සැබෑ ආදරය කියන්නේ අනෙකාගේ යහපත වෙනුවෙන් කැප කිරීමේ හැකියාවයි

පෙබරවාරි 21, 2022

ආදරය ආත්මාර්ථකාමී හැඟීමක්ද?

මොහාන් පල්ලියගුරුගේ ගෙන් විග්‍රහයක්.

 

ඉලක්කය හඹා යෑමට ඔබත් එක්වන්න

ආදරය, ලෝකයේ හැම කෙනෙක් ම පාහේ කැමැති ම වදනයි. ආදරවන්තයන්ගේ දිනය පසු වී ගෙවී ඇත්තේ දින කිහිපයකි. ආදරය සමරන්නට විවිධාකාරයේ වැඩසටහන්, විවිධාකාර සැලසුම් හැම තැනකම පැවැත්විණි.

එහෙත් ඒ හැම තැනකම නියම ආදරය තිබුණාදැයි සැක සහිත ය.

ඇත්තට ම ආදරය කියන්නේ කුමක්ද? නියම ආදරය අපට හමුවී තිබෙනවාද? මෙය බොහෝ දෙනකුගේ සිතේ පවතින පැනයකි. එයට පිළිතුරු අද මේ ලිපියෙන් ඔබට ලබා ගත හැකියි.

ආදරය කියන්නේ පුද්ගලයකුගේ සිතේ ඇතිවන උතුම්ම හැඟීමකි. පුද්ගලයකු තුළ සත්‍ය ලෙසම ආදරයක් පවතී නම් එහි ඇත්ත ආදරය හෝ බොරු ආදරය ලෙස දෙකක් තිබිය නොහැකියි. ආදරයේ ඇත්තේ එක හැඟීමක් පමණි. සත්‍ය ආදරයක් හමු නොවූ තැනදී එය හැඳින්වීමට අපි බොරු ආදරය ලෙස එය නම් කළ ද පවතින්නේ එක් ආදරයක් පමණි.

යම් තරුණයෙක් තරුණියකට ආදරය කරනවා යැයි අපි සිතමු. ඒ තරුණිය වෙනත් තරුණයකුට ආදරය කරන්නේ නම්, පළමුව අප පැවසූ තරුණයාට ඇයගේ කැමැත්තට ඉඩ දී ඇය කැමැති තරුණයා සමඟ සිටීමට අවස්ථාව ලබා දිය යුතුයි. සැබෑ ආදරය කියන්නේ අනෙකාගේ යහපත වෙනුවෙන් කැපකිරීමේ හැකියාවයි.

නමුත් බොහෝ දෙනෙක් සිතන්නේ තමා ආදරය කරන කෙනා තමා සමඟින් ම සිටිය යුතුයි. ඇය හෝ ඔහුගේ සතුට තමාට සැලසිය හැකියි. ඔහු හෝ ඇය හිමි විය යුත්තේ තමාට ම පමණයි ලෙසිනි. නමුත් මෙය ආදරය නොවේ. මෙය ආත්මාර්ථයයි. බොහෝ දෙනෙක් ආදරය ලෙස වරදවා වටහාගෙන තිබෙන්නේ හිමිකර ගැනීමයි. නැතිනම් අයිතිකර ගැනීමයි.

ඇයි අපි, අපි කැමැති පුද්ගලයාව අයිතිකර ගැනීමට උත්සාහ දරන්නේ.. මට එයාට සලකන්න පුළුවන්, මට එයාව බලාගන්න පුළුවන්, මට එයාට ආදරය කරන්න පුළුවන් ලෙසින් පැවසුවත් ඉන් අප බලාපොරොත්තු වෙන්නේ එම පුද්ගලයා තමා ළඟ සිටීම නිසා ලැබෙන ප්‍රයෝජනයි. ඔහු හෝ ඇය තමා ළඟ සිටිනවා නම් තමාට හොඳ නිසා හිමිකර ගැනීමට උත්සාහ දරයි. මෙය ආත්මාර්ථකාමී හැඟීමකි. එය නියම ආදරය නොවේ.

තමාගේ පෙම්වතිය තමාගෙන් දුරස් වූ විට ඇයගේ පින්තූර අන්තර්ජාලයට දමා ඇයට අපහාස වන අයුරින් හැසිරෙන පෙම්වතුන් සැබැවින් ම ඇයට ආදරය කොට නැත. ඇය විවාහ වීමට සිටින හෝ වෙනත් සබඳතාවක් පවත්වන තරුණයාට ඇය ගැන විවිධාකාර දේ පවසන්නේ, ජීවිත හානි කරන්නේ ආත්මාර්ථය නිසයි.

සත්‍ය ලෙසම ආදරය කරන්නේ නම් අප ආදරය කළ පුද්ගලයාගේ ජීවිතයට හානිවන අයුරින් හැසිරීමට, ක්‍රියා කිරීමට අපට නොහැකිය. එසේ කිරීමට පවා අකටයුත්තක් කිරීමට සිතීමටවත් නොහැකි ය. ආදරය කියන්නේ හිමිකර ගැනීම ම නොවේ. ආදරය යනු උත්තරීතර හැඟීමකි. ආදරය කිරීමට එම පුද්ගලයා හිමිකර ගත යුතු ම නැත.

කුඩා කාලයේ සිට ම දරුවන් ආදරය කිරීමට හුරු වේ. ආදරය දිව්‍යත්වයට ආසන්න වීමක් ලෙසින් ප්‍රකට දාර්ශනිකයකු වන ඕෂෝ පවසා තිබෙනවා. කිතු දහම ගත්තත් ක්‍රිස්තුස් වහන්සේ පවසන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න යනුවෙනි. උන්වහන්සේට කුරුසියේ තම ජීවිතය හමාර කිරීමට සිදුවන්නේ ද එතුමා තුළ පැවැති අසීමිත මානව ප්‍රේමය නිසයි.

සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් වී පවසන්නේ සියලු දෙව්, බඹ, මිනිස් යහපත පිණිස තමා ධර්මය බෙදා හරින බවයි. මෙය සියලු සත්වයන් වෙත පැවැති කරුණාවයි. මේ හැඟීම ප්‍රේමයටත් එහා ගිය තත්ත්වයකි. මහා කරුණාවකි. මිනිසුන් තුළ ප්‍රේමය, කරුණාව පවතී නම් එය ලෝකය ලස්සන කරන්නක්.

සැබෑ ආදරය දුකක් නොවේ. ඕෂෝ පවසන්නේ සැබෑ ආදරය මිනිසුන් බැඳීම් තුළින් මුදවන්නට කටයුතු කරන බවයි. තවත් ලෙසකින් පවසන්නේ් නම් සැබෑ ආදරය බැඳීම් විරහිත එකක්. සැබෑ ආදරය පවතින්නේ එතැනයි. මේ අනුව බලන විට අපේ රටේ බොහොමයක් ආදරවන්තයන් ආදරවන්තියන් සැබෑ ආදරවන්තයන් නොවේ. ඔවුන් මුරකාරයෝ සහ මුරකාරියෝ බවයි පෙනෙන්නේ. මේ බොහෝ දෙනෙක් ආදරය කරනවාට වඩා සිදු කරන්නේ අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය මුර කිරීමයි.

සිතා බලන්න, ඔබ දවසට කී සැරයක් පෙම්වතාගේ හෝ පෙම්වතියගේ දුරකතනය පරීක්ෂා කරනවාද? එසේ කරන්නේ සැකය නිසයි. නමුත් ආදරයක් පවතින තැනක සැකයකට ඉඩක් නැත. සැකයක් පවතින තැනක ආදරයක් පවතින්නේ නෑ.

ආදරයක් රඳා පවතින්නේ විශ්වාසය මතයි. ඔබ අනෙක් පුද්ගලයාට සැබෑ ලෙසම ආදරය කරනවා නම් ඔහුගේ හෝ ඇයගේ පෙර ජීවිතය පිළිබඳ කරුණු අදාළ වන්නේ නැත. මන්ද ආදරයට හේතුවක් නොමැති නිසයි. ආදරය යනු අනෙක් පුද්ගලයා වෙත ඇතිවන හැඟීමක්. එය නිරපේක්ෂයි. සාපේක්ෂ දෙයක් නොවේ.

තමා අනෙක් පුද්ගලයාට අවංකව ආදරය කරන්නේ නම් අනෙක් පුද්ගලයා විශ්වාසය කැඩුවාද යන්න අදාළ නොවේ. මෙය නිරපේක්ෂ හැඟීමක් බව පැවසුවේ ඒ නිසයි.

ආදරය නිර්වචනය හෝ ආදරය පැහැදිලි කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය තේරුම් ගත හැකි නම් ලෝකයේ ඇති ඉතාමත් සුන්දර හැඟීමකි. ලෝකය ලස්සන කිරීමට හැකි මේ හැඟීම අප හැම දෙනා තුළම ඇතිකර ගත යුත්තකි.

ආදරය පිළිබඳ තවත් කරුණු අපි ලබන සතියේ දීත් කතාබහ කරමු. ඔබේ සිතත් ආදරයෙන් පුරවා ගැනීමට එහි සුවය විඳීමට ඉන් ඔබට හැකි වේවි.

 

සටහන

අයන්ති උඩුගම්පල