වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මේ ධෛර්යය සහ දැක්ම ආවේ මගේ අම්මාගෙන්...
“පාසල් යන වයසේ දරුවන් ඉන්න මහත්ම මහත්මීන්ට මම අද අරගෙන ඇවිත් තිබෙනවා ඉතාමත් වටිනා ව්‍යාකරණ පොතක්. සිංහල භාෂාව අපේ මව් භාෂාව වුවත්, අපි මොනතරම් සිංහල කතා කළත්, විෂයයක් විදිහට සිංහල භාෂාව හදාරද්දී ව්‍යාකරණානුකූලව එය කරන්න අවශ්‍ය දැනුම මේ පොතෙන් ඉතාමත් සරලව ලබා දෙනවා.“
ඔබ නිතර දුම්රියේ ගමන් කරන්නකු නම් ඇගේ රුවත්, හඬත් ඉතාමත් හුරුපුරුදු විය යුතුය.
ඒ දිනකට සිය ගණනක් වූ යාචකයන්, වෙළෙන්දන් දුම්රියෙන් දුම්රියට, මැදිරියෙන් මැදිරියට පැමිණියත් ඇගේ හඬත්, ඇය විකුණන පොත් ගැන කරන හැඳින්වීමත් සුවිශේෂි වන නිසාය.
විටෙක කන් බිහිරි වන තරම් හඬක් නඟන දුම්රිය ඝෝෂාව පරදමින් උගුර ලේ රහවෙනතුරු කෑ ගසා කතා කරමින් දුම්රියෙන් දුම්රියට ගොඩ වී ඇය දශකයකටත් වැඩි කාලයක සිට මෙලෙස පොත් විකිණීමේ කටයුත්ත කරන නිසා කාර්යාලයට යන මගින් ඇයව හොඳින් හඳුනයි.
තවත් කාන්තා දිනයක් අභිමුවේ අප ‘තරුණී‘ වෙනුවෙන් ඇය සමඟ කතා බහ කළේ ඇගේ ජිවිත කතාව කාන්තා ඔබ දැනගත යුතුම නිසාවෙනි.
මුලින්ම ඔබ ගැන විස්තර කියන්න.
මගේ නම නිලූකා වර්ණසිරි. මම ඉපදුණේ මාතලේ ගලේවෙල. විවාහයෙන් පස්සේ ඒ කියන්නේ දැනට අවුරුදු 20ක සිට පදිංචිවෙලා ඉන්නේ ගම්පහ.
පාසල් ගියේ රංගිරි දඹුලු මහා විද්‍යාලයට. කලා අංශයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. B 2, C 1ක් සහිතව විභාගය සමත් වුණා. විශ්ව විද්‍යාලයට යන්න වරම් හම්බ වුණේ නැහැ. විද්‍යා පීඨ දාන්න අවස්ථාව තිබුණත් ඒවත් මඟ හැරිලා ගියා.
මගේ අම්මා තාත්තා දෙන්නාම දැන් ජීවතුන් අතර නැහැ. මට ඉන්නේ අයියයි අක්කයි. මම තමයි පවුලේ බාලයා. අම්මයි තාත්තයි ගොවිතැන් කළේ. අපි තුන් දෙනාටම හොඳ අධ්‍යාපනයක් දුන්නා. අක්කා දැන් කොහු බත් රට යවන ව්‍යාපාරයක් කරන්නෙ. අයියාත් රැකියාවක් කරනවා.
එතැනින් පස්සේ ඔබ මේ රැකියාවට යොමුවුණා.
මම විවිධ වෘත්තීන් කළා. ඒත් අවසානයේ මේ වෘත්තිය තෝරා ගත්තා. උසස් පෙළ කරලා ඉවරවෙලා මම ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානවල කාන්තා සංවිධානවල වැඩ කළා. අවුරුද්දක් විතර යනකොට මම මගේ දේශපාලන ගුරුවරයාත් එක්ක විවාහ වුණා. ඊට පස්සේ අපි දේශපාලන ජීවිතයට සමුදීලා කොළඹ ආවා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.
ඒ දෙන්නගෙ අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු හැම දෙයක්ම කළේ මහත්තයා. මම තමයි රැකියාවල් කළේ.
ඇයි ඔබ රැකියාවක් කරන්න තෝරාගත්තෙ.
අපි හිටියේ අඩු පහසුකම් සහිත පරිසරයක. එතකොට දරුවන්ට ආරක්ෂාව වැඩියෙන් ඕෙන. ඉතින් ඒ හැම දෙයක්ම මහත්තයා බලා ගත්තා.
දරුවො දෙන්නම මුලදී ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කරගත්තෙ නැහැ. මොකද අපේ රටේ වෘත්තීන් දිහා බලන විදිහ වෙනස්.
මම දකින්නෙ නැහැ මගේ වෘත්තිය පහළයි කියල. මම හරි අභිමානයෙන් මගේ වෘත්තිය කරන්නෙ. ඒකට හේතුව කාටවත් අතනොපා, වැරැදි දෙයක් කරන්නෙ නැතුව මම මේ රැකියාව කරන නිසා. රටේ ඉගෙනගත් මිනිස්සුන්ගෙ ආදරය සහ ගෞරවය මට තියෙනවා.කෝච්චියේ යන එන කාර්යාල පිරිසගෙන් ඇගයීමකුත් තියෙනවා.
දැන් ඔබේ දරුවන් ලොකුයි.
මම කොහොම හරි දරුවො දෙන්නම ප්‍රධාන පෙළේ පාසල්වලට දාලා උගන්වා ගත්තා. ලොකු පුතා කලා අංශයෙන් ඉගෙන ගෙන මේ වෙනකොට කලාව පැත්තේ රැකියාවක් කරනවා. දැන් එයාට වයස අවුරුදු 21 ක්.
පොඩි පුතාට වයස අවුරුදු 20ක්. දැන් එයා රැකියාව කරන්නේ හමුදාවේ.
අපි විවාහ වෙනකොට මහත්තයා පූර්ණ කාලීනව දේශපාලනයේ නියැළිලා හිටියේ. ඒ නිසා එයා රැකියාවක් කළේ නැහැ.
මහත්තයා රැකියාවකට ගියේ නැති නිසා ජීවත්වෙන්න මම විවිධ ආයතන වල රැකියාවලට ගියා. නමුත් දරුවන්ට උගන්වන්න, අපිට ජීවත් වෙන්න ලැබෙන පඩිය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා මම මේ රැකියාව තෝරා ගත්තා.
විවිධාකාරයේ මිනිසුන් අතරට ගිහින් මේ වගේ රැකියාවක් කරන එක දුෂ්කර දෙයක්. කොහොමද ඒ ගැන බයක් හිතුණේ නැද්ද?
මගේ දේශපාලන ජීවිතය කෙටි වුණත් මට ඒක ඇතුළේ අත්දැකීම් තිබුණා. සමාජයට බැහැලා මිනිස්සු එක්ක කටයුතු කරන්න ඕනෙ කොහොමද කියන එක. ඒ හුරුපුරුද්දත් එක්ක තමයි මේ රැකියාව තෝරා ගත්තේ.
දුම්රියේ ගමන් කරන මගීන්ට විවිධ දේ විකුණන්න පුළුවන්. ඒත් මම තෝරා ගත්තේ පොත් විකුණන එක. අවුරුදු 15ක්ම මම පොත් පත් අලෙවි කළා.
ඔබ අලෙවි කරන පොත ගැන හොඳ හැඳින්වීමක් කරනවා.
මම උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. සිංහල විෂයයක් විදිහට කළා. මට ඒකට B එකක් තියෙනවා. රසවින්දනය පිළිබඳ මට හොඳ දැනීමක් තිබෙනවා. ඉතින් මට පොතක පෙර වදන කියවන කොටම ස්වභාවිකවම මේක මිනිස්සුන්ට දෙන්න ඕෙන කොහොමද කියන එක හිතට එනවා.
අනිත් එක මම පාසල් යන කාලයේ කථිකත්වයට දක්ෂයි. සමස්ත ලංකා මට්ටමට පවා ගිහින් ජයග්‍රහණ අරගෙන තියෙනවා. ගායනය, ලේඛනය මේ හැම දේකටමත් මම සමස්ත ලංකා මට්ටම දක්වා ගිහින් තිබෙනවා.
ඉතින් ඒ හැම දෙයක්ම මට මේ රැකියාව හොඳින් කරගෙන යන්න උදව් වෙන්න ඇති.
ඒ කියන්නේ ඔබ මේ රැකියාව ගැන තෘප්තිමත්.
ඔව්. මම මේ රැකියාව කරන්නේ හරිම අභිමානයෙන්. අවුරුදු 15ක් මේ රැකියාව කළා. තව මාස කිහිපයකින් මම මේ රැකියාවට සමුදෙනවා. මට පෙන්ෂන් එකක් නැහැ. ඊ. පී. එෆ්, ඊ. ටී එෆ් නැහැ.
මට දැන් වයස අවුරුදු 43 ක්. ඒත් මම අවුරුදු 60 - 70ක තරම් වැඩ කරලා තියෙනවා. දැන් මට හරිම වෙහෙසයි. ඒත් මට හරිම සතුටුයි.
දරුවො දෙන්නා ගුණ යහපත්කම් ඇතුව හැදුවා. අධ්‍යාපනය දුන්නා. ඒ දෙන්නගෙ ජීවිත සාර්ථක කරලා තිබෙනවා.
දුම්රියේ හිඟමන් යදින යාචකයින් පවා මුදල් හදල් ඉතිරිකරනවා. ඒ කියන්නේ ඔබත් හොඳ පොහොසතෙක් වෙන්න ඕෙන.
මම ඉන්න ගෙවල් හැදුවෙ නැහැ. අදටත් මම ඉන්නේ කුලියට. ඒත් මම කිසිම කෙනෙක්ගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ගෙවල් ඉල්ලන්නෙත් නැහැ. ඉඩම් ඉල්ලන්නෙත් නැහැ. ඒ මොකද මට දැන් ඉදිරියේදී ඒ දේවල් කරගන්න පුළුවන්.
දරුවන්ට කාගෙන්වත් ඉල්ලන්නෙ නැතුව ඒ දේවල් කරගන්න පුළුවන් තැනට ඒ අය අරගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා මගෙ ජීවිතය ගැන.
විශේෂයෙන් මට දරුවන් එතැනට ගේන්න මගේ මහත්තයා දීපු සහයෝගය ගැන සතුටුයි. එයා හොඳ තාත්තා කෙනෙක්. ඒ නිසා එයාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දරුවන් එතැනට අරගෙන යන්න නිහඬව දරුවන් එක්ක අම්මා කෙනෙක් කරන කාර්යය ගෙදර ඉඳන් කළාට. ඒක මම දරුවන්ටත් කියලා දීලා තියෙනවා. හැම තිස්සෙම දරුවො එක්ක කතා කරද්දි මම ඒ ගැන කියනවා.
ඔබ රැකියාවෙන් සමුගන්න තීරණය කරලා. ඒ ඇයි?
මීට වැඩිය පහසුවෙන් කරන්න පුළුවන් වෘත්තියක් මම තෝරාගෙන තියෙනවා. මම ඒකට යොමුවෙනවා.
විශේෂයෙන් මම කියන්නෙ අපි වෘත්තියක් දිහා බලන්න ඕනෙ විවෘත මනසකින්.
මගේ වෘත්තිය දිහා බුද්ධිමත්ව බලන්න පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා. රටේ සියයට 80ක් විතර ඉන්නේ ඒ වගේ අය. ඒ නිසා මට අභිමානයෙන් මේ වෘත්තිය කරන්නත් හැකි වුණා.
ඒ විතරක් නෙමෙයි, මට ඒ මිනිස්සු දක්වපු ආදරයට සහ ගෞරවයට ඒ හැමෝටම මම ස්තූතියි කියන්න ඕනෙ. ඇත්තටම මම මේ ආටිකල් එක කරන්න කැමැති වුණෙත් ඒ අයට මට ස්තූති කරන්න ඕනෙ නිසා.
කොරෝනාවලින් පස්සේ මම ආයෙත් කෝච්චියට ආවම සිය දාස් ගාණක් මිනිස්සු ඇහැව්වෙ “ඔයා කොහොමද ජීවත් වුණේ“ කියලා.
ඒ කියන්නෙ මිනිස්සුන්ට ඒ හැඟීම තිබිල තියෙනවා. ආදරය සහ ගෞරවය තියෙනවා.
අන්න ඒකට මම ඒ හැම දෙනාටම ආචාර කරනවා. හිස නමනවා.
ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තත් එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න අනිත් හැම දෙනාම මගේ වෘත්තිය කරගෙන යන්න බාධා කරලා නැහැ. ඒත් ඔවුන් රාජකාරිමය වශයෙන් ඔවුන්ගේ සීමාවේ කටයුතු කරපු අවස්ථා නැතුවා නොවෙයි. නමුත් මනුෂ්‍යත්වය තුළ ඉඳල තමයි හැම වෙලාවෙම කටයුතු කළේ.
* ජීවත් වෙන්න සරිලන ආදායමක් මෙයින් ලබාගන්න පුළුවන් වුණාද?
ඔව්. මට ජීවත් වෙන්න සරිලන ආදායමක් හොයා ගන්න පුළුවන්. ඒකට උදේ ඉඳන් හවස් වෙනකම් ගොඩක් මහන්සි වෙන්න ඕනෙ.
මම ගෙදරින් එන්නෙ උදේ 5.00 ට. සමහර දවස්වල 5 කෝච්චියෙන් පටන් ගත්තු අවස්ථා තිබුණා. ගෙනාව පොත් ටික ඉවර වෙනකම් විකුණනවා. හවස 2 වෙන්න පුළුවන්. 5 වෙන්න පුළුවන්. මට සල්ලි ටිකක් වැඩියෙන් හොයා ගන්න ඕනෙවුණාම තව පොත් අරගෙන ආයෙ විකුණනවා.
* ඔබට ජීවිතයේ පැහැදිලි අරමුණක් තිබුණාද?
මම ආවෙ දරුවන්ට උගන්වන්න ඕනෙ කියන දේ හිතට අරගෙන. මට ආව දේ මතක තිබුණා. අවුරුදු 15ක් මම මහන්සි වුණා. ඒ දේ කළා. මම අනුකම්පාවට කැමැතිම නැහැ.
ඇයි ඒ අනුකම්පාවට අකැමැති.
අනුකම්පාව මිනිස්සු පහළට ඇද දමනවා. ඒකට ආදරය, කරුණාව සහ ගෞරවය දිරි ගැන්වීම තමයි මිනිස්සුන්ට දෙන්න ඕෙන. ඒක මට රටේ බුද්ධිමත් පිරිසගෙන් නොඅඩුව ලැබුණා. නොලැබුණු තැන්වලදි මම සැලුනෙ නැහැ.
විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පහළ සේවකයාගේ ඉඳල ඉහළම නිලධාරියා දක්වා මටත්, මම කරන වෘත්තියටත් ගරු කරල තියෙනවා.
නමුත් මනුස්සකම උපරිමයෙන් දක්වල අපි මේ දේවල් කරන්නෙ දරු පවුලක් නඩත්තු කරන්න කියන දේ දැනගෙන ඔවුන් රාජකාරිය කළා.
සියයට එකක් වගේ අයත් හිටියා ඒ වගේ නොහිතපු. ඔවුන්ගේ අකටයුතුකම්වලට මුහුණ දීපු අවස්ථා නැතුව නෙමෙයි.
* කොරෝනා පළමුවැනි සහ දෙවැනි රැලිවල මුළු රටම වහලා තිබුණු යුගයේ දුම්රිය වැඩ කළේ නැහැ. ඔබ කොහොමද ජීවත් වුණේ?
ඇත්තටම මම මුදල් ඉතිරි කරලා තිබුණේ නැහැ. අදටත් අද වැඩ කළේ නැත්නම් මට කීයක්වත් නැහැ.
මට ඉතිරි කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අනවශ්‍ය වියදම් කළේ නැති වුණත් මුදලක් ඉතිරි කරගන්න බැරිවුණා.
මුල් කොරෝනා කාලේ හිතවත්තු නෑදෑයෝ ගොඩක් උදව් කළා. හැබැයි පස්සෙ එහෙම කරන්න ඒ අයටත් බැරිවුණා.
අපි වසර 15ක් පුරන් වෙච්චි ඉඩමක් සශ්‍රීක කරල ගොවිතැන් කළා. අපි දැන් රෙන්ට් එකට ඉන්න අයට අයිති ඉඩමක් ඒක. ඔවුන් අපිට ඒක දුන්නා. එහෙම හොඳ මිනිස්සු මේ රටේ තාම ඉන්නවා. ඔවුන් දැන් වසර එකහමාරක් තාම අපෙන් ගෙවල් කුලිය ගන්නෙ නැහැ. කොරෝනා නිසා. ඔවුන් කිව්වෙ “ඔයාලා ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉන්න“ කියලා.
ඔවුන් අපිට දුන්නු ඉඩම වසර 15ක් තිස්සේ වගා කරලා තිබුණේ නැහැ. වල් බිහිවෙලා කෙටල වැවිලා. මමයි මහත්තයි මාස 2ක් තිස්සේ කෙටල ගැලෙව්වා. එහෙම මහන්සිවෙනවා දැකලා මේ අය ධෛර්යවන්ත මිනිස්සු කියලා බැකෝ එකක් ගෙනැල්ල ඉඩම හදල දුන්නා. මුල් කාලයේ පොහොර පවා දුන්නා. ඊට පස්සෙ දැන් ඕගොල්ලො කරගෙන යන්න කියලා කිව්වා.
මොනවද ඔයාලා වගා කළේ. තාමත් ඒ වගාව තියෙනවද?
අපි පාරම්පරික දේශීය දේවල් තමයි වගා කළේ. අවර, දඹල, පොතු බෝංචි කියලත් කියනවා. කිරි අල, මඤ්ඤොක්කා, කොච්චි වර්ග, බුලත්, මෑ සාමාන්‍යයෙන් ගෙවත්තක වැවෙන සියලුම බෝග වගා කරලා තියෙනවා. තාමත් අපි ජීවත් වෙන්නෙ ඒවායේ ඵලදාව විකුණලා.
මම මහත්තයට තමයි දෙන්නෙ ඒකෙ වටිනාකම. එයා තමයි මූලිකත්වය අරගෙන වගා කටයුතු කළේ. මමත් ගොවි පරිසරයක හැදිලා තිබුණු නිසා ඒ අත්දැකීම තිබෙනවා. ගමේ කඩවල් වලට දානවා. ඇත්තම කිව්වොත් ඉල්ලුම අනුව සැපයුම දෙන්න බැහැ අපට.
ඔබ ධෛර්යවන්ත කාන්තාවක්. ජීවිතය දෙස ආපසු හැරිලා බලද්දි මොනවද හිතෙන්නෙ.
මම දිහා බැලුවම කෙනකුට හිතෙයි අවුරුදු ගාණක් හම්බකරලා මොනවද කරගෙන තියෙන්නෙ කියලා. මට භෞතික දේවල් මොනවත් නැහැ. යාන වාහන ඉඩකඩම් නැහැ. නමුත් කාටවත් අතනොපා ජීවත් වෙලා තියෙනවා. දරුවො දෙන්නා රටට බරක් නැතුව යහපත් විදිහට ජීවත් වෙන්න හදල තියෙනවා.
චූටි පුතා පොඩිම කාළේ ගස්වලට පවා හරියට හිරිහැර කළා. ඒත් පස්සෙ එයා ටොෆි කොළේ, අයිස් පැකට් එක කාලා කොළේ පවා බෑග් එකේ දාගෙන ගෙදර ගේනවා. ඒ තරමට පරිසරයට ආදරය කරන්න කියලා දුන්නා. එයාට අවුරුදු 10 වෙද්දි මම පන්සිය පනස් ජාතකයම රෑට කියල ඉවර කරලා තිබුණේ.
ආදරය කරුණාව ඇතුළේ මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියන දේ මම දන්නවා.
ගොඩක් කාන්තාවො රට ගිහින් හම්බකරලා ලොකුවට ගෙවල් හදනවා. ඒත් ඒ ගෙවල්වල ඉන්න කවුරුවත් නැහැ.
අපි හිතුවට දරුවො පෞද්ගලික සම්පතක් නෙමෙයි. සමාජ සම්පතක්. ඔවුන් කවදාහරි රැකියාවක් කළාට රටට සේවයක් කරන්නෙ. අපි එහෙම රටට සේවයක් කරන්න පුළුවන්
දරුවො දෙන්නෙක් හැදුවා. ඊට වැඩිය දෙයක් අපිට කරන්න බැහැ. මේ රටට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඒක.
මට මේ ධෛර්යය සහ දැක්ම ආවේ මගේ අම්මගෙන්. මගේ අම්මත් ඒ තරම් ධෛර්යවන්ත කාන්තාවක්. ඇය ජීවතුන් අතර හිටිය නම් මම ඇයට කියනවා මේ මම නෙමෙයි ඔයා තමයි මාව නිර්මාණය කළේ කියලා. මොකද අපි ජීවත්වෙලා හිටපු ප්‍රදේශය ගලේවෙල. එහේ දරුණු විදිහට මැලේරියා රෝගය තිබුණා. දැන් නම් රටෙන් තුරන් වෙලා.
නමුත් මගේ වයසට 25 වතාවකට වඩා මැලේරියා රෝගයට මුහුණ දීලා තියෙනවා. කෑම බිම අඩුයි. ප්‍රතිශක්ති කරණය අඩුයි. ඉක්මනට මැලේරියාව හැදෙනවා.
අම්මා මැලේරියා රෝගය හැදිලා වෙව්ල වෙව්ලා පන්ති යන්න මට සල්ලි දීලා තියෙනවා. ඇයට ඕනෙ වුණේ මට හොඳට උගන්වන්න. ඇගේ ධෛර්යය, ඇගේ දැක්ම තමයි මගේ දරුවන්ටත් මම ක්‍රියාත්මක කළේ.
ඇයගේ සවිය ශක්තිය තමයි මගේ ජීවිතයට යමක් කරන්න පුළුවන් වුණේ. ඇය ආර්. ජී. සෝමලතා.
නිලූකා පවසන අන්දමට තව සති කිහිපයකට පසු ඇය සුපුරුදු ලෙස පොත් අලෙවි කරමින් සිටිනු දුම්රියේදී ඔබට දකින්නට නොලැබෙනු ඇත.
එහෙත් ඇය වසර ගණනාවක් එලෙස වෙහෙසෙමින් දරුවන් යහපත් පුරවැසියන් ලෙස සමාජයට එකතු කරන්න ගත් වෙහෙස සිහිපත් කරන්නට හැකිවනු ඇත.
ඡායාරූප - ශාන් රූපස්සර