දරුවට සපත්තු දෙක අරන් දුනනේ ඉඩම විකුණලා - තරුෂිගේ මව

තරුෂි කියන තරුව හැදුවේ එක දවසකින් නෙවෙයි - සුසන්ත සර්
නොවැම්බර් 13, 2023

තරුෂිට තරුණී වෙතින් උපන්දින තෑග්ගක්!

 

තරුෂි කරුණාරත්න.... ඇය අපගේ මලල ක්‍රීඩා පිටියේ දිලී දිදුලන අනාගත ඔලිම්පික් අපේක්ෂාවයි. තරුෂි ක්‍රීඩා ජීවිතයට පියවර තැබුවා පමණය. ඒ පළමු පියවරම ඉතා සාර්ථක ලෙස ඇය ජයගෙන හමාරය. තරුෂිට අවුරුදු 19ක් සපිරෙන්නේ මේ මාසයේ 18 දිනටය. ඇයගේ උපන් දිනයට ‘තරුණී‘ අමරණීය සිහිවටනයක් තිළිණ කරන්නේ මේ පුංචි ක්‍රීඩා තරුව ගැන දහසක් අපේක්ෂා, ජයග්‍රහණ පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙනය.

ආසියාවේ මීටර් 800න් නව වාර්තාවක් තැබූ තරුෂිගේ ක්‍රීඩා ඉතිහාසය ගැන සටහන් තබන්නට අපි මෙහි ඉඩ වෙන් නොකළෙමු. ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩිකාවක් ලෙස ආසියානු වාර්තාවක් තබමින් තරුෂි තැබූ ජයග්‍රහණය ලබන්නේ වසර හයකට පෙර චීන ක්‍රීඩිකාවක් වන ෂැං ජියන් තැබූ වාර්තාව බිඳ දමමිනි. ඇය තැබූ මේ තරග වාර්තාව ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්නේ මේ වාර්තාව තැබූ ළාබාලතම පාසල් ක්‍රීඩිකාව ලෙසිනි. තරුෂි මෙවර සමස්ත ලංකා ජාතික ශුරතාවය දිනා ගත්තේ ද ක්‍රීඩා පොතේ තවත් සුවිශේෂි සටහන් තබමිනි. ඒ ඇය පසුගිය වසරේ තැබූ වාර්තාව බිඳ දමමිනි. තරුෂි මෙවර මේ සමස්ථ ලංකා තරග මාලාවට සහභාගී වන අවසන් වසර වීම ද තවත් විශේෂත්වයකි.

කාලයකට පසු අපි සුපුරුදු තැනකට පා තැබුවෙමු. සුගතදාස ක්‍රීඩාංගණය විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. මුළු ක්‍රීඩාංගණය සිසරා

ක්‍රීඩා සැණකෙළියකි. මා ක්‍රීඩාංගනයේ ඈත කොණ දෙස නෙත් අයා බැලුවෙමි. වසර ගණනකට පෙර අප එහි දැක පුරුදු මුහුණු එකක්වත් නොවෙයි. අපි ක්‍රීඩා අට්ටාලයේ කොණක හිද ගත්තෙමු. සූසීගේ ජවය, ශ්‍රියානිගේ සිනහව, සුගත්ගේ ගැඹුරු හඬ, මංජුලගේ රුව එහි මැවී පෙනෙයි. ඒ අතීත සිහින අතුරින් මා පියවි ලොවට පියනැඟුවෙමි. ‘නංගී දැන් මෙතනට එයි.. අපි එතකම් සුසන්ත සර් එක්ක කතා කරමු.‘ අප අසලට පැමිණි තරුණයෙකු පැවසුවේ ඡායාරූප ශිල්පී ශාන්ගේ පෙර හැඳුනුම්කමටයි. ‘මේ තමයි තරුෂිගේ අයියා නම හර්ෂ“ ශාන් මට හඳුන්වා දුන්නේ තරුෂිගේ සහෝදරයාය.

තවත් මොහොතකින් අප පියනැඟුවේ ක්‍රීඩා අට්ටාලයේ ඉහළ මහළටයි. මේ තමයි අපේ සර් සුසන්ත ප්‍රනාන්දු..‘ අපි කිසි දිනක හමු නොවුණත් දුරකතනයෙන් අප සමඟ තිබූ සැබැඳියාව සිහිකළ සැනින් ඔහු අප සමඟ ළෙන්ගතුකම උතුරා ගලන සල්ලාපයට මුල පිරුවේ තරමක කලබල ස්වරූපයක් මුහුණේ රඳවාගෙනය.

‘මොකද සුසන්ත මහත්තයා.... ටිකක් කලබලවෙලා. ඔහුගේ කලබලය හා තැතිගැම්ම නිසාම මම විමසුවෙමි. ‘ඇත්තට අපි දැන් ලොකු අභියෝගයකට මුහුණ දීලා ඉන්නේ. අපි දරුවෙක් ජාතික මට්ටම දක්වා ගේන්න විශාල වෙහෙස මහන්සියක් ගන්නවා. වසර ගණනක් මහන්සිවෙලා අපි හදපු දරුවෝ ජාත්‍යන්තර පෞද්ගලික පාසල්වලට යනවා.පාසල් මට්ටමින් පස්සේ ඒ දරුවන්ට ඉදිරියට යන්න අවස්ථා නැති වෙනවා. මේක ඒ දරුවන්ට කරන විශාල හානියක්. මේ නිසා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බිහි කිරීමට අපට තිබෙන අවස්ථාව නැතිවීම විශාල ගැටලුවක්. මේ තත්ත්වය ගැන දැන් අපි ක්‍රීඩා අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත් සමඟ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් පවත්වනවා.

ඒ වගේ විශාල කැපවීමක් කරලා තමයි මම තරුෂි කියන තරුව හැදුවේ. තරුෂි මට මුලින්ම හමුවෙන්නේ හතේ පන්තියේදී. මම තරුෂිව හතේ පන්තියට ගන්නකොට එයා ඒ වයස් සීමාවේ දරුවන්ට වඩා හුඟාක් පොඩියි. හැබැයි මේ දරුවා මම ගත්තේ එයාගේ අයියා හර්ෂ නිසයි. හර්ෂ ඒ වෙනකොට දක්ෂ දරුවෙක්. එයා සමස්ත ලංකා ජයග්‍රහණය කරලා ආසියානු තරග සඳහා සුදුසු මට්ටමේ හිටියේ. හර්ෂගේ තිබුණු හැකියාව තරුෂිටත් ඇති කියන විශ්වාසයට තමයි මම මෙයාව තෝරා ගත්තේ. නැත්තම් මෙයාගේ ශරීරයේ බාහිර ස්වරූපයෙන් ක්‍රීඩා කිරීම ගැන හිතන්නවත් අමාරුයි. මම දරුවෙක් තෝරා ගත්තට පස්සේ දරුවාගේ දක්ෂතා හඳුනාගැනීමේ පරීක්ෂණයට යොමු කරන්නේ අවුරුදු 13දී. ඒ පරියේෂණයේදී මට විශ්වාසයක් ඇති වුණා තරුෂි ගමනක් යයි කියලා. ඊට පස්සේ මෙයාගේ වයසට ගැළපෙන ආකාරයට දිගටම පුහුණුවීම් කරගෙන ගියා.

මෙයා 16 පහළ පළමු අවුරුද්ද වෙනකොට මීටර් 800 සමස්ත ලංකා තුන්වැනි ස්ථානය ලබා ගත්තා. දෙවැනි වර්ෂයේදී මෙයා මීටර් 800 සහ මීටර් 400 දෙකම දිනන්නේ වාර්තාවක් තියලා. එතකොට මට පුදුම විශ්වාසයක් ඇතිවුණේ අනිවාර්යෙන්ම තරුෂි ජාත්‍යන්තර මට්ටමට එනවා කියලා.

මෙයාට 18 පහළ වයස් සීමාවේදී ක්‍රීඩා කරන්න බැරි වුණා. එතකොට ලංකාවේ කොවිඩ් තදින්ම පැතිරුණා. ඊට පස්සේ 20න් පහළ තමයි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. නමුත් කොවිඩ් කාලෙත් මම පුහුණුවීම් දිගටම කළා. තරුෂිගේ මවුපියෝ හරිම දුප්පත්. ගෙයක් කුලියට අරගෙන තමයි දරුවා පුහුණුවීම්වලට ආවේ.

මෙයා මුලින්ම 2022 තමයි ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයට සහභාගි වුණේ. කෙන්යා සහ කොලොම්බියා තරග දෙකට මෙයා ඉදිරිපත් වුණා. කොලොම්බියා යනකොට තරුෂි හොඳ මට්ටමේ හිටිය නමුත් ප්‍රශ්නයක් ඇතිවෙලා මෙයාට මීටර් 400ට විතරයි සහභාගි වෙන්න ලැබුණේ. අපි යනකොට මීටර් 800 ඉවරයි. කොහොම හරි 2023 ආසියානු තරගයට යනකොටම මම දැනගෙන හිටියා මෙයා රන් පදක්කම ගන්නවා කියලා. මෙයාත් ඒ වෙනකොටත් ආසියානු තරග වාර්තාවටත් වඩා ඉදිරියෙන් තමයි හිටියේ. නමුත් තරගයේදී තමයි තීරණය කරන්න වෙන්නේ ජයග්‍රහණය ගැන. සෑම ක්‍රීඩිකාවක්ම තරගයේදී උපක්‍රමශීලි වෙනවා. අපේ උපාය සාර්ථක වුණා. චීන ක්‍රීඩිකාව හිතුවේ අන්තිම මීටර් 100 දුවලා ජයග්‍රහණය කරන්න. නමුත් මෙයා අන්තිම තත්පර කිහිපයේදී තමයි නිර්වායු ස්වසනයෙන් දුවලා වේගය වැඩි කරගත්තේ.

තරුෂිගේ විශේෂත්වය තමයි එයා තරගවලට බය නැහැ. හුඟාක් ළමයි පුහුණුවීම්වලදී  හොඳට දුවනවා. නමුත් තරගයේදී බය වෙනවා. නමුත් තරුෂි එයාගේ මොරාල් එක ගන්න බය තමයි ඇඟට ගත්තේ. මේ තරගයේදීත් මට කිව්වේ සර් මට තාම බය දැනුණේ නැහැනේ කියලා. එයා පිට්ටනියට බැස්සට පස්සේ එයාගේ මුහුණේන් තේරෙනවා බය වෙලා ඉන්නේ කියලා. හුඟාක් ළමයි පිට්ටනියට බැස්සට පස්සේ මෙයා දිනයි ද, අරයා දිනයි ද කියන මානසිකත්වයෙන් ඉන්නේ. නමුත් තරුෂි ඒවා ගැන හිතන්නේ නැහැ. එයා තරගය දිනන මානසිකත්වයෙන්මයි ඉන්නේ. මම දැන් අවුරුදු 38ක් තිස්සේ දරුවන්ට ක්‍රීඩා පුහුණු කරනවා. නමුත් මේ මොරාල් එක තියෙන්නේ තරුෂිට විතරයි. ඒක සුවිශේෂයි. එයා අනෙක් ක්‍රීඩකයන් ගැන කිසිම බයක් නැහැ. තරගය සැලසුම් කළ ආකාරයට හරියටම දුවනවා.‘

ඔහු තරුෂි ජයග්‍රහණය කරා මෙහෙය වූ නියමුවා ලෙසින් ඇති සතුට අපට එලෙසින් පවසමින් ක්‍රීඩාංගණයෙන් ඇවිද යමින් සිටින විට අපට හමු වූයේ තරුෂිගේ ලෝකය මැවූ මවුපියන්ය. නිලාන් කරුණාරත්න සහ නිලුෂිකා දිල්රුක්ෂි දෙදෙනා තරුෂි මේ තරම් දුරක් ගෙන එන්නට කැප කිරීම සුළුපටු නොවෙයි. නෑ සබඳතාවයක් නිසා හමුවන නිලාන් සහ නිලුෂිකාගේ කැදැල්ලට මුලින්ම වාසනාව රැගෙන ආවේ හර්ෂය. ඔහු ක්‍රීඩාවට අත්පොත් තබන්නේ තම මවුපියන්ගේ ආභාෂයෙනි. ඔවුන්ගේ පවුලට එක් වූ දෙවැනියා වූයේ තරුෂිය. තරුෂිට පසුව මේ පවුලේ බාලයා වන්නේ දිහාරාය. නිලාන් සහ නිලුෂිකාගේ එක් වීම ද ක්‍රීඩාව නිසාම සිදුවූවකි. ඔවුන්ට බැරි වූ දුර දිව ගොස් ජයග්‍රහණය ලබන්නට දරුවන්ට හැකිවීම මවුපියන් ලෙස මහත් ආඩම්බරයකි.

මේ ආඩම්බරය ගැන තරුෂිගේ මව නිලුෂිකා හැඟුම්බරව සඳහන් කළේ මහත් සතුටිනි.

‘තරුෂි පොඩි කාලේ පටන්ම හරි වෙනස් දරුවෙක්. එයා පුංචි කාලේ හරි පොඩියි. එකේ පන්තියට එයා භාරදෙනකොට බර කිලෝ 11යි. එයා හරිම පුංචියි. එයාගේ පන්ති භාර දමයන්ති ටීචර්ගේ බත් එකේ කොළ මැල්ලුම් ටික තරුෂිට කවනවා. මටත් ඒ ගැන පුංචි බයක් තිබුණා. අපට පුළුවන් විදිහට දරුවන්ට කෑම බීම ටික දුන්නා. නමුත් දරුවාගේ වැඩීම වෙනසක් වුණේ නැහැ. හතේ පන්තියේදී තමයි දුව වලල ඒ රත්නායක මහ විද්‍යාලයට ආවේ. හැබැයි සුසන්ත ප්‍රනාන්දු සර් දුව දැකපු දවසේම කිව්වා මෙයා මට ජාත්‍යන්තර මට්ටමට ගේන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය අපටත් ඇතිවුණා. එදා පටන්ම අපේ තිබුණු සෑම දේම වියදම් කරලා හැම තරගයකටම දරුවා ඉදිරිපත් කළා. මම ගුරුවරියක් වුණාට සැමියාට රැකියාවක් නැහැ. එයා ත්‍රීවිල් හයර් කරන්නේ. අපට තිබුණු ඉඩම් පවා විකුණලා දරුවන්ගේ ක්‍රීඩා සපත්තු අනෙක් වියදම් කළේ.

අපේ දරුවෝ තුන්දෙනාම හරිම දක්ෂයි. තරුෂිට පුංචි කාලේ පටන්ම හොඳ ඉලක්කයක් තිබුණා. එයා පුංචි කාලේදී හුඟාක් ජීවත් වුණේ සොබාදහමත් එක්ක. ඇළේ, දොළේ, ගහ කොළ එක්ක තමයි එයාගේ කාලය ගෙවුණේ. එයා මට පුදුම ආදරයක් තිබුණා. දුව මට හැමවෙලේම කියන්නේ අම්මා බය වෙන්නේ එපා මගේ බර ගැන මම කොහොම හරි අයියා වගේ චැම්පියන් වෙනවා කියලා. එයා හෝස්ටල් එකේ හිටියට හැමදාම අපට හවසට මවුපියන්ට වඳින ගාථාව කියලා පිං දෙනවා. ඊට පස්සේ තමයි නින්දට යන්නේ. සමහර දවසට මහ රෑටත් කතා කරලා ගාථාව කියලා නිදා ගන්නවා.

අපේ දුව වෙනස් විදිහට හිතන දරුවෙක්. එයා කියන්නේ මොනවා කළත් වැඩක් නැහැ. ඉගෙන ගන්න ඔනෙ කියලා. ඒ නිසා මේ දවස්වල දුව එයාගේ ඉගෙනීමේ කටයුතු ගැනත් වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා. දුව 2024 අවුරුද්දේ උසස් පෙළ වානිජ අංශයෙන් පෙනී ඉන්නවා. මම හිතන්නේ දුව ඒ ඉලක්කයත් ජය ගනියි කියලා. ඇත්තටම මවක් ලෙස මගේ දුවගේ දක්ෂතාවය දකිනවිට ඇතිවෙන සතුට කියා නිම කරන්න බැහැ. අපි එයා සහභාගි වෙන හැම තරගයක් බලන්නම පවුල පිටින්ම යන්නේ ඒ නිසයි. පවුලක් විදිහට අපේ තියන බැඳීමක් මේ ජයග්‍රහණයට හේතුවක් කියලයි මම හිතන්නේ.

තරුෂිගේ මවගේ සිතේ ඇති සතුට උතුරා ගලන්නට ඇය තව දුරක් දිව යා යුතුව ඇත. දිනක ඇය ලෝකයක් ජය ගෙන ඔලිම්පික් පදක්කමක් රැගෙන එන දිනක අප සැමටම ආඩම්බර ලෙසින් සිංහ ධජය ලෙළදෙන දවස තෙක් බලා සිටිමු. ඒ ජයග්‍රහණය ලබන්නට යෝධ ශක්තිය ඇයට ලැබේවායි අප සුබ පතන්නේ ළාබාල ක්‍රීඩිකාවක ලෙසින් ඇය පෙන්වා ඇති දක්ෂතාවයන් ගැන සතුටු වෙමිනි.

 

ඡායාරූප - ශාන් රූපස්සර