අතහැරීමෙන් දියුණුව කරා වේගවත් ගමනක්...

නොවැම්බර් 15, 2021

 

සාර්ථක ජීවිතයක් උදෙසා ඉලක්ක හඹා යාමට අප හැම කෙනෙකුට ම සිදු ව ඇත. එහෙත් තමාගේ ඉලක්කය බලාපොරොත්තු වන ආකාරයෙන් ම සාක්ෂාත් කරගැනීමට හැම කෙනෙකුට ම නොහැකි වේ. ඒ ඉලක්කය වෙත යන නියම මාර්ගය සොයා ගැනීමට නොහැකි වීමෙනි.

තම ජීවිතය සාර්ථක කරගත් බොහෝ මිනිසුන් ඒ සඳහා ක්‍රියා කළ පොදු ක්‍රමවේදයක් පවතී. එය සාර්ථකත්වය සොයා යන හැම කෙනකුට ම පොදු වුවද බොහෝ දෙනෙක් නොසලකා හරින, නොදන්නා සාධකයන් ය.

සාර්ථකත්වය සොයා යන අයෙක් පිළිපැදිය යුතු, තම ජීවිතයට ළංකර ගත යුතු පුරුදු 10ක් පිළිබඳ අප මේ ලිපිය තුළින් කතා බහ කරමින් සිටිමු.

අද එහි හයවැනි පුරුද්ද ගැන දැන ගනිමු.

මේ පුරුදු දහයෙන් හයවන පුරුද්ද වන්නේ කැප කිරීමට ඇති සූදානමයි. අත්හැරීමෙන් තොර අත්කර ගැනීමක් නැත යන්න ජනප්‍රිය කියමනකි. එම කියමන සෑදී ඇත්තේ ද මේ හේතුව නිසයි. අප යමක් ලබා ගැනීමට නම් තවත් යමක් ඒ වෙනුවෙන් කැප කළ යුතු ම වේ. අප ළඟ ඇති හැම දෙයක් ම ඉතාමත් තදින් බදා අල්ලා ගන්නා පුද්ගලයන්ට ඉදිරියට යාමට හැකි වන්නේ නැත. ඔවුන් කොතෙක් උත්සාහ කළ ද ඉන්නා තැනින් ඉහළට යාමට නොහැකි වන්නේ, තමා සතු කිසිවක් කැප කිරීමට, අතහැරීමට සූදානමක් නැති හෙයිනි.

ලෝකයේ මෙතෙක් සාර්ථක වූ මිනිසුන් තමාට නව මට්ටමක්, නව ජීවිතයක්, අලුත් තත්ත්වයක් කරා ළඟාවීම සඳහා අත් හැරීම ඉතාම උනන්දුවෙන්, ඕනෑකමින් සිදු කළ පුද්ගලයන් බව හඳුනාගත හැකිය. අප මෙය උදාහරණ සහිතව කතා කිරීමට නම් බොහෝ දෙනෙක් දන්නා සම්බුද්ධ චරිතයෙන් නිදසුන් ලබා ගනිමු.

සිදුහත් කුමාරයා බොහෝ දේ අත්හැර දමා යාමෙන් තමාට අවැසි වූ සාර්ථකත්වය සොයා ගැනීමට සමත් වූහ. එනම් තමාගේ ගිහි කල පැවැති සියලු සැප සම්පත්, සක්විති රජකම මෙන්ම රූමත් බිරිය, ළදරු පුත් කුමරා ආදී සියල්ල කැප කිරීමෙන් තමා සොයා පැමිණි බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට එතුමා සමත් වූහ. සිදුහත් කුමරාට ඒ අතහැරි සියල්ලට වඩා වටිනාකමක් ඇති බුද්ධත්වය එමඟින් ලබා ගැනීමට හැකි විය.

ඔබත් ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා මේ වන විට ඇති ඇතැම් දේවල් කැප කළ යුතුය. ඒවා ඔබ සතු නරක පුරුදු විය හැකිය. ඇතැම් විට ඔබ සතු නරක හැසිරීම්, නරක සිතුවිලි විය හැකිය. එසේත් නැතිනම් ඔබ සතු භෞතික දේ විය හැකිය. කෙසේ වෙතත් මේ කුමන හෝ දෙයක කැප කිරීමකින් තොරව ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය ළඟාකර ගැනීමට නොහැකිය.

ඔබට යම් ව්‍යාපාරයක් ආරම්භකර එම ව්‍යාපාරයෙන් සාර්ථක වීමට අවශ්‍ය නම්, ඇතැම් විට ඔබට මේ වන විට කරමින් සිටින රැකියාව අතහැරීමට සිදු වේ. ඔබ දැනට සිටින තනතුරෙන් ඉහළ තනතුරකට යාමට අවශ්‍ය නම් ඔබ දැනට සිටින තනතුර ඔබට අතහැරීමට සිදු වේ. මේ ආකාරයට අපට ජීවිතයේ යම් දේවල් අතහැරීමකින් තොරව තවත් අලුතෙන් යමක් අත්කර ගැනීමට නොහැකි වේ. එමනිසා සාර්ථකත්වය ළඟාකර ගත් මිනිසුන්ගේ ජීවිත දෙස බැලීමේ දී අපට පෙනෙන දෙයක් වන්නේ ඔවුන් නිසි අවස්ථාවේදී එම අතහැරීම සිදුකර ඇති බවයි.

හැමදෙනෙක් ම පාහේ දන්නා බිල් ගේට්ස්ගේ චරිතය ගතහොත් ඔහු විශ්වවිද්‍යාලයට ඇතුළු වී මුල් වසර තුන තුළ තමා යා යුතු මාර්ගය මෙය නොවේ යැයි තේරුම් ගෙන ඉන් ඉවත් වේ. බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වන්නේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වී උසස් අධ්‍යාපනය ලැබීම වුවත් බිල් ගේට්ස් තමාගේ ඉලක්කයට යන මාවත මෙය නොවන බව තේරුම් ගෙන නොබියව තමාගේ සිහිනය, ඉලක්කය වෙනුවෙන් උපාධිය අතහැරීමට තීරණය කරයි. ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන මොහොතේ ඔහුගේ මහාචාර්යවරයා ඔබට පිස්සුද යනුවෙන් ඇසූ බව බිල් ගේට්ස්ගේ චරිතය ගැන ලියැවුණු පොත පතේ පවා සඳහන් වේ. උපාධිය අතහැර තම ඉලක්කය කරා යන බිල් ගේට්ස්ට ලෝකයේ සාර්ථකම ව්‍යාපාරිකයකු වූ පසුව එම විශ්වවිද්‍යාලයෙන් ම ආරාධිත දේශකයකු ලෙස දේශනයකට ආරාධනා ලැබේ.

එමෙන්ම කම්මැලිකම අත්නොහැර ඔබට ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට නොහැකි විය හැකිය. මත්පැන් පානය, දුම් පානය, අනවශ්‍ය දේට මුදල් වියදම් කිරීම වැනි ඇතැම් නරක පුරුදු ඔබේ සාර්ථකත්වයට යන මාවතට බාධා කරනවා ද විය හැකිය. මේ නිසා ඔබව සාර්ථක වීමෙන් වළක්වන, ඔබේ ඉලක්කය වෙත යාම වළක්වන ඔබ සතු පුරුදු මොනවාදැයි සිතා බලන්න. මෙලෙසින් ඔබේ දියුණුවට බාධා කරන හැම පුරුද්දක් ම ඍණාත්මක යැයි පැවසිය නොහැකි ය.

අලසකම, කේන්ති ගැනීම, වෙලාවට වැඩ නොකිරීම, අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ආදිය ඍණාත්මක ඇබ්බැහි වීම් ලෙස දැක්විය හැකිය. නමුත් ඇතැම් ඇබ්බැහි වීම් ඍණාත්මක ඒවා නොවේ. ඔබ රැකියාවක් කරමින් සිටිනවා නම් ඔබට ව්‍යාපාරයක් කිරීමට මේ රැකියාව අතහැරීමට සිදු වේ. එය අත්නොහැර ඔබට සාර්ථක ව්‍යාපාරිකයකු විය නොහැකිය. එවිට මෙය ඍණාත්මක ඇබ්බැහියක් යැයි පැවසිය නොහැකිය. දැනට තිබෙන දෙයට වඩා ඉහළ දෙයක් ලබා ගැනීමට නම් අප සතුව දැනට ඇති දෙයක් කැප කිරීමට, අතහැරීමට අපට සිදු වේ.

ඇතැම් සුප්‍රසිද්ධ ගායක ගායිකාවන්, නළු නිළියන් පවා තමා අධ්‍යාපනය ලබා ඇති අංශය අතහැර නැතිනම් තමා මෙතෙක් කරමින් සිටි දේවල් අතහැර කලා ක්ෂේත්‍රයට පිවිස සාර්ථකත්වයට පත් වූ බැව් ඔවුන්ගේ ජීවිත කතා දෙස බැලීමේ දී පැහැදිලි වේ.

අප බොහෝ දේ එක්වර කරන්නට යාමෙන් එක් දෙයක් හෝ සාර්ථකව කිරීමට නොහැකි වේ. එමනිසා එක් දෙයක් තෝරාගෙන එය නිසි ලෙස කිරීමෙන් ඉන් සාර්ථක විය හැකිය.

බෘෘස් ලී වරක් පවසා ඇත්තේ පහරවල් සියයක් දන්නවා යැයි කියන මිනිසාට වඩා එක් පහරක් හොඳින් ප්‍රගුණ කළ මිනිසාට මම ගරු කරමි, ලෙසයි. එයින් පැවසෙන්නේ පහරවල් සියයක් දන්නවා යැයි පවසන පුද්ගලයා ඉන් එක් පහරක්වත් නියමාකාරයෙන් ප්‍රගුණකර නොමැති නිසා එම කිසිම පහරක් ඔහුට හොඳින් එල්ල කළ නොහැකි බවයි. නමුත් එක් පහරක් හොඳින් ප්‍රගුණ කළ පුද්ගලයාගේ පහර ඉතා ශක්තිමත් හා නිවැරැදි වේ.

අනර්ඝ අදහස් සියයක් ඇතැයි පවසන පුද්ගලයාට වඩා එක් අනර්ඝ අදහසක් පමණක් සිතෙහි තබාගෙන ඒ වෙනුවෙන් වෙහෙස වී ක්‍රියා කරන පුද්ගලයා මම අගය කරමි යැයි වරෙක ඇල්බට් අයින්ස්ටයින් පවසා ඇත. එක් අනර්ඝ අදහසක් වෙනුවෙන් අනෙක් අනර්ඝ අදහස් 99ක්ම අතහැරීමට සිදු වේ. එමෙන්ම තෝරා ගත් එක් අදහස වෙනුවෙන් බොහෝ වෙහෙස වීමට සිදු වේ. නමුත් සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාව ද ඇත.

දැන් ඔබ කළ යුත්තේ සාර්ථකත්වය උදෙසා තමා අතහැරිය යුතු දේවල් මොනවාදැයි විවේකීව සිතා බැලීමයි. ඉන්පසුව අතහැරි දේවල් සිතෙන් ඉවත්කරන ඔබට වේගයෙන් තම අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව ලැබේ. ඇතැම්විට අනවශ්‍ය සබඳතා, අනවශ්‍ය බැඳීම්, අනවශ්‍ය මිතුරන් වුවද ඔබේ ගමන වළක්වනවා විය හැකියි. ඇතැම්විට ඔබ තුළ ඇති කේන්තිය, ඊර්ෂ්‍යාව, බිය වැනි ඍණාත්මක සිතුවිලි වුවද ඔබේ සාර්ථකත්වය වළක්වන හැඟීම් විය හැකි නිසා ඒවාද ක්‍රමයෙන් බැහැර කරන්න. අත්හැරීම ප්‍රගුණකර වේගයෙන් ඉදිරියට යාමට මඟ පාදා ගන්න.

 

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු