වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
කරදිය රැලි මඟ දිගේ කොදෙව් ගමන හරි අගේ
අපේ සිතියමේ ඉරක් වන්ව සලකුණු වූ පටු දිගු මාවත පසුකොට යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය තෙක් පැමිණි ගමනේදී දැනුණේ රට අතැර වෙනත් දේශයකට යන සංචාරකයකුට දැනෙන සතුටුදායක සිතිවිල්ලකි.
කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට නාගදීපයට යන මහා සෙනඟ මුහුදු අගුල් දියත්කොට විනාඩි පහළොවක් වේලා යනතෙක් හොඳින් පෙනිනි. මේ අසිරිමත් සංචාරය අප ඇරුඹුවේද කුරිකඩ්ඩුවාන් ජැටියෙනි. යාපනයේ සිට සුන්දර නොකිලිටි මඟ ඔස්සේ පැමිණි අපි කුරිකඩ්ඩුවාන් වෙත ළගාවන විට උදෑසන හරිහැටි ගෙවී ගොස් නැත. මේ ගමනේ අපේ ඉලක්කය සුන්දර මහ මුහුදේ - නිකැළැල් දූපත් කුමරිය ඩෙල්ෆ් සොයා යෑමය. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ගමන් අරඹන මුහුදු ප්‍රවාහන සේවා ද්විත්වය අතර ඉහළ ඉල්ලුමක් පවතින්නේ නාග විහාරය වෙත යන අගුල් වෙතටය. “ෆෙරිය” ලෙසට සැවොම හඳුන්වන මේ මුහුදු අගුල බහුදින ධීවර යාත්‍රාවක ස්වරූපයට ඉතා සමාන බෝට්ටුවකට වඩා විශාල සුරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයකි. කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට හොඳින් අවධානයෙන් බලන්නෙකුට නාගදීපය ඍජුවම දිස්වන මුත් ඩෙල්ෆ් දූපත අනුමාන වශයෙන්වත් සෙවීම නිෂ්ඵල කාර්යයකි. කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට නාගදීපයට තිබෙන දුර මෙන් පස්ගුණයක් වත් ඩෙල්ෆ් දූපතට දුර බව ගමනට පෙර මට කියු තංගයියා ආරක්ෂිත කබා අසුරන පෙට්ටියකට වී සුව නින්දකය.
නිසොල්මනේ හිඳ මුහුදේ දිශාව දැන ඇඳෙන ෆෙරිය දිය රළ මත ගැටී ඇදෙන සිතුවම් දෙස බලමින් හිඳ මා ඉන් මුදාගනු ලැබුවේ කොන්දොස්තර මහතා විසිනි. ඈත අහසේ ඇඳුණු පටියක් වෙත ඔහු දබරැඟිල්ල ගෙනයයි.
අර පේන්නෙ ඩෙල්ෆ්... ඈතින් පෙනෙන තිත වෙත මගේ නෙත දිවයයි. එන්න එන්නම ඒ තිත මගේ නෙතට ළං වෙයි.
දැන් මම ඒ තිත මතට ගොඩවෙමි. ඈතට තිතක් වන්ව පෙනුණද එය මහා විශාල භූමිභාගයකි.
මේ මනරම් දූපතෙහි ඇති වෙනස සුළඟක, ගහක, කොළක, පොළොවේ ගල් කැටයක මෙන්ම මිනිස් හදවතක අභ්‍යන්තරයේද එකලෙසම දැකිය හැකිය. නිරතුරුවම ආගන්තුක සිනාවෙන් පිරී ඉතිරී ගිය මේ කොදෙව් වැසියන්ගේ මුහුණු කළු පැහැ වුවද සිරියාවන්තය.
අපි මුලින්ම ලියලන ගල බලන්නට තීරණය කළෙමු. දෙවියන්ගේ ආශීර්වාදය නිසා දිනෙන් දින ලියලාමින් පොළොවෙන් උඩට පැමිණෙන මේ අපූරු හිරිගල නරඹා අපි ඊළඟට දැවැන්ත බයෝබැබ් වෘක්ෂය නරඹන්නට තීරණය කළෙමු. දැවැන්ත තුරු සිරස තමන්ගේ අණසක මුළු පළාත පුරාම පතුරුවාලන්නේ දස අත අතුපතර විහිදුවාලමිනි. හයහත් දෙනෙකුට එකවර අත් අල්ලා බැදිය නොහැකි මේ බයෝබැබ් වෘක්ෂය සැබෑම මේ දිවයිනට කදිම ආශ්චර්යයකි. මේ සුවිසල් රුක් පාමුල විඩා නිවා අප ඊළඟ මොහොතේ යායුතු මාවත සැලසුම් කරනු ලැබුවේ දහසක් බලාපොරොත්තු සයුරෙන් එතෙර කරන ෆෙරිය නැවත පිටවන වේලාව සිහි තබා ගනිමිනි.
අපේ රට යටත්විජිතයක් බවට පත්කර ගනිමින් පාලනය කළ සමයේ තැනූ “කොටුව” තවමත් ශක්තිමත්ව නටබුන් වී කියාපාන්නේ මේ දූපතේත් අපේ රටේත් වටිනාකමයි. ඔවුන් මෙතරම් ශක්තිමත් පවුරක් අප රට වට ඉදිකරන්නට හේතු වූයේ මෙතරම් වටිනා අපේ රට ඔවුන්ගේ තවත් අයකු යටත් කරගනිවී යැයි යන බියජනක සිතුවිල්ලට වන්නට ඇත. කොටුව පුරා ඉක්මනින් සැරිසැරූ අප ඊළඟ මොහොතේ වන අශ්වයන් සොයා වන වැදුණෙමු.
ඉංග්‍රීසි පාලන සමය නිමා වීම සමඟ අපේ රටින් ඉවත් වූ ජාතිකයන් ඔවුන් ගමන් බිමන් සඳහා
යොදාගත් අශ්වයන් ඩෙල්ෆ් දූපතේ දමා ගිය පසු ඒ අශ්වයින් වන වැදී ක්‍රමයෙන් බෝවුණු වන අශ්වයන් මේ ගමනේදී දැකිය හැක්කේ රෑන් වශයෙනි. තැනිතලා තණ විල්ලුවේ එහා මෙහා දුවමින් නිදැල්ලේ හැසිරෙන මෙම අශ්වයන් සුපිරි අශ්වයන් සමඟ සසදා බලන විට වෙනස් ස්වරූපයක් ගනී.
වෙනස්ම ගෘහ නිර්මාණ ශිල්ප කලාවකට උරුමකම් කියන ඩෙල්ෆ්හි නිවාසවල තාප්ප
ඉදිකොට ඇති ආකාරය විස්මය දනවනසුලුය. කිසිම බදාමයක් නොයොදා හිරිගල් එක උඩ එක තබා මේ තාප්ප කොන්ක්‍රීට් තරමටම ශක්තිමත්ය. මේ නිර්මාණ ක්‍රමවේදය ඉතා සරල වුවත් එහි ඇති විස්මයජනක බව ඉතා ගැඹුරුය.
මේ තාප්පවලින් වට වූ නිවෙසක ඉඳහිට හමුවන මිනිසකු හෝ ගැහැනියකට අප ඉතා ළෙන්ගතු චරිත බවට පත්වෙයි. ඔවුන්ගේ ඉබේ ඇදෙන අව්‍යාජ නිරහංකාර හසරැල්ල තුළ ලියැවී ඇති දහසක් පැතුම් පහන් හැඟුම් සමුදාය කිසි දිනෙක ලියා කියවා අවසන් කළ නොහැකි සංවේදී කාව්‍යයකි.
මේ නිවෙස් අතරින් දිවෙන හිරිගල් තාප්පවලින් සීමාවූ මාර්ගය ඔස්සේ අපි ඊළඟ මොහොතේ
ආදම්ගේ අඩිය බලන්නට පැමිණියෙමු. ආදම්ගේ අඩිය ලෙස හඳුන්වන අඩියක හැඩය ගත් මේ ගල් නිමැවුම ඉතාමත් සංයමයෙන් නිරීක්ෂණය කරන්නකුට අඩියේ ඇති ඇඟිලි පහ හොඳින්ම දැකිය හැකිය. ආදම්ගේ අඩිය නරඹා අප අඩිය තබන්නේ පරෙවි සංදේශයේ කියැවෙන පරෙවි කූඩුව බලන්නට බව පවසන්නේ අපේ මඟ පෙන්වන්නාය. සන්නිවේදනය ඉතාමත් ප්‍රාථමික අවධියේ සතුන් මඟින් ලිපි ලේඛන හුවමාරු කරගත් අවස්ථා අපේ ඉතිහාසයේ ඕනෑ තරම් හමුවෙයි.
පරෙවියකුගේ පාදයේ ගැටගැසූ හසුන නිවැරදි ස්ථානයට පරෙවියා විසින් ගෙනයන බව ඉතිහාසයේ කියැවෙයි. පරෙවි සංදේශයේ දැක්වෙන පරිදි පරෙවියන් ලිපි බාරදී හෝ ලිපි ලබාගැනීමට එක් වන්නේ මේ කුලුන මත බව මඟ පෙන්වන්නා නැවතත් අපට පහදා දෙන්නේ ඉතිහාසය ගැනද සිහි කරමිනි.
කෙසේ වෙතත් මේ පරෙවි කූඩුවේ කුටීර කිහිපයකි. විවිධ දිශාවන්ට අයත් පරෙවියන් වෙනුවෙන් වෙන් කරන ලද මේ කුටීර තුළ සිටින පරෙවියන් අවශ්‍ය වූ විටෙක හසුන් සමඟ මුදාහරිනු ලැබේ.
පරෙවි කූඩුව වටා ඉදිකොට ඇති වෙනස්ම වර්ගයේ ගල් බැමි මේ පරිසරයට එක් කරන්නේ ප්රතාපවත් ගාම්භීර ආලෝකයකි. මේ චාරිකාව තුළ අප විඳි බොහෝ දේ ලියා තබනවාට වඩා සියැසින්ම දැකගත යුතු අමිල දසුනක් වෙයි.
ඩෙල්ෆ් දූපතේ මුහුදු තීරයද එවැනිම වූ එකකි. ලවණ මුසු මඳ සිහිල් සුළඟේ මේ සමුදුරු වෙරළේ හිඳීම අසපුවක ජීවිතය ගෙවනවා තරමට නිසසල වූ එකකි. තවත් විනාඩි කිහිපයකින් ෆෙරිය නැවත කුරිකඩ්ඩුවාන් දක්වා මන්දගාමී ගමන අරඹණු ඇත. හැන්දෑවට සූදානම් කසාවත් සැරසුණු නිසල අහස මත අළුපැහැ වලාවන් දඟකරයන් මවන පෙම් සිතුවම මහ සයුර මැදදී හරියටම
විඳින්නට අපට හැකිවනු ඇත.
ඔබද පවුලේ සංචාරයක් සූදානම් කරනවා නම් ඒ සංචාරයට අලුත් ආලෝකයක් එක් කරළන සුන්දර බිමක් ලෙස ඩෙල්ෆ් හඳුන්වාදිය හැකිය.
එහෙනම් ඔබට සුබ ගමන්....