නැන්දම්මාගේ හිත දිනා ගන්නේ කොහොමද ?

නොවැම්බර් 22, 2021

 

කාන්තාවක ආදරවන්තිය ගේ භූමිකාව නියෝජනය කළත් බිරිය ගේ භූමිකාව නියෝජනය කළත් ඇය සයුරට වැටෙන ලුණු කැටයක් හා සමාන විය යුතුය. ලුණු කැටය කොතැනට වැටුණත් සොයාගත නො හැකි ලෙස නො පෙනී යයි. තවත් අයුරකින් පැවසුවොත් තැනට ගැළපෙන ලෙස වෙනස් වෙයි.

ආදරවන්තිය වුවත් බිරිය වුවත් ඇයට අලුත්ම පිරිසක් හඳුනා ගැනීමට සිදුවෙයි. මෙතෙක් තම පවුලේ සාමාජිකයන් සාමාජිකාවන් පමණක් ආදරණීයයන් ලෙස සැලකූ ඇයට ඔහු ගේ පවුලේ අය ද ආදරණීයයන් ලෙස පිළිනො ගෙන බැරිය. එහෙත් බොහෝ විට එය එසේ වන්නේ නැත. එනිසාම ගැටලු පැන නඟියි. උපක්‍රමශීලී වුවහොත් විවාහයට පෙරදීම ඇයට ද ඔවුන ගේ පවුලේ අයකු හා සමානව ම ආදරණීයයකු විය හැකිය.

මුල් වරට තම සහකරු වීමට සිටින්නා ගේ මාපියන් හමු වීම හිතේ පුංචි තිගැස්මක් ඇති කරන කරුණකි. එහෙත් මේ උපදෙස් පිළිපැද්දොත් ඔවුන් ආදරණීයයන් කර ගැනීම අසීරු නො වෙයි.

ඒ සඳහා,

පළමු දැක්ම ම ආදරණීය දැක්මක් කර ගන්න. තමන් ගේ සැබෑ ස්වභාවයෙන්ම ඔවුන් හමුවන්න. කපුටා, මොණර පිහාටු පියාපත්වල අලවා ගත් පමණින් මොණරකු බවට පත් නො වෙයි. කෙනකු පවතින ස්වභාවය වෙනස් කළ ද කෙදිනක හෝ සැබෑ ස්වභාවය විද්‍යමාන වෙයි. තමන් ගැන හඳුන්වා දෙන්න. ඔවුන් සමඟ කතාබහ කර කෙබඳු අය ද කියා දළ අවබෝධයක් ලබා ගන්න. ඇතැම් මාපියන් සමඟ මිත්‍රවීම පහසු නැත. එවැන්නන්‍ ගැන දැන ගැනීමට කාලයක් ගතවනු ඇත. හමුවීමකට පළමුව හොඳ පෙර සූදානමක් අවශ්‍යය. ඒ පෙර සූදානමේදී පෙම්වතාගෙන් මාපියන් ගැන දළ අවබෝධයක් ලබා ගන්න. ඔවුන් ගේ රුචි අරුචිකම්, පුරුදු, විනෝදාංශ දැන ගැනීම වැදගත්ය. ඔවුන් හමුවූ විට ඔවුනට රුචි දේ, විනෝදංශ, පුරුදු මාතෘකා කරමින් කතා කරන විට ඉබේම දිගු මිත්‍රශීලී කතාවකට මුල පිරෙයි. මාපියන් ගැන තොරතුරු දැන ගැනීමෙන් තමන් හා සමාන චරිත ලක්ෂණ ඇත්නම් ඒවා ද හඳුනා ගැනීම පහසු වෙයි.

තමන් ගේ මවට කතා කරන ආකාරයටම ආදරණීය ලෙසින් ආදරවන්තයා ගේ මාපියන්ට ද කතා කරන්න. අම්මලා, තාත්තලා දරුවන් ගේ ජීවිතවල කොටස්කරුවන්ය. ඔවුන් සමඟ හෘදයාංගමව විවෘතව කතා කරන තරමට ඔවුන් ද හෘදයාංගම වෙයි. විවෘත වෙයි.

කිසි විටක ආදරවන්තයන් ගේ මාපියන් විවේචනය නො කරන්න. ඔවුන් ගැන අවබෝධ කරගත නො හැකි දේ පැහැදිළි කරගැනීමට උත්සාහ ගන්න.

සර්ව සම්පූර්ණ කිසිවකු නො මැති බව සිතාගෙන අලුතින් ඥාතීන්වන්නට යන අය ඇසුරු කරන්න. තමන් ගේ මෙන්ම ඔවුන් ගේ ද අඩුපාඩු ඇති බව මුලසිටම හඳුනා ගෙන තිබීම වැදගත්ය.

තමන් ආදරවන්තයා සතුටින් තබා ගන්නා, ආදරයෙන් රැක බලා ගන්නා කෙනකු බව ඔවුනට අවබෝධ වන්නට හැරිය යුතුය.

 

 

අන්තර්ජාලයෙනි