වැන්දඹු අනත්දරු

දෙසැම්බර් 30, 2024

බැස යන හිරුගේ මලානික අව්රැල්ල වැටිලා දාස්පෙතියා යාය කහපාටින් දිලිසෙනවා. හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව. තේ කහට එක බීලා සුමනාවතී පෑල දොරින් එළියට බැස්සේ පහන් පැලට තියන්න හෙන්දිරික්කා මල් කඩන්න.


ගම්සභා පාරේ යනෙන මිනිස් රූප අඳුරගන්න අමාරු, ළඟකදී ඉඳලා ඇස් පෙනීම අඩුයි. ඇස් පෙන්නලා කාචයක් දාමු කියලා පුතා කිහිප දවසක් කිව්වත් සිරිතුංගගේ අසනීපෙත් එක්ක ඔට්ටු වුණා මිසක් ඒකට වෙලාවක් තිබුණ එකක් යෑ.

කඩුල්ල හරහට බැඳල තිබුණ ගොක් අත්තේ ගොක්කොළ හුළඟට හෙමින් සර සර ගාන සද්දෙ ඇහෙන්න ගත්තා. පුතාට කියන්න ඕ‍ෙන හෙට දිහාටවත් ඒක ගලවන්න කියලා සුමනාවතී හිතුවා. පහන තියලා බුදුන් වැඳලා සිරිතුංගට පින් අනුමෝදන් කළ සුමනාවතී ඉස්තෝප්පුවේ වැල් ඇඳ දිහා බැලුවා. සිරිතුංග මතක්වෙලා හෝස් ගාලා පපුව පත්තු වුණා. නි‍ෙවස ඉදිරිපස කුඹුරු යාය කෙළවර වෙන්නේ ගම්සභා පාරෙන්. ඊළඟට සමාන්තරව ඇදෙන රේල් පාර. ඒ දෙකටම එහායින් යෝධයෙක් වගේ පේන යෝගමුවා කන්ද.

කන්ද දිහා බලා ඉන්න සිරිතුංග හරි මනාපයි. පරණ ගේ කඩලා අලුතින් හදද්දී ඉස්තෝප්පුව ගත්තේ කන්ද පේන්ඩ. නිකම් ඉන්න වෙලාවට නිසොල්මනේ සිරිතුංග කන්ද දිහා බලාගෙන ඉන්න හැටි සුමනාවතීට මතකයි. අසනීපයෙන් හිටපු කාලෙත් හවස් වරුව ගත කළේ මේ පුටුවේ. හාන්සි පුටුව දකිද්දි සුමනාවතීට මතක් වෙන්නෙ සිරිතුංග. සුමනාවතී හෙමින් පුටුවෙ වාඩිවුණා. සිරිතුංගගේ සුවඳ ඇයට දැනුණා වගේ, කුඹුරු යාය පිසගෙන එන සැන්දෑ සුළඟ ගතේ දැවටෙද්දි ඇයට දැනුණේ සිරිතුංගගේ සුසුම් පොදක් ගතේ දැවටෙනවා වගේ.

ඇය හාන්සි පුටුවට බර වුණා. යෝගමුවා කන්දෙ කීප තැනක හේන් ගිනි තියලා, දුම්රොටු ඉහළ නඟින දිහා සුමනාවතී බලාගෙන හිටියේ දැහැනකට සම වැදිලා වගේ. කැලේ ගිනිමැලයකින් ඉඳහිට මතුවෙන කහපාට ගිනි දල්ලක් හරහා ඇගේ හිත අතීතයට ඉගිළුණා.

සිරිතුංගව කසාද බඳිද්දි සුමනාවතීට අවුරුදු දහනවය ලැබුවා විතරයි. සිරිතුංග වයස අවුරුදු විසි අටක යස ඉළන්දාරියා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් වුණු සිරිතුංග නැවතිලා හිටියේ ක්වාටස්වල. තනිකඩයා නිසා කෑම ගත්තේ සුමනාවතීලාගෙ අම්මාගෙන්. තාත්තා ගොවිතැන් වැඩ කරන අතරේ, අම්මා කඩවලට කඩයප්පන් තැම්බුවා, කෑම පැකට් හදලා දුම්රිය ක්වාටස්වලට යැව්වා. සමහර දවස්වලට සිරිතුංග එනවා කෑම ගෙනියන්න. ඒ කාලෙ තමයි පින්න මලක් වගේ සිරියාවට හිටපු සුමනාවතීව දැක්කේ. අන්තිමට සිරිතුංග, සුමනාවතීගේ ගෙදර බින්න බැස්සා.

තමන්ට තැනින් තැනට මාරු වෙන්න සිදු වුණ නිසා සුමනාවතී මහගෙදරම ඉන්න එක සිරිතුංගගේ හිතට ලොකු සැනසීමක් වුණා. දෙන්නා තුන්දෙනා වුණා. ඒ කාලෙ තමයි සිරිතුංගට නාවලපිටියට මාරුවක් ලැබුණේ. හැම සති අන්තෙකම අම්මවයි, දරුවවයි බලන්න සිරිතුංග ආවා. සුමනාවතීට හොඳ ස්වාමි පුරුෂයෙක් වගේම සුගත්ට හොඳ තාත්තෙක් වෙන්න සිරිතුංගට පුළුවන් වුණා. දෙන්න අතර විරසකයන් ඇති වුණත්
ඒවා දුර දිග නොගියේ සුමනාවතී ඉවසිලිවන්ත ගෑනියෙක් නිසාවෙන්.
වයස හැටෙන් විශ්‍රාම ගත්තත් සිරිතුංග ඉඳහිට නාවලපිටි ගියා “වැඩක් නොකර ගෙදර ඉන්න කම්මැළියි සුමනෝ” කියාගෙන. ඔහුගේ සතුටට බාධා කරන්න හේතුවක් සුමනාවතීට තිබුණේ නෑ.

අවුරුදු හැට හයක් කියන්නේ වයසක් ද? ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා හොරු ගෙනිච්චා වගේ. හදිසි හෘදයාබාධයක් කියලයි දොස්තරලා කිව්වේ. සෙනඟ කන්දරාවක් ආවා මළගෙදර. ඒ අතරේ නාවලපිටියෙ අයත් හිටියා.

හත් දොහේ දානෙත් ඉවර වෙලා තමයි විශ්‍රාම වැටුප හදාගන්න උප දිසාපති කාර්යාලයට සුමනාවතී ගියේ. ලිපිය භාර දීලා ටික දවසකින් කාර්යාලයට එන්න කියලා පණිවිඩයක් ලැබුණා.

“අම්මේ වාඩි වෙන්නකෝ.”

ලිපිකාරිනිය ඇයට කිවුවා.

“නෝනා මොනව හරි අඩුපාඩුවක් ද ලියවිලිවල?”

ලිපිකාරිනිය සුමනාවතී දිහා බලලා සුසුමක් හෙළුවා. “අම්මේ පොඩි පටලැවිල්ලක්. අපිට ෆයිල් එක කොළඹ හෙඩ් ඔෆිස් එකට යවන්න වෙනවා උපදෙස් ඉල්ලලා. විශ්‍රාම වැටුපට තවත් හිමිකාරියක් ඉදිරිපත් වෙලා.”

“මොනවා...” සුමනාවතීගේ දෑස් නිලංකාර වෙනවා දැනුණා. සිරිතුංගගෙ කසාද බිරිය වෙලා අවුරුදු තිස් අටක් වෙනවා. එදා මෙදා තුර කිසි දිනෙක වෙනසක් නොකළ සෙනෙහෙවන්ත සැමියා. කොහොම අවිශ්වාස කරන්න ද.

“කසාද සහතිකයක් ඉදිරිපත් කරලා තියෙනවා ගෑනු දරුවෙක්ගේ උප්පැන්නකුත් එක්ක. හැබැයි පස්සෙ කාලෙක වෙච්ච කසාදයක්. දුවගෙ පියා විදිහට නම තියෙන්නේ සිරිතුංග පෙරේරා කියලා.

ඒ ගෑනු කෙනා ආවෙ තරුණ දුවක් එක්ක. ඒ අම්මට පිළිකාවක්. වැඩිකල් ජීවත් වෙන එකක් නෑ. දුවට පෙන්ෂන් එක හදලා දෙන්න කියල තමයි එයා ඉල්ලුවේ ...”

තවත් මොනවද ලිපිකාර නෝනා කිව්වා. ඒ එකක්වත් සුමනාවතීට ඇහුණෙ නෑ. ආපහු ගෙදරට ආවෙ කොහොමද කියල සුමනාවතීට මතක නෑ. සුමනාවතී හඬා වැටුණා දුක අඩු වෙනකල්. සිරිතුංග ගැන හිතේ තිබුණු විශ්වාසය එක මොහොතින් සුනු විසුනු වුණාට පස්සෙ ඇයට දැනුණෙ විශාල කලකිරීමක්. තමන් ලොකු රැවටීමකට ලක්වෙලා නේද කියල හිතද්දි දරාගන්න බැරි දුකක්, වේදනාවක් ඇති වුණා. ඒ ගෑනු මනුස්සයගෙ වැරැද්දක් නැතුව ඇති. ගෑනු හැමදාම අසරණයි. ඒත් දෙයියනේ මම කොහොමද විශ්වාස කරන්නේ මේ දේවල්. ඇය හීල්ලුවා. මළගෙදර ඇවිත් මිනිය ළඟ හඬා වැටුණු කෙට්ටු ගෑනු කෙනත්, තරුණ ගෑනු දරුවෙකුත් ඇයට මතක් වුණා. ඒ ගෑනු කෙනාට පිළිකාවක් නම් ඇය වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෑ. එතකොට ඒ ගෑනු දරුවා. සිරිතුංග දුවෙකුට ආසාවෙන් හිටි හැටි සුමනාවතීට මතක් වුණා. ඒත් පුතාගෙන් පස්සෙ තමන්ට නැවත දරුඵල හිමි නොවීම ගැන සිරිතුංග හිටියෙ කනස්සල්ලෙන්. එයා මේ දුවට ගොඩක් ආදරය කරන්න ඇති.

මවුපියන්ගේ වැරදිවලට දරුවෝ පළි නැහැ. පිළිකාවෙන් අම්මා මැරුණොත් ඒ දරුවා තනි වෙනවා. ඒ සිරිතුංගගේ දරුවෙක්. එකම ලේ. සුමනාවතීගෙ ඔළුව කකියන්න ගත්තා. කොළඹ ඉඳලා නුවර යන කෝච්චියේ නළා හඬට ගැස්සිලා ඇය පියවි ලෝකෙට ආවා.

සෑහෙන වෙලාවක් කල්පනා කළ සුමනාවතී වාඩි වෙලා හිටිය තැනින් නැඟිට්ටේ තීරණයක් අරගෙන.නි‍ෙවස ඇතුළේ අඳුර මකන්න ඇය චිමිනි ලාම්පුව පත්තු කළා. කොහෙද ඉඳලා ආපු මෙරුවො එකා දෙන්නා චිමිනිය වටේ කැරකෙන්න ගත්තා. එකෙක් දෙන්නෙක් ඉඳහිට ඇවිල්ලා චිමිනියෙ වැදිලා බිම වැටුණත් චිමිනිය රත් වෙලා නැති හින්දා උන්ට හානියක් වුණේ නැහැ.

සුමනාවතී ආයෙත් මහ උළුවස්සෙන් මිදුල දිහා බැලුවා. දැඩි වෙච්ච අඳුරත් එක්ක හමාගෙන ගිය සුළඟ මැදින් පහන් පැලේ මැටි පහන අපූරුවට දැල්වෙන රඟ සුමනාවතීගේ හිතට එකතු කළේ නිවිච්ච හැඟීමක්.