වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ජිවිතේ දුක් වින්ද කාලේ දැන් ඉවරයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය ඉතා සුන්දරය. ඒ සුන්දර ඉතිහාසය පුරා අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපට රැගෙන ආ පදක්කම් හා ජයග්‍රහණ බොහෝය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් සමුගෙන සිටියත් ඔවුන් අප රටට තිබෙන ගෞරවය නිසාම තවමත් ක්‍රීඩාවට ආදරය කරමින් ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා පිටියේ දස්කම් දක්වයි.
පසුගියදා පිලිපීනයේ පැවැති ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුයේ ද එවැනි තරගකරුවන් පිරිසකි. ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් රැගෙන ඒම විශාල ගෞරවයකි. මෙලෙසින් ලැබූ ජයග්‍රහණ අතුරින් සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගත් මුලතිව් ප්‍රදේශයේ අකිලා තිරුණායකීගේ ජයග්‍රහණය බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ කතා බහට ලක්විය. වයස අවුරුදු 71ක් වන ඇය ලැබූ මේ ජයග්‍රහණයේ සතුට සමඟින් මෙතෙක් ආ අති දුෂ්කර ගමන ගැන අපට හෙළි කළේ මෙලෙසිනි.
“මම ක්‍රීඩා කරන්නේ පාසල් කාලේ පටන්. නමුත් අපි අවුරුදු තිහක් යුද්ධය නිසා බැට කෑවා. ඒ නිසා අවුරුදු ගණනාවක් හරි ආකාරයෙන් ක්‍රීඩා පුහුණු වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මගේ ක්‍රීඩා හැකියාව නිසාම මට බන්ධනාගාර සේවයට එක් වෙන්න අවස්ථාව ලැබුණා. මම බන්ධනාගාර පරීක්ෂකවරියක් ලෙස සේවය කරලා දැන් විශ්‍රාමිකයි. මම බන්ධනාගාරයේ සේවය කරන කාලයේදී බන්ධනාගාර ක්‍රීඩා උලෙළේ දී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මම ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සංගමයට එකතුවීමෙන් පසුව රටවල් රාශියක තරග සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුණා. බැංකොක්, මැලේසියාව වැනි රටවල සංචාරය කිරීමෙන් රන් පදක්කම් රැසක් දිනා ගැනීමට හැකිවුණා.
මම සහභාගී වුණු තරග අතුරින් පිලිපීනයේ පැවැති ජ්‍යෙෂ්ඨයන්ගේ ආසියානු මලල ක්‍රීඩා තරගයේදී මීටර් 1500 සහ 5000 තරග ඉසව් දෙකටම රන් පදක්කම් හිමිකර ගත්තා. මීටර් 800 ඉසව්ව සඳහා හිමි වුණේ ලෝකඩ පදක්කම.
ඇත්තටම දැන් මම ජීවිතයේ දුක් විඳපු කාලය ඉවරයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ විදේශ රටවල ඉන්නේ. මගේ සැමියා දැන් ජීවතුන් අතර නැහැ. නමුත් මම ජීවිතේ දෙස ආපහු හැරිලා බලන්නේ හරිම ආඩම්බරයෙන්. මගේ රට වෙනුවෙන් පදක්කම් රාශියක් ගේන්න මට වාසනාව ලැබුණා. ඒ වාසනාව නිසාම තවමත් මම නිරෝගීව ඉන්නවා. ඒ සතුට සෑම දෙයකට වඩා වටිනවා. අපි යුද්දෙන් බැට කෑවා. නමුත් අසීරුකම් මැදින් ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලැබුණා. ඒ ශක්තිය ලැබුණේ මගේ මවුපියෝ පුංචි කාලේ අපට දුන්න කෑමබීමවල බලය තමයි. මට අවුරුදු 71 වෙලත් අම්මා දුන්න කිරිවල බලය මගේ ඇඟේ දුවනවා. ඒ බලයෙන් මට පුළුවන් කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා.‘
ඇයගේ එම අධිෂ්ඨානශීලි හැඟුම්බර ආත්ම විශ්වාසය තුළ රැඳී තිබුණේ යෝධ ශක්තියකි. වයස අවුරුදු 71ක මවක් වුවත් අකිලා තවමත් ජව සම්පන්නව ජීවිතයේ ජයග්‍රහණ කරා හඹා යන්නට සිහින මවයි. ඒ ඇය උපතින් ලැබූ පන්නරය හා යුද්ධය නිසා දුක් විඳි කාල පරාසයේ ලැබූ අත්දැකීම් සමුදයයි.