති කබඩ්වල ඇතුළත ළා පැහැයන්ගෙන් යුතු වර්ණ භාවිත කරන්න. අඳුරු වටපිටාවක කෘමි සතුන්, මීයන් ආදිය පහසුවෙන් ම සැඟව සිටීවි. පිටත බිත්ති සහ පොළොවට තරමක් තද වර්ණ භාවිත කළ හැකියි.

 

ලැයිස්තුගත කිරීම

ගබඩා කරන දේවල් ලැයිස්තුගත කර තිබීම ඉතාම වැදගත් වේ. එසේ නොමැති නම් මේ මේ දේවල් තිබුයේ කොතැනකදැයි සොයාගත නොහැකි වේවි. අවශ්‍යතාව ඇති මොහොතේ එය භාවිතයට ගැනීමට ඇති ඉඩකඩ ඇහිරී යාවි. උදාහරණයක් ලෙස ජාතික කොඩි, බෞද්ධ කොඩි ඇතුළුව වෙසක් සැරසිලි, උපන්දින උත්සවවලදී ගන්නා සැරසිලි ආදිය ඒ ඒ පරිදි වර්ග කොට නම් ගසා අසුරා නොතැබුවහොත් තිබූ තැන අමතක වී යාවි. අවශ්‍යතාව පහවනතුරුම ගබඩා කොට තිබූ දෑ සොයා ගත නොහැකි වේවි.

ගබඩා කාමරයක ඇසිරීම් සඳහා කබඩ් ඇතුළට තැබීමට වුවත් ප්ලාස්ටික් පෙට්ටි ඇත්නම් වඩාත් ප්‍රායෝගික වේවි. මේවා තුළට කොහෙත්ම කෘමි සතුන්ට යෑමට ඉඩකඩ නැත. මේවා වෙතින් අලංකාරයක්, පිළිවෙළක් ද දිස් වේවි. විවිධ ප්‍රමාණයන්ගෙන් ඇසිරීම් සඳහාම වන ප්ලාස්ටික් පෙට්ටි තිබේ. ඒවා ඇතුළත ගබඩා කර ඇත්තේ මොනවාදැයි කොළයක සටහන් කර එහිම අලවා තබන්න. වේවැල් කූඩ ආදියෙන් ලස්සනට, පිළිවෙළට බඩුභාණ්ඩ අසුරා තැබිය හැකියි. එසේ නොමැති විට විකල්පයක් වශයෙන් කාඩ්බෝඩ් පෙට්ටි භාවිත කළ හැකියි.

දරුවන්ගේ වැඩිපුර ඇති අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, මකන ආදි ලිපි ද්‍රව්‍යන් තැබිය යුතු වන්නේ ගබඩාවකයි.

ගබඩා කළ යුතු යැයි හැඟෙන සියල්ල තමාට ම ආවේණික ක්‍රමවේදයකට යටත් වෙමින් ගබඩාකර තබන්න. ඒ සඳහා ඉඩකඩ වෙන් කරවා ගැනීම, අංගෝපාංග ලබා ගැනීම, අලංකාරවත්ව ගබඩා කිරීම ආදිය තම තමන්ගේ පිළිවෙළ අනුව කරගත යුතු වූවකි.

ගබඩා කාමරයක් සඳහා තවමත් ඔබේ නිවෙසේ ඉඩකඩක් වෙන් නොවුණි නම් අදම ඒ සඳහා ක්‍රියාත්මක වන්න. අතේ මුදල් ටිකක් ඉතිරි කරගත් පසු ටිකෙන් ටික කබඩ් කිහිපයක් ගසා ගන්න. හිස් අවකාශයක් ඇති බිත්තිවලින් මේ සඳහා ඉඩක් වෙන්කරගන්න.

ඒ ඒ දේවල් ඒ ඒ අන්දමින් පිළිවෙළකට අසුරා තැබීමෙන් ඔබේ නිවහන පමණක් නොව මුළු ජීවිතයටම කෙතරම් පිළිවෙලක් ළඟා කරගත හැකි දැයි කියා බලන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනි

ආචාර්ය දිලිනි හල්විටිගල