ගෙවත්තම හැඩකරන සුකොමළිය ජර්බෙරා

පෙබරවාරි 6, 2023

නෙත ගැටුණු පමාවෙන් නෙත සේම සිත ද එක සේ පිනායන මල් කුමාරියන් බොහෝමයි. ඒ අතරින් වර්තමානයේ ජර්බෙරා මලට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එහි නව ප්‍රභේද බොහොමයක් මේ වනවිට දැකිය හැකි නිසාය.

 

පැළ සිටුවීම

වෙළෙ‍ඳපොළෙන් මිලදී ගෙන හෝ හිතවතියකගෙන් තිළිණ ලබා හෝ ඔබේ ගෙමිදුලට රැගෙන ආ ජර්බෙරා කුමරිය නිසිලෙස සිටුවා ගැනීම ඉතා වැදගත්. මෙහිදී පඳුර තරමක් විශාලව තිබෙන්නේ නම් එය පස්වලින් ඉවත්කර ශාක කිහිපයකට වෙන් කරගන්න. එමඟින් නව පැළ කිහිපයක්ම ඔබට සකසා ගත හැකියි. එහිදී මැරුණු සහ වයස්ගත පත්‍ර ඉවත්කර සිටුවා ගන්නත් අමතක කරන්න එපා.

 

වගා මාධ්‍යය

* කොම්පෝස්ට් කොටස් 02ක්

* රතු පස් කොටස් 02ක්

* පුළුස්සාගත් දහයියා

කොටස් 01ක්

* වැලි කොටස් 01ක්

වශයෙන් ගෙන හොඳින් මිශ්‍රකර වගා මාධ්‍යය සකසා ගන්න. අනතුරුව මේ මිශ්‍රණයෙන් 2/3ක් පමණ වගා බඳුන පුරවා පැළය තබා නැවත වගා මිශ්‍රණය දමන්න. එහිදී වගා මිශ්‍රණය තද කිරීමෙන් වළකින්න.

අනතුරුව වගා මාධ්‍යය සහ ජර්බෙරා ශාක පත්‍ර තෙමී යන පරිද්දෙන් සුදුසු දිලීර නාශකයක් යොදන්න. පසුව මඳ සෙවණෙන් ශාක බඳුන් තබා නිදහසේ වැඩෙන්නට හරින්න.

 

මල් හටගැනීම

මාස 2 1/2ත් 03ත් අතර කාලයේ මල් කැකුළු මතුවෙමින් සුන්දර ජර්බෙරා පිපෙන්නට පටන් ගනියි. එවිට ද මේ මල් පඳුරේ තරමක් වයස්ගත මේරූ පත්‍ර ඉවත් කරන්න.

 

පොහොර

පළමුව ලබාදිය යුත්තේ නයිට්‍රජන් වැඩි පොහොරකි. පසුව පොස්පරස්, පොටෑසියම් අඩංගු දියර පොහොර හෝ ඇල්බට් සොලියුෂන් ද්‍රාවණය පත්‍ර තෙමී යන පරිදි වගා මාධ්‍යයට යොදන්න.

බීජ පරාගනය මඟින් ද ජර්බෙරා පැළ ලබාගත හැකියි. එවිට පැළ විශාල සංඛ්‍යාවක් එකවර සකසා ගත හැකිවේවි. එමෙන්ම දැනට වෙළෙඳපොළේ දැකිය හැකි දෙමුහුම් ජර්බෙරා ගුණාත්මක බවින් උසස් බව ද කිවයුතු වේ.

සාමාන්‍යයෙන් ජර්බෙරා ශාකයේ පැළ ඉක්මනින් හටගන්නා අතර එවිට බඳුන්ගත පැළ සංඛ්‍යාව වැඩි වේ. එම හේතුව නිසා වගා මාධ්‍යයේ පොහොර ප්‍රමාණය හිඟ වී මල් පිපීම අවම විය හැකියි. එබැවින් වැඩි පැළ ප්‍රමාණය නිසි කලට වෙනත් බඳුන්වලට මාරු කිරීමට අමතක නොකරන්න.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ

රංජිත් කළුආරච්චි