චේන්ජ් එකට චැලේන්ජ් කරොත් ජීවිතයම ගොඩ

මාළු වෙ‍ෙළඳාමෙන් ජීවිතයට වාසනාව ළඟා කරගත් වැළිවේරියේ මේරි
මැයි 15, 2023

 

රිද්මයට ගලා යන ජීවිතය නොසිතන ලෙසින් අභියෝග පැමිණෙයි. මේ අභියෝග හා බාධක මැදින් ජීවිත මංසල තරණය කරන්නට හැකියාව ඇත්තේ ආත්ම විශ්වාසය ඇති ශක්තිමත් චරිතයකටය. මෙවැනි ශක්තියක් ඇති දිරියෙන් ඉදිරියට යන චරිත අපට හමුවෙයි. ඒ හමුවෙන චරිත ගැඹුරින් අධ්‍යයනය කරන විට අපට ‍ඉගෙනගත හැකි පාඩම් පොතකට ගොනු කරන්නට බැරි තරමටම දිගය. රෝස මල් යහනාවක් නොවුණු ඔවුන්ගේ ජීවිත කතා තුළ හැමවිටම ලියවී ඇත්තේ මේ මහ පොළොව මත වූ සැබෑ යථාර්ථයට මුහුණ දුන් කතාවකි.

 

වැලිවේරියේ වාසනා මේරි මිනෝ.... ඇය ද එවැනි ගමනකට මුල පිරූ යුවතියකි. තම හැකියාවට හිමි වූ රැකියාව අහිමි වීම හමුවේ කම්පා නොවුණු ඇය තමුන්ගේම ස්වාධීන ව්‍යාපාරයක් පිළිබඳ සිහින මැව්වේ කාලයක පටන්ය. සියුමැලි අතට හුරු නොවූ තරුණියකට අභියෝගාත්මක වූ මාළු වෙ‍ෙළඳාමට ඇය පිවිසෙන්නේ දෛවයට අභියෝග කරමින් ස්වාධීනව නැගී සිටීමේ අපේක්ෂාවෙනි. තම මව හදිසියේ රෝගාතුරවීම නිසා පෞද්ගලික ආයතනයක සේවය කරන වාසනාට අවාසනාවන්ත ලෙසින් රැකියාවෙන් සමු ගන්න සිදු වන්නේ අන්ත අසරණ වෙමිනි.

 

මෙලෙසින් ඉතා අසරණව සිටි ඇයට පිළිසරණක් වෙන්නට ඇයගේ යෙහෙළියක් හමුවෙයි. මෙලෙසින් හමුවන යෙහෙළිය මාළු වෙළෙඳාම් කරන්නට යෝජනා කරන්නේ කිසිම පිළිසරණක් නොමැතිව කාලය ගත කරන වාසනා පිළිබඳ අනුකම්පාවෙනි. රෝගී වූ තම මවට ප්‍රතිකාර කිරීමට මුදල් සොයා ගැනීමට කිසිම ක්‍රමයක් ‍නොමැතිව සිටි ඇය මාළු වෙළෙඳාම ආරම්භ කරන්නේ මව අතේ තිබූ රුපියල් 2000 ක් ඉල්ලාගෙනය. මෙලෙසින් ආරම්භ කළ වාසනාගේ ජීවිත ග‍මනේ බාධක මැදින් ආ දුර ඇය අපට ආවර්ජනය කළේ දිග සුසුමක් ළයට පුරවා ගනිමිනි.

 

“කිසිම පිළිසරණක් නැතිව රස්සාවක් නැතුව මම ගෙදර ඉන්නකොට තමයි මගේ හිතවත් අක්කා කෙනෙක් මාළු වෙළෙඳාම කරන්න මට කතා කළේ. අම්මාගේ අතේ රුපියල් 2000 ක් විතරයි තිබුණේ. මුලින්ම ඒ සල්ලිවලින් රිජිෆෝම් පෙට්ටියක් ගත්තා. දැන් ඊළඟ ගැටලුව තරාදියක්. අපේ හිතවත් මුදලාලී කෙනෙකුගේ පාවිච්චි නොකරන තරාදියක් මාස දෙකකට ඉල්ලා ගත්තා. දැන් මාළු ගන්න සල්ලි නැහැ. මගේ කනේ තිබුණු කරාබු ජෝඩුව උකස් කරලා සල්ලි ටිකක් ගත්තා. ඊට පස්සේ මීගමුවේ ලෙල්ලමට ගියා. මාළු කිලෝ 10ක් පෙට්ටියේ දාගෙන ඇවිත් වෙළෙඳාම පටන් ගත්තේ හරිම අමාරුවෙන්. පළවෙනි දවස් දෙක තුනේ කවුරුවත් මාළු ගත්තේ නැහැ. රෑ හත විතර වෙනකම් මාළු ටික විකුණා ගන්න ඇවිද්දා. ම මගේ මාළු හොඳ නැහැ කියලා සමහරු එනකොට දොරවල් වහ ගන්නවා. නමුත් මම වෙළෙඳාම අතැහැරියේ නැහැ. සමහර දවස්වලට පෑළියගොඩට ගිහින් මාළු ගේනවා. තවත් සමහර දවසට ලෙල්ලමට යනවා. මේ වැඩේට මගේ ගෙදර තිබුණු පරණ බයිසිකලේ සෑහෙන්න පිහිටක් වුණා. මම උදේ පාන්දරම අපේ නිපුන් මල්ලිත් එක්ක මාළු ටික ගේනවා.

 

නිපුන් මල්ලි ඇත්තටම මගේ තාත්තා වගේ මට උදව් කරන්නේ. තාත්තා නැති අඩුව මල්ලි තමයි පුරවන්නෙ.

 

දවසක් මෙහෙම වෙ‍ෙළඳාමේ යනකොට රිජිෆෝම් පෙට්ටියේ පියන වැටිලා මම දන්නේ නැහැ. ටික දුරක් යනකොට පාරෙ ගිය බයිසිකලේක මල්ලි කෙනෙක් කවුවා අක්කේ ඔයාගේ මාළු පෙට්ටියේ පියන වැටිලා මනුස්සයෙක් ඇහිද ගන්නවා දැක්ක කියලා. මම සයිකලය හරවාගෙන ආපහු ගියා. ඒ යනකොට පියන ඇහිඳපු මනුස්සයා පියනත් ඇරගෙන යනවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ වෙලාවේ මගේ ඇස් දෙකට කඳුළු ආවා. අපේ සමාජය මේ තරම් නපුරුද කියලා. නමුත් මේ නපුරු මිනිස්සු අතරේ හොඳ මිනිසුන් ඉන්නවා. මම ජීවත් වෙන්න කරන මේ උත්සාහය දැකපු බෙම්මුල්ලේ කපිල මල්ලි එයාගේ පුංචි කඩ කෑල්ලක් දුන්නා මාළු ටිකක් දාගන්න.

 

මෙහෙම වෙ‍ෙළඳාම් කරනකොට දවසක් තිස්ස ගුණවර්ධන මහත්තයා මට හම්බ වුණා. එයා මගේ විස්තරයක් එයාගේ facebook එකේ දාලා තියනවා. ඒක දැකපු G.K.Cashews ආයතනයේ අධිපතිතුමා මට තරාදියක් දීලා තියනවා. පහුගිය පෝය දවසේ තිස්ස මහත්තයා ඒ තරාදිය මට ගෙනත් දුන්නා. ඇත්තටම මගේ උත්සාහය දැකපු ඕනෑම කෙනෙක් මට උදව් කරනවා. Women Management ආයතනයේ සභාපති සුලෝචනා අබේවික්‍රම මහත්මිය මට කතා කළා. එයා මට කිවුවා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උත්සවයක් තියනවා එන්න කියලා. මම ඒ උත්සවයට ගියා. මට හිතා ගන්නත් බැරි වුණා. ඒ උත්සවේදී මගේ උත්සාහය හා ධෛර්යය අගය කරලා සම්මානයක් දුන්නා. මම වගේ මාළු විකුණන කෙනෙකුට සම්මානයක් ලැබෙයි කියලා කොහොම හිතන්නද? සමහරු පුංචි අපි හෝටලයක කන්න යනවටත් අකමැතියි. මාළු පිළීගඳ ගහනවා කියලා. ඒ නිසා මාළු විකුණලා ඉවර වෙනකම් කිසිම දෙයක් කන්නේ නැහැ.

දැන් මගේ වයස 38ක් වෙනවා. අපේ පවුලේ අයියලා තුන්දෙනෙක් හිටියා. ඒ අය දැන් විවාහ වෙලා. අම්මයි මමයි විතරයි දැන් මේ අපේ පුංචි ගෙදර ඉන්නේ. ඇත්තටම මේ මාළු වෙළෙඳාමෙන් ලොකු ලාභයක් නැහැ. මාළු කිලෝ දහයක් විකුණුවොත් රුපියල් තුස්දහසක් විතර තියනවා. ඒකෙන් මගේ බයිසිකලේ පෙට්‍රල් වියදමයි මල්ලිටයි මටයි උදේට කෑමටයි වියදම් ගියාම රුපියල් 1500 විතර තමයි තියෙන්නේ. නමුත් ලැබෙන ලාභය ගැන හිතලා මේ ව්‍යාපාරය නතර කළොත් ඒකත් ලැබෙන්නේ නැහැනේ. අතට කීයක් හරි ලැබෙන නිසා කරගෙන යනවා. හැබැයි මගේ උත්සාහයට කවදා හරි ප්‍රතිඵල ලැබෙයි කියල මට ලොකු විශ්වාසයක් තියනවා. ඒ නිසා මගේ අම්මා‍ගේ බෙහෙත් ටික ගන්න හරි ලැබෙන මුදල වටින නිසා ලාභ පාඩු නොබලා මේ වෙ‍‍ෙළඳාම කරනවා.”ඇත්තටම මගේ බයිසිකලේටත් සෑහෙන්න පෙට්‍රල් යනවා. ඒ නිසා තමයි ලොකු ලාභයක් නැත්තේ”

 

වාසනා ජීවිතය පිළිබඳ දහසක් අපේක්ෂා දල්වාගෙන ඉදිරියට පියවර තබන යුවතියකි. ඇ‍යගේ පියකරු මුහුණේ රැඳී ඇත්තේ වාසනාවන්ත සිනහවකි. ඒ නිසාම ඇයට මේ පුංචි ව්‍යාපාරයේ දුර ගමනක් යන්නට හැකියාව ඇති බව ස්ථිරය. තවත් යමෙකුගෙන් යැපෙන්නන්ට හෝ රැකියාවක් සොයමින් ළත වෙන්නට කාලය වැය නොකර ඇයගේ අධිෂ්ඨාන ශක්තියෙන් යන ගමන ඉතාම සාර්ථකය. ඒ ගමන එතරම් සුන්දර නොවන ගමනකි. ‍එහෙත් ඇය දිනක මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම යනු නියතයි.