නාරාහේන්පිට තෙල් ගහන මල්

රටම කතාකරන ලංකාවේ පළමු කාන්තා ඉන්ධන පිරවුම්හල
නොවැම්බර් 13, 2023

ලෝකයේ පියවරක් ඉදිරියට තබන්නට අපට තරමක් වෙනස් ආකාරයෙන් සිතන්න සිදු වෙයි. මේ වගේ සිතන පතන මිනිස්සු තමයි ලෝකය සැමදාම වෙනස් කළේ. නමුත් සාම්ප්‍රදායික රාමුවක සිරවුණු, සංස්කෘතික බැඳීම් හා ආකල්ප සමඟ ජීවත්වන බොහෝ දෙනෙක් තමුන් ජීවත් වන සමාජ රාමුව තුළම කොටුවෙලා සිරවෙලා මියදෙනවා. විශේෂයෙන්ම පෙරදිග ලෝකයේ රටවල කාන්තාවන් විශාල වශයෙන් කොටුවෙලා ඉන්නේ මෙවැනි රාමුවක.

මේ ගතානුගතික චින්තන රාමුව බිඳගෙන ඉදිරියට එන යුවතියන් අපට බොහෝවිට හමුවෙනවා. ඔවුන් තම ජීවිතය සාර්ථක කරගෙන තිබෙන්නේ තම සමාජ සම්මතය බිඳගෙන නිදහස්ව තීන්දු තීරණ ගැනීම නිසයි. අපට පසුගිය දිනක මේ වගේ සිතපු, ජීවිතයට දිරියෙන් මුහුණ දී අභියෝග ජය ගත්තු ආදර්ශමත් යුවතියන් පිරිසක් සොයා යන්න අවස්ථාව උදා වුණා.

ගිනි ගහන මධ්‍යාහන ගෙවාගෙන අපි ඔවුන් සොයා යන විට සවස 2.00 පසු වී තිබුණා. ඩී.ආර්.විජයවර්ධන මාවත ඔස්සේ ගමන් කළ අපේ රථය මරදාන දෙසට ගමන් කර ඉන් පසුව බොරැල්ලෙන් හැරී නාරහේන්පිට දෙසට ගමන් කළේ තරමක වේගයෙනි. නාරහේන්පිට පොලිස් ගරාජය අසල නතර කළ රථය අප සොයා යන හෝඩුවාව ගැන විමසුවෙමු. ‘ආ ඔය හොයන්නේ ළඟදී දාපු නයින්වේල්ස් සෙඩ් එකනේ...ඕක තියෙන්නේ ඔය ඉස්සරහ තියන කලර් ලයිට් එක ගාවින් හැරලා කිරි මණ්ඩල මාවතේ යනකොට‘. එහි සිිටි සේවකයෙක් අපට පැවසුවේ ඉදිරියෙන් පෙනෙන සංඥ කුලුන පෙන්වමිනි.

අපි කිරි මණ්ඩල මාවතේ ඔස්සේ නයින්වේල්ස් රෝහල අසලට පැමිණියෙමු. නවීන පන්නයේ අලුත්ම පිරවුම්හලක් එහි ළඟාවන විටම අප නෙත ගැටුණේ නිරායාසයෙනි. අපගේ රථය පිරවුම්හල දෙසට හරවා ඇතුල්වී අවට දෙස විපරම් කළෙමු. ඉතාම නිසංසල භූමියක වූ මෙහි පිරවුම්හලේ පොම්ප වෙත රථ එකින් එක පොළිමේ ඇදී යන්නේ ක්‍රමානුකූලවය. එහි කිසිම කලබලයක් නොවෙයි. අපගේ රථය ද මේ රථ පෝලිමේ ඉදිරියට ගොස් නතර කර වීදුරු කවුළුව විවෘත කළෙමු.

‘සර්.... ගුඩ් ඉවීනින්... ඩීසල් ද පෙට්ට්‍රල් ද ඕනේ....“ පොම්පය ක්‍රියා කරමින් සිටි යුවතියක් අපෙන් විමසුවේ ඉතාම සුහදශීලී ස්වරයෙනි. “නෑ... අපි මේ ‘තරුණී‘ පත්තරෙන්... අපි ආවේ මේ ඔයාලගේ ෂෙඩ් එක බලන්න. මා පිළිතුරු දුන්‍නේ අපි පැමිණි කරුණ ගැන ඔවුන්ට පැහැදිලි කරමිනි. ‘අතන ඔෆිස් එක තියනවා සර්... අපේ ලොකු සර් (කළමනාකාරතුමා) හම්බ වෙන්න වෙයි. අපට මැනේජ්මට් එකෙන් පර්මිෂන් නැතුව මොනවත් කියන්න බැහැනේ සර්.... ලොකු සර් අවසර දුන්නට පස්සේ අපි කතා කරන්නම්.‘ ඇය අපට පැවසුවේ ඉතාම සුහදශීලි ලෙසිනි.

මේ දුටු කළමනාකාරතුමා ඉතාම සුළු මොහොතකින් අප අසලට පැමිණියේ සිනහවක් මුව රඳවාගෙනය. ඔහු ඉන්පසුව පිරවුම්හල ආරම්භ කිරීමට පදනම හා මෙහි කළමනාකරණයේ සිදුවන ආකාරය ගැන පැහැදිලි කළේ මෙලෙසිනි. “මේ ඉන්ධන පිරවුම්හල ආරම්භ කරලා මාස කිහිපයක් වෙනවා. අපේ මේ පිරවුම්හලේ සියලුම සේවිකාවන් කාන්තාවන්. දැනට අපගේ මේ පිරවුම්හලේ කාන්තාවන් 12 දෙනෙක් සේවය කරනවා. නයින්වේල්ස් රෝහලට අනුබද්ධිත ඇක්සස් සමූහ ව්‍යාපාරයේ NW ලොන්ජ්ටික් පිරවුම්හල ලෙසයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම අපේ ආයතනය මේ ඉන්ධන පිරවුම්හළ ආරම්භ කිරීමේ අරමුණ වුණේ ලාභය ඉපැයීමට වඩා සමාජ මෙහෙවරක් ඉටු කිරීමයි. එහිදී අපගේ නයින්වේල්ස් ආයතනයේ මූලික ආදර්ශ පාඨයක් වන කාන්තාවන් සඳහා සමතැන වෙනුවට හිමිතැන ලබාදීම තේමා පාඨකය කරගෙන තමයි මේ පිරවුම්හලත් ආරම්භ කළේ. මම හිතන්නේ මේ පිරවුම්හල ගැන හා අපගේ සේවාව ගැන අපගේ සේවක පිරිස සමඟ කතා කිරීම හොඳයි කියලා. ඒ නිසා මෙහි සේවාව පවත්වාගෙන යන ආකාරය ගැන මේ සේවක පිරිස් සමඟ ඔයාලා කතා කරලා බලන්න.‘ ඔහු නිදහසේ එම සේවක පිරිස සමඟ කතා කිරීමට අපට අවස්ථාව ලබා දී ඔහු අපගෙන් සමුගත්තේ සුහදශීලිවය.

කාර්යය බහුල නිසාම ඔවුන් සමඟ කතා කිරීමට කාලය වෙන්කර ගැනීම අපට අසීරුම කටයුත්තකි. මොහොතක් හෝ නතර වූ විට පොම්පය අසල රථයක් නතර වෙයි. තම සේවාදායකයා ප්‍රමාද කිරීමට අකමැති මේ සේවිකාවන් අතුරින් මොහොතක් කතා රන්න අප පුංචි කාලයක් වෙන්කර ගත්තේ කාංචනා නිසංසලා සමඟිනි. මොනරාගල සිට මෙහි සේවයට පැමිණි ඇය තම ආයතන යන සඳහන් කළේ මහත් සතුටිනි.

“ඇත්තටම මම මේ රස්සාවට ආවේ හරිම කැමැත්තෙන්. මේ කාලේ හුඟාක් රැකියාවල පඩිය ප්‍රමාණවත් නැහැ. නමුත් අපට මේ ආයතනය ගෙවන පඩිය හොඳයි. සාමාන්‍ය පිරවුම්හලක සේවය කිරීමට වඩා මේ පිරවුම්හලේ සේවය කිරීම පහසුයි. එක පොම්පයකට අපි දෙන්නෙක් ඉන්නවා. එක දිගටම වැඩ කරන්න වෙන්නෙත් නැහැ. විවේකයකුත් තියනවා. මේ පිරවුම්හල සම්පූර්ණ ආවරණය කරලා තියන නිසා අව්වෙන්, වැස්සෙන් ගැටලුවක් ඇති වෙන්නෙත් නැහැ. අපට රාත්‍රී කාලයේ සේවය කරන්න අවශ්‍ය නැහැ. රාත්‍රී කාලය සඳහා පමණක් සේවකයන් තුන්දෙනෙක් ඉන්නවා. එහෙම කරලා තියෙන්නේ අපේ ආරක්ෂාව වෙනුවෙන්. අපට මුලින්ම මේ ආයතනයට ආපු දවසේම සේවාදායකයන් සමඟ සුහදශීලි ලෙස කටයුතු කරන ආකාරය ගැන පුහුණුවක් ලබාදුන්නා. ඒ නිසා කාන්තාවන් ලෙස ඕනෑම සේවාදාකයෙක් සමඟ කටයුතු කිරීමේ හැකියාව දැන් අපට තියනවා.‘

ඇයගේ කතාව අතර අප සමඟ පිළිසඳරට එක් වූයේ කොළොන්නාවේ බී. නිල්මිණිය. ඇය ද මෙහි ඉතාම සතුටින් සේවය කරන සේවිකාවකි.

“මේ පිරවුම්හලට විවිධ ආකාරයේ සේවාදාකයෝ පැමිණෙනවා. සමහර අවස්ථාවලදී මුදල් ගනුදෙනුවලදී සිද්ධ වෙන අතපසුවීම්වලදී ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවෙම ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න වෙනවා. අපට ඒ සඳහා හොඳ මානසිකත්වයක් මේ පිරවුම්හල තුළ තිබෙනවා. අපට අවශ්‍ය විවේකය, ආහාර, තේ, සැම දෙයක්ම හරියටම ලබා දෙනවා. ඒ නිසා අපට කෑමට වියදමක් නැහැ. මේ කාලේ හැටියට ඒක ලොකු ඉතිරියක්. ඒ වගේම අපට විවේක ගැනීම සඳහා සකස් කර දී තිබෙන කාමර පවා හරිම ආරක්ෂිතයි. අපේ ආරක්ෂාව හා මානසිකත්වය ගැන මේ පිරවුම්හලේ සිටින කළමනාකාරිත්වය සෑම වෙලාවක සොයා බලනවා. අපට ඒක විශාල ශක්තියක්. කාන්තාවක් ලෙස මේ වගේ රැකියාවක් කිරීම කිසිම ලැජ්ජාවකට කරුණක් නොවෙයි.

ඇත්තටම මේ රැකියාව අපට ලොකු අභිමානයක්. සමාජයේ පහසුවෙන් මුදල් උපයන්න, විවිධ නීති විරෝධි රැකියාවක් කිරීමට වඩා තමුන්ගේ දහඩිය මහන්සිය වැය කරලා මුදලක් අතට ගන්න ලැබීම අපට හරිම සතුටක්. ඒ සතුට අපේ පවුලටත් ආශිර්වාදයක්. අපට සමාජයෙන් මොන ප්‍රතිචාර ලැබුණත් අපි නිවැරැදි දේ කරනවා නම් එය කාටවත් අදාළ නැහැ. ඒ නිසා මේ රැකියාව මේ හැම සේවකයෙක්ම කරන්නේ ඉතාම සතුටින්. අපිට ඒ වෙනුවෙන් සේවාදායකයන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. ඒ නිසා අපි දවස පුරාම සතුටින් සේවය කරනවා.“

 

ඡායාරූප - ශාන් රූපස්සර