ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම සහ එකම විදේශීය කාන්තාව

ඩොරින් වික්‍රමසිංහ
මැයි 15, 2023

 

ඩොරින් විනිප්‍රඩ් යං හෙවත් ඩොරින් වික්‍රමසිංහ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රථම සහ එකම විදෙස් කාන්තාවයි. ඇය එදා මැතිසබය ජය ගත්තේ පිරිමින් හා කරට කර තරග වැද අතිශය අභියෝගාත්මක මැතිවරණයකට මුහුණ දෙමිනි.එවකට පැවැති සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව තුළ විදෙස් සම්භවයක් හිමි කාන්තාවක් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුළින් පෙනී යන්නේ උනන්දුව, කැපවීම සහ අධිෂ්ඨානය තිබේ නම් කාන්තාවන්ට කළ නොහැක්කක් නොමැති බවයි. ඇය අපේ පාර්ලිමේන්තුව නියෝජනය කළා පමණක් නොව පළමු කාන්තා සමාජවාදී ව්‍යාපාරයේ සහ සූරිය මල් ව්‍යාපාරයේ නිර්මාතෘවරියක ද වන්නීය. විදුහල්පතිනියක්, ගුරුවරියක්, සමාජ ක්‍රියාකාරිනියක්, දේශපාලන නියෝජිතවරියක්, මවක් සහ බිරිඳක් ලෙස විවිධ භූමිකා ඉටුකරමින් ලාංකේය සමාජය තුළ ඇය සිය නම සනිටුහන් කරන්නට සමත් වූවාය.

 

එංගලන්තයේ ඉපිද උසස් අධ්‍යාපනය හදාරා 1930දී ලංකාවට පැමිණෙන ඩොරින්ගේ මුල්ම රැකියා ස්ථානය වන්නේ මාතර සුජාතා විදුහලයි. එහි විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ ඇය පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කළාය. 1930 නොවැම්බර් සිට 1932 දෙසැම්බර් දක්වා එහි සේවය කල ඇය 1933 අප්‍රේල් 26දා මෙරට වාමාංශික ව්‍යාපාරයේ නිර්මාතෘවරයෙකු වූ එස්.ඒ. වික්‍රමසිංහයන් සමඟ විවාහ වූවාය. 1933 ජුනි මස සිට ඇය කොළඹ ආනන්ද බාලිකා විදුහලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළාය. ඇගේ ගුරු භූමිකාව තුළ ලංකාවේ ප්‍රථම වරට නවතම ඉගැන්වීම් ක්‍රම සහ නව විෂය මාලාවන් හඳුන්වා දුන්නාය. 1940 වසරේ දී මොඩර්න් පාසල නමින් නවීන ක්‍රම ඇතුළත් පාසලක් කොළඹ ආරම්භ කළේද ඇයයි.එම පාසල් ක්‍රමය පසුකලෙක දී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.

 

ඇය විදුහල්පතිනියක් වශයෙන් කටයුතු කරන අතර ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ද කටයුතු කළාය. ධනේශ්වර ආර්ථික හා සමාජ ක්‍රමයට විරුද්ධව නැඟී සිටිමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නිරත වූවාය. 1931-1936 කාලය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ වාමාංශික ව්‍යාපාරයේ එකම මනත්‍රීවරයා වූයේ ඇගේ සැමියා වූ දොස්තර වික්‍රමසිංහයි. ඇයගේ දේශපාලන ගමනට ඇගේ සැමියා යෝධ ශක්තියක් විය.

 

ලංකාවේ පැවැති අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව ඇය ආරම්භ කළ සූරිය මල් ව්‍යාපාරය මෙරට වාමාංශික ව්‍යාපාරයේ තිඹිරිගෙය ලෙස සැලකේ. එම ව්‍යාපාරයේ කේනිද්‍රස්ථානය බවට පත්වූයේ එවකට ඇය විසූ ආනන්ද බාලිකා විදුහලේ විදුහල්පති නිළ නිවසයි. යුධ සමාදාන දිනය වෙනුවෙන් පාලනය විසින් පවත්වාගෙන යන ලද පොපිමල් ව්‍යාපාරය වෙනුවට ඇය මෙම ව්‍යාපාරය ආරම්භ කළාය. එමඟින් එකතු කළ මුදල් පීඩිත පංති නියෝජනය කළ ළමුන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ඉහළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළාය.

 

වැඩ කරන කාන්තාවන්ගේ ප්‍රශ්්න පිළිබඳව කතා කරන්නට 1946දී ඇය එක්සත් කාන්තා පෙරමුණට සම්බන්ධ වී එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළාය. මෙය ලංකාවේ ආරම්භ කළ පළමු සමාජවාදී කාන්තා ව්‍යාපාරයයි. මෙම සංවිධානය රටේ කාන්තාවන්ගේ පොදු අයිතිවාසිකම් සහ සමාජ තත්ත්වය ඉහළ නැංවීම සඳහාත් දිළිඳු කාන්තාවන්ගේ ජීවන තත්ත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය ආදිය ඉහළ නැංවීම සඳහාත් විශාල කාර්යභාරයක් ඉටු කළේය.

 

දොස්තර වික්‍රමසිංහගේ දේශපාලන දිවියේ කටුක අත්දැකීම් ඇයටත් අත් විඳින්නට සිදුවිය. වරක් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අහිමි වීමත් ඇගේ රැකියාව අහිමි වීමත් එක විට සිදුවුණු අවස්ථාවේ විවිධ ප්‍රදේශවල කුලී නිවෙස්වල ඔවුන්ට ජීවත් වන්නට සිදුවිය. ආර්ථික අපහසුතා නිසාම ඇය සැමියා සහ දරු දෙදෙනා සමඟ තවත් අවස්ථාවක එංගලන්තයේ සිය මවුපියන් වෙත ද ගියාය. එදා සමාජය තුළ කාන්තාවන්ට යම් කිසි ධුරයක්, තනතුරක් හෝ වෘත්තීයමය වටිනාකමක් ලබා දීමේදී පවුල් පසුබිම පිළිබඳව අවධානය යොමු කිරීමේ පිළිවෙතක් දකින්නට ලැබුණි. මෙය ඩොරින්ටද බලපෑවේය.වරක් කොළඹ බෞද්ධ බාලිකා පාසලක් වූ විශාකා විදුහලේ විදුහල්පති ධුරය භාර ගැනීමට අවස්ථාව සැලසුණත් ඒ වන විට ඇය දොස්තර වික්‍රමසිංහ හා විවාහ වීමට අදහස් කරගෙන සිටි නිසා එම අවස්ථාව ගිලීහී ගියේය. එවැනි අසාධාරණයන්ට මුහුණ දෙමින් වුවද ඇය දේශපාලනයේ නිරත වූවාය.

 

ඇගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් කැප කළේ සමාජ සමානාත්මතාව සඳහාත් පීඩිත පන්තියේ විමුක්ති සඳහාත්ය. ඇය ඇන්දේ කපු රෙදිය. සිංහල භාෂාව චතුර ලෙස කතා කළාය. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද නිදහස් සටන්වලට සහභාගි වූවාය. ඇය කුල භේදයට විරුද්ධ විය. රොඩී කුළයේ දරුවකු දරුකමට හදා ගත්තාය. පීඩිත පංතියේ විමුක්තිය සඳහා වූ විවිධ අරගලවලට ඇය සහභාගී වූවාය. වරෙක පොදු වැසිකිළි කඩාදැමීමට එරෙහිව වැසිකිළි සේවකයන් විසින් කළ සටනට සහය පළ කරමින් සුජාතා විදුහලේ ගුරුවරියන් සමග ඇය මාතරදී පෙළපාළියක් මෙහෙය වූවාය.

 

මෙම සටන්වලින් ඇය ලැබූ පන්නරය මැනවින් ප්‍රදර්ශනය වූයේ 1952 මහ මැතිවරණයේ දී ඇය දැක්වූ සටන්කාමීත්වය තුළිනි. ඇගේ ගමන් මඟේ ස්වර්ණමය අවස්ථාව ලෙස මෙම මහ මැතිවරණය හඳුන්වා දිය හැකියි. ඇය දකුණේ එවකට හද්ද පිටිසර ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි අකුරුස්ස ආසනයට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස තරඟ වැදුණාය. ඇය ඡන්ද 16626 ලබා වැඩි ජන්ද 1001කින් එම මැතිවරණයේ දී ඉතා විශිෂ්ට‍ ලෙස ජයග්‍රහණය කළාය. සුදු ජාතික විදේශීය සම්භවයක් ඇති කාන්තාවක් වශයෙන් ඩොරින්ට මේ මැතිවරණය උග්‍ර හා කටුක තරගයක් විය. ඇයට විරුද්ධව විශාල මඩ ගැසීම් සහ පහර ගැසීම් සිද්ධ වුණු නමුත් ඈ සතු වූ හොඳින් සිංහල කතා කිරීමේ හැකියාව, ලබා තිබූ දේශපාලන පන්නරය සහ කාන්තාවන් අතර ඒ වන විට ඇය ලබා තිබූ ජනප්‍රියත්වය නිසාම එම විරෝධතා යටපත් වන්නට විය. එහි ප්‍රතිඵලය ලෙස ප්‍රථම වරට ආසියානු රටක මහජන ඡන්දෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විදේශීය කාන්තාව වශයෙන් ලෝක දේශපාලන ඉතිහාසය තුළ සිය නම සනිටුහන් කරන්නට ඇය සමත් වූවාය.

ආදරණීය සැමියාට සටන් සගයෙක් වූවා සේම ඇය ආදරණීය මවක් ද වූවාය. දියණිය සූරියා වික්‍රමසිංහටත් පුතු සුරේන් වික්‍රමසිංහටත් ඇය උපරිමෙන් මවකගේ යුතුකම් නොපිරිහෙළා ඉටුකළාය. ඇගේ දියණිය සූරියාට මවගේ අඩිපාරේම යමින් රට තුළ ජාත්‍යන්තර වශයෙන් ප්‍රජා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නීතිඥවරියක් ලෙස සමාජයේ කැපීපෙනෙන සේවයක් ඉටුකරන්නටත් පුතු සුරේන් වික්‍රමසිංහට ලංකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නටත් හැකියාව ලැබුණේ ඒ නිසා වන්නට පුළුවන. වර්ෂ 1981 දී දොස්තර වික්‍රමසිංහගේ අභාවයෙන් පසුවද ඇය අභීත ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුනාය. 1998 දී එවකට පැවැති රජය ගෞරවණීය ජාතික සම්මානයක් වන දේශමාන්‍ය සම්මානයෙන් ද ඇයව පුදනු ලැබීය. ලංකාව නිවහන කරගත් මේ එඩිතර කාන්තාව වසර 2000 මැයි 29 වැනිදා අප හැර ගියාය.

 

ඇගේ ජීවිත කතාවේ අපූර්ව හා විශිෂ්ටතම ලක්ෂණය වන්නේ ඇයව සියලු ජන කොටස් එකසේ වැළද ගැනීමයි. විදේශීය කාන්තාවක් වුවත් මෙරට දේශපාලනය තුළ ඇගේ ජනප්‍රියත්වය ඉහළ ගියේත් පොදුජන අරගලයේ ආදරණීය නායිකාවක් ලෙස පිළිගැනීමට ලක්වූයේත් ඒ නිසා වන්නට පුළුවන. ජාතික විමුක්තිය, කාන්තා විමුක්තිය සහ සමාජවාදය වෙනුවෙන් කාන්තාවගේ ශක්තිය සහ කැපවීම යොමු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව පෙන්වා දෙමින් රටේ සුවහසක් කාන්තාවන්ට ආදර්ශයක් වෙමින් ඇය කටයුතු කළ අයුරු අපූරුය.