වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
ඇයව තේජසින් බබළවන අබරණ කට්ටලය
ලෝකයේ ලස්සනම සහ ගම්භීරම මනාලිය හෙළ කුල සිරිතට අනුව උඩරට මනාලියක ලෙස හැඩවෙන ඇයයි. ලොව කොතැනක හෝ සිටින මනාලියකගෙන් මෙවැනි ආභරණ කට්ටලයක් දැක ගත නොහැකි වේ. ඇය පලඳින ආභරණ සියල්ලම සඳහා වෙන වෙනම අරුත් ඇත. සත්පත්තිනි මෑණියන්ට අයත් ආභරණ කට්ටලය මෙලෙස උඩරට මනාලිය වෙත පලඳවයි. උඩරට මනාලිය පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙස සලකනුයේද මේ සත්පත්තිනි මෑණියන්ට අයත් ආභරණ කට්ටලය පලඳින නිසයි.
උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ යනු උඩරට විවාහ මංගල්‍යයේ මනාලිය විසින් මංගල ඔසරියට අමතරව පලඳින සාම්ප්‍රදායික ආභරණයි. වර්තමානයේදී මනාලියන්, හැඩගන්වන ස්ථානවලින් ආභරණ සපයාගත්තද, ඇතැමුන් තවමත් පරම්පරාවෙන් පරම්පරාවට දායාද වී පැමිණෙන පරම්පරාවේම ආභරණ කට්ටලය භාවිත කරයි.
NVQ 4 රූපලාවණ්‍ය පාඨමාලාවේ මනාලියන් ඇන්දවීමේ කොටසේදී උඩරට මනාලියගේ ආභරණ පිළිබඳවද ඔබ දැන හැඳින ගෙන සිටිය යුතුවේ.
හිස සකසා මල් සියල්ල ගසා, මේක් අප් කිරීමෙන් පසු ආභරණ පැලැඳවීම සිදුකරයි.
මේවා පොඩි කටුවලින් රඳවයි. ඒ එහාට මෙහාට යෑම සහ අනික් ඒවායේ පැටලීම වැළැක්වීමටයි.
මේ අතරින් මාල හත හා තැල්ල ප්‍රධාන වෙයි.
තැල්ල (තුන්තැල්ල) නළල් පටිය
මනාලියට විශේෂිතම ආභරණය තැල්ලයි. එනම් නළල් පටියයි. මෙය මනාලියක් වීමේ සංකේතයයි. නළල් පටිය පැලඳීම මනාලියගේ මව විසින් සිදුකරනු ලබයි. තම දියණිය ඇයට රැජනකි. එසේ පැලඳීමේදී පිරිත් සජ්ඣායනය කරයි. උඩරට මනාලිය පැලඳිය යුත්තේ තුන් තැල්ලයි. එනම් පටි තුනක් සහිත නළල් පටියයි. මින් දෙදෙනකු දෙපාර්ශ්වයෙන් විත් එකට එකතු වීම සංකේතවත් කෙරේ.
ඉර හඳ
ඉර හඳ පැලඳීමෙන් අදහස් කරනුයේ ඉර හඳ පවතින තුරු විවාහය පැවැත්වීමයි. ඉර දකුණට ද හඳ වමට ද පැලඳිය යුතුය. හිරුගේ ගතිගුණ තරුණයාටත්, සඳුගේ ගතිගුණ තරුණියටත් සමාන කර ඇත. මෙම ආභරණ පැලඳීම නිසා මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කර ගැනීමට හැකිවන බව සංකේතවත් කරයි.
කොන්ඩ කූරූ
මෙය පංච කූරු ලෙසද හැඳින්වේ. කොණ්ඩය බැඳීමෙන් පසු අලංකාරය සඳහා යොදා ගනී. මෙය පැලඳීම තුළින් මනාලියට සෞභාග්‍ය හා වාසනාව ලැබෙන බව විශ්වාස කරයි.
දිමිති ජෝඩු (කඩුක්කන්)
කරාබු ජෝඩුවකට සම්බන්ධ කරන එල්ලෙන කරාබු කූඩු කරාබු නම් වේ. මනාලිය දිමිති පැලඳීමෙන් වඩාත් සුන්දර වේ.
වළලු
අත් මුදු වළල්ල හෙළ සිරිතට අනුව සාම්ප්‍රදායික වළල්ලකි. ඇඟිලිවල මුදු දම්වැලකින් අතේ වළල්ලට සවි වේ. අත්මුදු වළල්ල දකුණු අතට පලඳිනු ලබයි.
සැරි වළලු
සැරි වළලු අත් දෙකටම පලඳිනු ලබයි.
ගෙඩි වළලු
අගස්ති ඇට යොදා රන් හෝ රිදී පැහැයෙන් නිපදවයි.
හවඩිය
ඉණ හැඩය මතු කිරීමට බඳ වටා පැත්තකට වන්න පලඳවයි.
සාරි කටුව
ඔසරි පොට එක් කිරීමට ගසනු ලබයි.
හිස සැරසිලි
මාල හත
උඩරට මනාලිය සම්ප්‍රදායික ඔසරිය සමඟ පලඳිනු ලබන මේ සුවිශේෂී මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය ලෙස සැලකේ. එයින් සංකේතවත් කෙරෙන්නේ මනාලිය පතිවත රකින, එයට ගරු කරන යුවතියක් බවයි. මේ මාල දිගින් වැඩියි. එහි අරුත නම් මනාලියට මුහුණ පෑමට සිදු වන විවිධ සෞඛ්‍ය ගැටලු මාලය දිගේ පොළොව වෙත ඇදී යනවා යන්නයි. එමඟින් මනාලියට නීරෝගි සම්පත්තිය හිමි වන බව විශ්වාස කෙරේ. මනාලිය පලඳින මාල හත මඟින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරනවා යැයි මතයක් තිබේ. හත්මුතු පරම්පරාවේම ආශීර්වාදය ලැබේ යැයිද විශ්වාස කරයි.
හංස පූට්ටු මාලය
හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් සංකේතවත් කරන්නේ විවාහක යුවළ වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි. හංස පූට්ටු තැල්ල රඳවන්නේ මනාලියගේ පපුව මතයි. මෙයින් සංකේතවත් කරන්නේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.
පදක්කම් මාලය
මනාලියගේ පියා විසින් පදක්කම් මාලය මනාලියට පලඳවනු ලැබීම සිරිතයි. එමඟින් සංකේතවත් කරන්නේ මනාලිය මෙතෙක් කල් පියාගේ ගෞරවය ආරක්ෂා කළ බවත්, අනාගතයේදී සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන බවත්ය.
මකර මාලය
මකර මාලය පැලඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරු වන බව සංකේතවත් කරයි.
කිරි මාලය
කිරි මාලය රඳවන්නේ මනාලියගේ පපුවට පහළිනුයි. එයින් සංකේතවත් කරන්නේ මනාලියව අනාගතයේදී ඇගේ දරුවන් විසින් වැලඳගෙන සිටින බවයි.
අගස්ති මාලය
අගස්ති මනාලියකගේ සිරුරේ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරු වන බව විශ්වාස කෙරේ. මනාලියගේ ජිවිතයේ ඇති අවාසනාව දුරු කර සෞභාග්‍ය උදා කරන්නට මේ අගස්ති මාලය සමත් වන බව විශ්වාස කෙරේ.
ධාන්‍ය මාලය
ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍ය සංකේතවත් කරනු ලබනවා.
පෙති මාලය
මේ පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාව සංකේතවත් කරයි. ඉතාම දිගින් යුතු මෙම මාලය හිසේ සිට පාදාන්තය දක්වාම යුතුවේ. වස්දොස් පොළොවට උරා ගන්නා ලෙසට මෙය සකසා තිබෙයි.
කර මාලය
විශේෂ මාල 07න් පසුව මනාලයා විසින් මනාලියට පලඳවන මාලය, කරමාලය වේ.
හැඩගැන්වීම : සුරංග ආකේෂ්
ඡායාරූප: නිමේද බණ්ඩාර,
චමෝද් ලංකේශ්වර