මටයි පුතාටයි ඉන්න ගෙයක් ලැබුණොත් ඒ හොඳටම ඇති.

දෙසැම්බර් 11, 2023

මැදියමේ ඉඳලම මඳ පොද වැහි එක සීරුවට පාත්වූ ව,dකුළු වැස්ස නිමාවෙන පාටක්වත් අහසේ ඇඳිල නෑ. ඒත් උදෑසනම අප මේ ගමන යා යුතු‍මයි. ඔහු අප එනතුරු මං බලා සිටිනවා නො අනුමානයි.

ඔහුගේ නම ඇන්ඩ්‍රියෝ. ඇන්ඩ්‍රියෝ කියන්නේ යෝධ හදවතක් තියෙන පුංචි මිනිහෙක්. හැබෑවටම කියනවා නම් ඇන්ඩ්‍රියෝ මේ වෙද්දී රටම දන්නෙ හඳුනන්නෙ උද්‍යෝගය පුංචි සිත්තරා විදිහට. ඒ ඇත්තටම කියනවා නම් ඇන්ඩ්‍රියෝ කැන්වසයක් මත අඳින්නේ සිතුවම් කරන්නේ එයාගේ ජීවිතේ කියලයි අපට හිතෙන්නෙ. ඇන්ඩ්‍රියෝ ගැන, එයාගේ චිත්‍ර ගැන බොහෝදෙනා කතා කළා. ඒත් එයාගේ ජීවිතේ තියෙන දහසක් බාධක ගැන තමයි අපි අද කතා කරන්නේ. ඔහු ෂෙමිල් ඇන්ඩ්‍රියෝ රූපස්. පුංචි සිත්තරෙක් කිව්වට අවුරුදු 21ක තරුණයෙක්. ඔහුට පුංචි සිත්තරෙක් කියා ආමන්ත්‍රණය කළේ වයසෙන් තරුණ වුණත් ඔහුට තිබුණේ පුංචි එකෙකුගේ අහිංසක හිනාවක්. හුරුබුහුටි පෙනුමක්. ඉතින් ඔහු වයසින් වැඩිමල් වුණත් හිතින් තවමත් පුංචි කෙනෙක්. ඒ ඔහු විශේෂිත දරුවෙක් නිසයි.

වැලිසර මැක්ඩොනල් එක ළඟින් මර්සිලන් උද්‍යාන පාරට හැරෙද්දි උද්‍යානයක පෙනුමක් හිතේ ඇඳී ගියත් උද්‍යානයක් නම් හමුවුණේ නැහැ. ටික දුරක් යද්දී හමුවන පළමු හතරමං හන්දියෙන් දකුණට දාද්දිම ඒ හුරුපුරුදු රුව අප සොයාගෙන ඇවිත් තිබුණා. ඇන්ඩ්‍රියෝ ඇවිත්. ඔහු සිටියේ සිනාමුසු මුහුණින්. ඈත ඉඳන්ම අත වැනූ ඔහුගේ දෑස්වල තිබුණේ අපූරු උනන්දුවක්. කියාගන්න බැරි සතුටක්. ඒ අපූරු පිළිගැනීමත් එක්ක අපි ඔහුගේ නිවෙසට පැමිණියා.

ඉතින් කොහොමද ඇන්ඩ්‍රියෝ....?

ඔහුගේ මුවගේ ඇඳුණේ අපූරු පුංචි සිනහවක්. ඒ හිනාව ඇතුළේ කියාගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා කියලයි මට හිතුණේ. ඒ හිනාව හැමදාමත් ඒ විදිහටම තියන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඔහුගේ ආදරණීය අම්මා. ඇය ලලනි පෙරේරා. අද උදේ ඉඳන්ම පුතා ලෑස්ති වෙලා, ඔයාලා එනකන් මඟ බලාගෙන හිටියා. එයා හරිම කැමැති කට්ටියව අඳුර ගන්න. එයාට හැමතැනම යාළුවෝ.. ඇය කතාවට මුල පිරුවේ එහෙමයි.

ඇන්ඩ්‍රියෝ දැන් හරි ප්‍රසිද්ධයි නේද?

ජා-ඇල kzone එකේ චිත්‍ර අලෙවි කරන්න ගත්තට පස්සේ එයාව අඳුරන පිරිස වැඩියි. එයාගෙන් චිත්‍ර ගන්න එන ගොඩක් අය එයා ගැන විස්තර සමාජ මාධ්‍ය ජාලාවල දානවා. ඒ නිසාම එයාව හොයාගෙන ගොඩක් අය එනවා. පාරේ යද්දිත් පොඩි ළමයි පවා කියනවා අර යන්නේ චිත්‍ර අඳින අයියා නේද කියලා. එයා ගැන විඩියෝවක් යූ ටියුබර් කෙනෙක් කළා. ඒක වයිරල් වෙන්න ගත්තට පස්සේ සෑහෙන දුරකතන ඇමතුම් ප්‍රමාණයක් දිනකට එනවා. ගොඩක් අය එයාට උදවු කරන්න කැමැතියි. එයා කොතැන ගියත් අලුත් යාළුවෝ හදාගන්නවා.

එයා අාසම දේ චිත්‍ර අඳින එක ද?

එයා චිත්‍ර අඳින්න ආසයි. හැබැයි එයා ඊටත් වඩා ආසයි ජිම් යන්න. වේට් කරන එකක් මං අරන් දුන්නා. එයා ගෙදරදී වේට් කරනවා. නළුවෙක් වෙන්නත් ආසයි. එක එක ඇඳුම් ඇඳලා ෆොටෝ ගන්නත් හරිම ආසයි. හරි ලස්සනට නටන්නත් පුළුවන්. සතියේ දිනවල එයා චිත්‍ර අඳිනවා. ඒ ඇඳපු චිත්‍ර සති අන්ත දින දෙකේදී Kzone එකේ විකුණන්න යනවා. ඉතාම පොඩි ගණන්වලට තමයි ඒවා අලෙවි කරන්න. ඉතින් චිත්‍ර ගන්න එන ගොඩක් අය චිත්‍රයේ මුදලට වඩා වැඩි මුදලක් දීලා අරන් යන අවස්ථා තියෙනවා. ජෝන් කීල්ස් ආයතනයට මං ස්තූති කරනවා පුතාට නොමිලේම kzone එකේ චිත්‍ර විකුණන්න අවස්ථාව ලබා දුන්නාට.

ඇයත් සමඟ කතා බහ කරද්දි ඇන්ඩ්‍රියෝ ඔහු ඇඳපු චිත්‍ර අපිට එකිනෙක පෙන්නනත් අමතක කළේ නැහැ. ඒ අතර එයා හදපු නත්තල් සුබ පැතුම්පත් ද තිබුණා.

පුතා හදන නත්තල් කාඩ්වලටත් ගොඩක් අය කැමැතියි. එයාගේ නිර්මාණශීලි හැකියාව වෙනස්ම එකක්. පොඩිකාලේ ඉඳන්ම ඒ හැකියාව එයාට පිහිටලා තිබුණා. එයාට අත් දෙකෙන්ම චිත්‍ර අඳින්න පුළුවන්. ඒක තමයි විශේෂම දේ. සමහරවිට දෙවියන් වහන්සේගෙන් ලැබුණු දෙයක් වෙන්න ඇති. එයා අඳින චිත්‍රවලට අරමුණක් නැහැ. සමහර අය කිව්වේ ඒවා ඇබ්ස්ට්‍රෑක්ටික් පේන්ට් කියලයි. ඒක එහෙම වෙන්න ඇති.

ගෙවූ කාලයේදී සෑහෙන දුෂ්කරතා හමුවන්න ඇති..

ඇයගේ දෑස කඳුළින් පිරුණි. ඒ කඳුළු පිරි ඇස් දෙකෙන් කියාගත නොහැකි බොහෝ දෑ තිබුණු බව පසක්කර ගත්තෙමි. පුතා ලැබුණු දා සිට මම පුතා සමඟ මේ ගමන තනියමයි ගත කළේ. පුතාට අවුරුදු 9ක් වගේ වෙද්දී තමයි දැනගත්තේ පුතා මෙහෙම විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් කියලා. ඔහුට අවුරුදු 17 වෙනකම් ජා-ඇල කුඩාවැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. පල්ලියේ ෆාදර් වගේම මගේ නෑදෑයෝ ඒ ගමනේදී මට ගොඩක් උදවු කළා. පුතා හරි දක්ෂයි. මේ තියෙන්නේ එයාට සමස්ත ලංකා තරගවලින් ලැබුණු සහතික. මේ සම්මාන ඔක්කොම පුතාට ලැබුණ ඒවා.

අපි ඒ සහතික පත් එකින් එක බැලුවෙමු.

මෙතරම් සම්මාන සහතික ප්‍රමාණයක් විශේෂ අවස්ථා ඇති දරුවෙක්ට ලැබිය හැකි ද. ඉතිං ඔහු විශේෂ අවස්ථා ඇති දරුවෙක් කියා කිව හැක්කේ කාට ද?

ඇන්ඩ්‍රියෝ විශේෂිත දරුවෙක් වුණත් දැන් ඔහු රටක් කතා කරන ව්‍යවසායකයෙක්?

පුතා උපයන මුදලින් තමයි ගොඩක් දේවල් කරන්නේ. ඒත් මං කැමැති නැහැ අම්මා කෙනෙක් විදිහට ඔහු උපයන මුදල් ගෙදර දොරේ වැඩවලට යොදාගන්න. මොකද අම්මා කෙනෙක් විදිහට ඒක දරා ගන්න හරි අමාරුයි. දැන් දැන් ගොඩක් අය උදවු කරනවා. පුතාගේ ප්‍රසිද්ධියත් එක්කම ඒ වගේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ගේ අම්මලා මට ගොඩක් කතා කළා. මගේ පුතා එයාලට ලොකු ආදර්ශයක්. පුතා කීයක් හරි උපයාගන්නේ එයාගේ හැකියාවත් වාසනාවත් නිසයි.

මේ කතාව අහද්දී මට මතක් වුණේ අම්මව පිටේ තියාගෙන පීනපූ බෝසත් පුතාගේ කතාව. ඇන්ඩ්‍රියෝත් අම්මව බලාගන්නේ පෝෂණය කරන්නේ ඒ වගේ. ඒ නිසාම ඇන්ඩ්‍රියෝ කියන්නේ සිත්තරෙක් විතරක්ම නෙවෙයි..ඇත්තෙන්ම ඔහු වීරයෙක්.

ඇය නැවතත් කටහඬ අවදිකළා.

අපි මේ ගෙදර ඉන්නේ මාසික කුළී පදනමට. ළඟදිම මෙතැනිනුත් යන්න වෙනවා. මේ විදිහට අපි තැන් කිහිපයකම හිටියා. ඉන්න හරි තැනක් ලැබුණොත් ඒ හොඳටම ඇති මට. අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉන්නේ.

ඒ ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි. ඒ බලාපොරොත්තුවට හේතුවක් විය හැකි නම් එය පුණ්‍යකර්මයක් කියා අපි සිතන්නෙමු. මේ එයට අවස්ථාවයි.

ඉතින් ඇන්ඩ්‍රියෝගේත් මවගෙත් පුංචි සේයා රූ කිහිපයකුත් ගෙන අපි ඔවුන්ගෙන් සමුගන්නයි මේ සූදානම.

'මතක් වෙන්න මේක තියාගන්න'

ඇන්ඩ්‍රියෝ මට දුන්නේ ඔහු ඇඳපු පුංචි චිත්‍රයක්. මේ චිත්‍රය මගේ නිවෙසේ කොහේ හෝ තැනක බිත්තිය හැමදාමත් හැඩ කරාවි.

අපි ඇන්ඩ්‍රියෝගේ පුංචි සිනාවට සමුදීලා ආවේ ඔහුගේ පුංචි බලාපොරොත්තු ඉත සිතින්ම සාර්ථක වේවා යැයි පැතුමත් ඇතිවයි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර