මුළු ගෙදරම හැඩකරන්න ජෙරේනියම් මෙහෙම වවමු

ජනවාරි 2, 2023

 

බීජ මඟින් මෙන්ම අතු කැබලි මාර්ගයෙන් ද ජෙරේනියම් බෝ කරගත හැකිය. මල් පිපී අවසන් වූ පසුව හටගන්නා කරල් වියළා බීජ ලබා ගත යුතුය.

සොඳුරු වර්ණ රටා සහිත මලින් පිරෙන ප්‍රභේද අතර "රෙඩ් ජෙරේනියම්" යනු වැඩි ඉල්ලුමක් සහිත ප්‍රභේදයකි. අලංකාර රතු පැහැති මල් එහි දැකිය හැකියි.

වර්ෂය පුරාවටම ගෙමිදුල මලින් පුරවනා ශාක ඇත්නම් ඒ ඉතාමත් අතළොස්සකි. මන්ද බොහොමයක් ශාක වසරේ විවිධ වකවානුවලදී මලින් බරවන නමුදු නියමිත කාලසීමාවක් තුළ මල් පිපී අවසන් වේ. නමුත් ජෙරේනියම් පඳුරක් දෙකක් ඔබේ ගෙමිදුලට කැඳවන්නට කැමැති නම් වසර පුරාවටම නොව වසර කිහිපයක් එක දිගට සොඳුරු මල් යායක අසිරිය විඳ ගැනීමට හැකි වේවි.

 

ජෙරේනියම් යනු විදෙස් රටවලින් මෙරටට පැමිණි ශාකයකි. ලංකාවට පැමිණි මුල් කාලයේ දී ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල පමණක් සරුවට වැඩුණු මේ ජෙරේනියම් වර්තමානය වනවිට ලංකාව පුරාම පැතිරී තිබෙනු දැකිය හැකියි. පැරැණි වර්ගවලට අමතරව නව දෙමුහුන් ප්‍රභේද ගණනාවක්ම දැනට මල් වෙළෙඳපොළ තුළ දැකිය හැකි අතර ඒවායේ පිපෙන මල්වල පැහැය, හැඩය හා ප්‍රමාණවල වෙනස්කම් සහිතය. ඊට අමතරව තරමක් විශාල මල් මෙන්ම කුඩා මල් සහිත ජෙරේනියම් ප්‍රභේද ඇති අතර වගා කරන ස්ථාන අනුව තෝරා ගත හැකි ප්‍රභේද ද වේ.

 

සුවඳ හමන මල්

එමෙන්ම ඇතැම් ජෙරේනියම් වර්ගවලින් මනස්කාන්ත සුවඳක් ද වහනය වේ.

 ක්‍රිස්පම් ලෙමන් සෙන්ට් ජෙරේනියම්

 ග්‍රැවියෝ රෝස් සෙන්ට් ජෙරේනියම්

යනු එවැනි සුවඳවත් ප්‍රභේද දෙකකි.

 

අපූර්ව වර්ණ රටා

සොඳුරු වර්ණ රටා සහිත මලින් පිරෙන ප්‍රභේද අතර "රෙඩ් ජෙරේනියම්" යනු වැඩි ඉල්ලුමක් සහිත ප්‍රභේදයකි. අලංකාර රතු පැහැති මල් එහි දැකිය හැකියි. "ඩාර්ක් පින්ක් ජෙරේනියම්" යනු තද රෝස පැහැයෙන් මල් හට ගන්නා ප්‍රභේදයයිි.

 

දැකුම්කලු පෙනුම

වගා කරන ස්ථානය අනුව වෙනස්වන ජෙරේනියම් ප්‍රභේද ලෙස "අයිව් ජෙරේනියම්" ප්‍රභේදය හඳුන්වා දිය හැකිය. බඳුන්ගත කළ මේ අයිව් ජෙරේනියම් වහලයේ හෝ වැරැන්ඩාවේ එල්ලූ විට කදිම සුන්දරත්වයකින් දිස් වේ.

 

වගාව

සාමාන්‍යයෙන් හිරුඑළිය පතිතවන ස්ථානවල පාත්ති වශයෙන් මේ ජෙරේනියම් වගා කළ හැකියි. එහිදී අඩි 1 x 1 පරතරය ඇතිව පැළ සිටුවා ගත් විට පසුව මල් යායක සුන්දරත්වය ලබාගත හැකිය.

මේ ශාකය වසර දෙකක් පමණ එක දිගට බඳුන්ගතව තිබෙන විට වැඩීම බාල වී මල් හට ගැනීම ද අවම වේ. එවිට ශාකය කප්පාදුකර වගා මාධ්‍යය අලුත්කර හෝ පස බුරුල්කර පොහොර යෙදීමෙන් නැවුම් ශාකයක් ලෙසින් නැවතත් වර්ධනය කරගත හැකිය.

 

වගා මාධ්‍යය

 දිරාගිය කොළ රොඩු

කොටස් 1/2ක්

 මතුපිට පස් කොටස් 02ක්

 හළාගත් කොම්පෝස්ට්

කොටස් 01ක්

 

එකට මිශ්‍ර කිරීමෙන් වගා මාධ්‍යය සකසා ගත හැකියි. මේ මිශ්‍රණයෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබීමට නම් වියළි ගොම හෝ කොම්පෝස්ට් සාමාන්‍ය ප්‍රමාණයෙන් මිශ්‍ර කරන්න.

 

බෝ කිරීම

බීජ මඟින් මෙන්ම අතු කැබලි මාර්ගයෙන් ද ජෙරේනියම් බෝ කරගත හැකිය. මල් පිපී අවසන් වූ පසුව හටගන්නා කරල් වියළා බීජ ලබා ගත යුතුය. එම බීජ බඳුන්වල දමා ප්‍රොපගේටරයක් තුළ තබා පැළ කරගැනීම පහසුය. නමුත් බීජ පැළවලට වඩා ඉක්මනින් අතු කැබැලි සිටුවා සකසා ගන්නා පැළවල මල් පිපේ.

 

 

ජල සැපයුම

පැළ කුඩා කාලයේ දී ජෙරේනියම් ශාකයට ජලය සැපයිය යුත්තේ ඉතා පරෙස්සමෙනි. පැළයේ මල් වර්ධනය වී ශාකය ස්ථීර ශාකයක් බවට පත් වූ පසුව ජලය සාමාන්‍ය පරිදි යොදන්න. එමෙන්ම මුල් කාලයේ මේ පැළයට ජලය වැඩි වුවහොත් මුල් කුණු වීමට ලක් වී පැළය මියැදෙන බව සිහියේ තබාගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි