රෙදි ටික වොෂින් මැෂින් දාන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

අප්‍රේල් 3, 2023

 

තාක්ෂණයේ දියුණුව නිසා අපිට ලැබුණු ප්‍රයෝජනවත් ම උපකරණක් තමයි වොෂින් මැෂින් එක කියලා කියන්නේ. හැබැයි බොහෝ දෙනෙක් කරන චෝදනාවක් තමයි වොෂින් මැෂින් දැම්මම රෙදි සවුත්තු වෙනවා කියන කාරණය. ඉතින් ඒ ගැටලුව ඔබටත් තියෙනවා නම් මේ ලිපිය කියවලා බලන්නකෝ. වොෂින් මැෂින් එක පාවිච්චි කරලා රෙදි ටික බොහොම පරිස්සමට සෝදාගන්නේ කොහොමද කියලා අපි ඔබට කියලා දෙන්නම්.

 

ලේබල් එක කියවනව ද

 

හැම ඇඳුමකම නැතත් බොහෝ ඇඳුම්වල ලේබල් එකක් තියෙන විත්තිය ඔබ දන්නවා ඇති. ඒ ලේබල් එකේ සඳහන් කරලා තියෙනවා ඇඳුම ඩ්‍රයි ක්ලීන් කිරීම අත්‍යවශ්‍යයි ද, එහෙමත් නැත්තන් සාමාන්‍ය විදියට අතේ හෝ වොෂින් මැෂින් එකේ සෝදන්න පුළුවන්ද කියලා. සාමාන්‍යෙයන් අපි ඇඳුමක් මිලට ගත්තම අඳින්න කලින් සෝදනවනේ. ඉතින් ඔබට පුළුවන් ඔක්කෝටම කලින් ඇඳුමේ ලේබල් එක කියවලා බලලා ඒ අනුව ඇඳුම පිරිසිදු කරගන්න. මේ දේ පුරුද්දක් කරගත්තොත් නිකරුනේ ඇඳුම් නාස්ති වෙන එක වළක්වා ගන්න ඔබට හැකියාව ලැබේවි.

 

හොදන්න කලින් වෙන් කරන්න

 

ඔක්කොම ඇඳුම් කිසි තේරීමක් බැලීමක් නැතුව වොෂින් මැෂින් දානවා නම්, ඇඳුම් සවුත්තු වෙන එක කියන්නත් දෙයක් නෙවෙයි. අන්න ඒ නිසයි රෙදි ටික සෝදන්න කලින් වෙන් කරලා washing machine දැමීම අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම, සේදීමේදී ඩයි ඉවත්වෙන ඇඳුම්, ළා පැහැති ඇඳුම්, දීප්තිමත් වර්ණවල සහ තද පැහැති ඇඳුම්, සුදු පැහැති ඇඳුම්,  ෆැබ්රික් වර්ගයේ ඇඳුම්, ඇඳුම් කිළිටි වී ඇති තරම වගේ කරුණු සලකලා බලලා ඇඳුම් වෙන් කරලා සෝදනවා නම් ඔබේ වටිනා කියන ඇඳුම් ප්‍රවේශම් කරගැනීම එතරම් අපහසු වෙන්නේ නැහැ. 

 

Detergent වර්ගය මොකක් ද

 

Powder, liquid කියලා detergent වර්ග දෙකෙන් කුමන වර්ගයක් යෙදුවත් ඒවායින් සුළු ප්‍රමාණයක් පාවිච්චි කිරීම තමයි හැම අතින්ම සුදුසු වෙන්නේ. සමහර detergent වර්ග ටිකක් සැර වැඩි වගේ කියලා ඔබටම දැනිලා ඇති. ඉතින් ඔබේ රෙදි ටික පරිස්සම් කරගන්න අවශ්‍ය නම් එයින් මඳක් යෙදීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. පොඩ්ඩොන්ගේ ඇඳුම් සේදීම සඳහා ඒ වෙනුවෙන්ම නිපදවලා තියෙන මෘදු detergent වර්ගයක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. රෙදි සහ detergent එකට එකතු කරන්න කලින් detergent ටික හොඳින් වතුරේ දිය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි, ඔබට පරිසර හිතකාමී detergent වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ ගැන අවධානය යෙදීමත් ඉතාමත් වටිනා කටයුත්තක් වෙනවා.

 

අනම් මනම් අයින් කරන්න

 

ඇඳුම් washing machine එකට දාන්න කලින් සාක්කු එහෙම පරීක්ෂා කරන පුරුද්දක් නැත්තම් ඒ පුරුද්ද වහාම ඇති කරගන්නට සිදු වෙන බව අපි සිහිපත් කරනවා. සාක්කුවල තියෙන කොළ කැබලි, ටිෂූ, කෑම කැබලි, කාසි, පින්ස්, පැන්සල් පෑන් වගේ දේවල් හන්දා washing machine එක ඇතුළෙදි ඇඳුම්වලට ලේසියෙන්ම හානි සිදුවෙන්නට ඉඩ තියෙනවා. මේ නිසා සාක්කු කනපිට හරවලා, මේස් සහ cuffs නිවැරදිව දිග හැරලා කලිසම්වල යටින් නමලා නම් ඒවා දිගහැරලා එහෙම සෝදන්න දාන්න. ඒ වගේම තමයි රෙදි ටික සෝදන්න දාන්න කලින් ඒවාගේ තියෙන zippers, hooks සහ velcro වහන්න අමතක කරන්නත් එපා. හැබැයි හොඳින් මතක තියාගන්න, ඇඳුම්වල buttons වහලා දාලා නම් සෝදන්න දාන්න එපා. අමතක නොකර  buttons ගළවලාම washing machine දාන්න.

 

රෙදි පැටලෙන පොට

 

ඇඳුම්වල Belts, strings වගේ කොටස් තියෙනවා නම් ඒවා ලිහිල්ව තියෙන්නට හැරලා washing machine දාන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද washing machine එක ඇතුළෙදි රෙදි එකිනෙක පැටලිලා රෙදි ටික හරි හැටි පිරිසිදු නොවෙන්නත්, මේ කියන strings ඇඳුමෙන් ගැලවිලා වෙන් වෙන්නත් මේ දේ හේතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ අමතර details තියෙන ඇඳුම් සෝදන්න දානකොට ඒවා හරියාකාරව ගැටගහලා සෝදන්න දාන එක තමයි වඩා සුදුසු වෙන්නේ.

 

Zippered mesh bags

 

සෝදන්න දාන්න කලින් මේ වගේ bags ඇතුළට රෙදි දාලා washing machine දැමීමෙන් රෙදි වලට සිදුවන හානිය අවම කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම undergarments සේදීමේදී මේ ආකාරයට සේදිම තමයි ඉතාමත් සුදුසු වෙන්නේ.

 

ඉරුණු ඇඳුම්

 

ඇඳුමක කොහේ හරි ඉරිලා නම් ඒ ඇඳුම් පිළිසකර නොකර washing machine දැමීමෙන් ඇඳුම තව තවත් ඉරෙන්නට ඉඩ තියෙනවා. මේ නිසා ඉරුණු ඇඳුමක් washing machine දාන්න කලින් මහලම ඉන්න එක තමයි වඩා හොඳ.

 

තද කුණු පැල්ලම්

 

මඩ හෝ ඉඳුල් වගේ තද කුණු පැල්ලම් සහිත ඇඳුම් washing machine දාන්න කලින් වෙනමම භාජනයකට දාලා පොඟවලා කුණු ටික අතින් ඉවත් කරලා ඉන්නවා නම් වඩා සුදුසුයි කියලා අපි හිතනවා. එහෙම නොවුනොත් ඒ අපද්‍රව්‍ය washing machine එක ඇතුලේ තියෙන අනිත් රෙදිවලටත් එකතු වෙලා ඇඳුම් සියල්ලම සවුත්තු වෙන්නට ඉඩ තියෙනවා.